top of page

භෞතචිකිත්සාව අන්තර්ජාතික වෘත්තියක් ලෙස  සහ එක්සත් රාජධානිය තුළ එහි පසුබිම


 
යමෙකු අනතුරු, අසනීප හෝ ආබාධිත තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූ විට නැවත දේහ චලන හා ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමට භෞතචිකිත්සාව උපකාරී වේ. විවිධ ප්‍රතිකාර ක්‍රම  හා වැළැක්වීමේ ප්‍රවේශයන් මඟින් යමෙකු මුහුණ දෙන විශේෂිත ගැටළු සඳහා ප්‍රතිකාර කරයි. මේ සඳහා දේහ  චලන සහ ව්‍යායාම, කාය චිකිත්සාව, අධ්‍යාපනය සහ උපදෙස් ලබා දීම සිදු කරයි.
 
භෞතචිකිත්සකවරුන්, ස්වාධීන වෘත්තිකයන් (Autonomous practitioners) වන අතර, දේහ චලනයන් යථා තත්වයට පත් කිරීමට හෝ ස්ථිර ආබාධ හෝ රෝග වලදී ඕනෑම අක්‍රියතාවයක බලපෑම අවම කිරීම සඳහා තම පරිපූර්ණ මැදිහත්වීම් සපයයි (WHO n.d). ඔවුන් සෑම වයස් කාණ්ඩයකම ජනතාවගේ සෞඛ්‍යය පවත්වා ගෙන යන අතර රෝගියාට වේදනාව පාලනය කිරීමට සහ රෝග වළක්වා ගැනීමට උපකාර කරයි.
 
ක්‍රි.පූ. 460 දී පමණ භෞතචිකිත්සක ක්‍රමවේදයන් භාවිත කර ඇති බවට වාර්තා වුවද, භෞතචිකිත්සාව වෘත්තියක් ලෙස ආරම්භ වූයේ 1813 දී පර් හෙන්රික් ලින්ග් (Per Henrik Ling)  ස්වීඩනයේ දී manipulation සහ ව්‍යායාම සඳහා ආයතනයක් පිහිටුවීමත් සමගය. 1887 දී භෞතචිකිත්සකයින්ට ස්වීඩනයේ නිල ලියාපදිංචිය ලබා දුන් අතර එය මහා බ්‍රිතාන්‍යය ඇතුළු අනෙකුත් රටවල් ද අනුගමනය කළහ.
 

Sinhala.jpg

භෞතචිකිත්සාව වෘත්තියක් ලෙස ලෝකය  පුරා පිළිගැන්ම ඉහළ මට්ටමක පවතින අතර එය දැනටමත් ඕනෑම රටක සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ වැදගත් කාර්යභාරයක් බවට පත්ව ඇත. භෞතචිකිත්සාව සඳහා වූ ලෝක සම්මේලනයේ (WCPT) නවතම සමීක්ෂණයට ප්‍රතිචාර වශයෙන් රටවල් 48 ක සෘජු ලෙස භෞතචිකිත්සාව පවතින අතර රටවල් 77 ක පෞද්ගලිකව රැකියාව ලෙස ප්‍රගුණ කිරීමට  කිසිදු බාධාවක් නොමැත. 
 
බොහෝ රටවල භෞතචිකිත්සාව නිපුණතා සංක්‍රමණ කාණ්ඩය (skill migration category) යටතේ ලැයිස්තු ගත කර ඇති අතර විශේෂයෙන් එක්සත් රාජධානිය විසින් ද Brexit  (බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ වැඩපිළිවෙල) වලින් පසුව, 2221 වෘත්තීය කේතය යටතේ ඉතා මෑතකදී නිපුණතා සංක්‍රමණික මාවතක් හඳුන්වා දුන් විට භෞතචිකිත්සාව ඔවුන්ගේ එම සංක්‍රමණික  ලැයිස්තුවට (Skill migration list) ඇතුළත් කරන ලදී.

එක්සත් රාජධානිය තුල භෞතචිකිත්සකවරයෙකු ලෙස ක්‍රියා කිරීමට Health Care Professions Council (HCPC) ලියාපදිංචි වීම අනිවාර්ය වේ. සියලුම රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා වැඩ සඳහා ලියාපදිංචිය අවශ්‍ය වන අතර එමගින් ඔවුන්ට එක්සත් රාජධානිය තුල  ‘භෞතචිකිත්සක’ යන සනාථ වෘත්තීය නාමය භාවිතා කිරීමට නීත්‍යානුකූල අයිතිය ලබාදේ.
භෞතචිකිත්සකවරුන්  HCPC හි ලියාපදිංචි වීමට ප්‍රවීණතාවයේ ප්‍රමිතීන් සපුරාලිය යුතු අතර අයදුම් කිරීමේ ක්‍රියාවලිය යටතට එක්සත් රාජධානියේ සහ විදේශීය සුදුසුකම් වලංගු වේ. ධනාත්මක චින්තනයක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ B.Sc.(Hons) භෞතචිකිත්සක උපාධිය සම්පූර්ණ කල උපාධිධාරීන් හට මේ සඳහා ඉල්ලුම් කල හැකි අතර ශ්‍රී ලංකාවේ B.Sc. (Hons) Physiotherapy උපාධිය සම්පූර්ණ කල උපාධිධාරීන් කිහිපදෙනෙකුට HCPC හි ලියාපදිංචිය සහ CSP හි  (Chartered Society of Physiotherapy) සාමාජිකත්වය ලබාදී ඇති අතර දැනට ඔවුන් NHS සහ පෞද්ගලික අංශවල සේවයේ නියුතු වේ.

HCPC මඟින් භෞතචිකිත්සක වෘත්තිය නියාමනය කරන අතර භෞතචිකිත්සකවරුන් ඔවුන්ගේ ලියාපදිංචිය පවත්වා ගැනීම සඳහා සම්මත ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කළ යුතුය. HCPC ලේඛනයේ සිටින සියලුම වෘත්තිකයන් Continuing Professional Development(CPD) සමඟ අනුකූල විය යුතු අතර මෙය වරින් වර විගණනය කළ හැකිය. ස්වාධීන වෘත්තිකයෙකු ලෙස භෞතචිකිත්සකවරුන් ඔවුන්ගේ පුහුණුවීම් පිළිබඳව දැනුවත්, තර්කානුකූල තීරණ ගත යුතුය. 
 
භෞතචිකිත්සකවරුන් HCPC ප්‍රමිතීන් සපුරාලීමට උපකාර වන මනා පුහුණුව පිළිබඳ මග පෙන්වීම සහ උපදෙස් ලබා දීමේදී Charted Society of Physiotherapy (CSP) විසින් ඉටු කරන ලද කාර්යභාරය HCPC මඟින් සොයා බලයි.  CSP යනු එක්සත් රාජධානියේ භෞතචිකිත්සකවරුන්ගේ වෘත්තීය ආයතනය සහ වෘත්තීය සමිතිය වන අතර එය 1894 දී ආරම්භ කරන ලද එය විශාලතම සාමාජික සංවිධානයක් බවට පත්ව ඇත. භෞතචිකිත්සක වෘත්තීය ජාල 30 කට වඩා ඇති අතර එමගින් භෞතචිකිත්සකවරුන්ගේ විශේෂඥ ක්ෂේත්‍ර සඳහා සායනික නායකත්වය සැපයීම මෙන්ම ඔවුන්ගේම මූල්‍ය හා ආයතනික වගකීම් කළමනාකරණය කිරීම සඳහා වගකිව යුතු ස්වයං පාලක ආයතනයන් ලෙස ක්‍රියා කරයි.
 
එක්සත් රාජධානියේ භෞතචිකිත්සාවේ විශේෂඥ ක්ෂේත්‍ර කිහිපයක් නම් මාංශ පේශි, ස්නායු, ක්‍රීඩා, කාන්තාවන්ගේ සෞඛ්‍යය, ඉගෙනීමේ ආබාධිතා , ළමා රෝග, වයෝවෘද්ධ හෞතචිකිත්සාව , විකලාංග රෝග තත්ත්ව පිළිබඳ  හෞතචිකිත්සාව , පුනරුත්ථාපන සහ තවත් බොහෝ දෑ පවතී. භෞතචිකිත්සකවරුන් විවිධ අංශ තුළ කණ්ඩායක සාමාජිකයෙකු ලෙස සේවය කරන අතර එයට රෝහල් / සේවා, ප්‍රජා කටයුතු, සායන පිහිටුවීම, GP සැත්කම්, ක්‍රීඩා කණ්ඩායම්, ක්‍රිඩා සමාජ, පුණ්‍යායතන, සේවා ස්ථාන, විශේෂ අවශ්‍යතා සහිත පාසල් ආදිය ඇතුළත් වේ. එක්සත් රාජධානියේ භෞතචිකිත්සකවරුන් විසින් සිදු කරනු ලබන ප්‍රධාන ප්‍රවේශයන් අතරට:දේහ චලන, චිකිත්සක ව්‍යායාම සහ ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ උපදෙස්, කාය චිකිත්සාව, අධ්‍යාපනය සහ උපදෙස්, ජල චිකිත්සාව, අවම වශයෙන් සමහර විද්‍යුත් චිකිත්සක ක්‍රම යනාදිය අයත් වේ. භෞතචිකිත්සකවරයෙකු විශේෂිත ඇගයීම්, ප්‍රතිකාර හා කළමනාකරණ උපාය මාර්ග සමඟ රෝගීන් වෙත ළඟා වේ. මෙහිදී පුද්ගලයාගේ භෞතික ක්‍රියාකාරිත්වය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම, ප්‍රශස්ත කිරීම සහ පවත්වාගෙන යාමට ඔවුන් ක්‍රියා කරයි.

වෙනත් ඕනෑම රටක මෙන් එක්සත් රාජධානියේද භෞතචිකිත්සකවරයෙකුට රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කල හැකිය. එම අංශ දෙක හැරුණු විට භෞතචිකිත්සකවරයෙකු ප්‍රධාන වශයෙන් වැඩ කරන තවත් අංශ දෙකක් තිබේ: සමාජ සේවා සහ ක්‍රීඩා. මෙහි රාජ්‍ය අංශය යුරෝපයේ විශාලතම සංවිධානය වන NHS (ජාතික සෞඛ්‍ය සේවය) වන අතර රට පුරා විවිධ NHS සංවිධානයන්ගෙන් සමන්විත වේ.
 
NHS පද්ධතියට rotational හා static භෞතචිකිත්සක තනතුරු ඇත. Rotational ක්‍රමයට පවතින භෞතචිකිත්සාව තුළ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි වැඩිදුර අත්දැකීම් ලබා ගැනීම චිකිත්සකවරයාගේ ප්‍රධාන අරමුණයි. NHS තුළ භෞතචිකිත්සකවරයෙකු ලෙස රැකියාව කිරීම ගැන සලකා බැලීමේදී දැනගත යුතු ප්‍රධාන සාධක වන්නේ අත්දැකීම් මට්ටම මෙන්ම ගෙවීම් ද පෙන්නුම් කරන NHS තුළ පවතින banding system. 

  1. Band 2 to Band 4 - Physiotherapy assistant/ Rehab support worker

  2. Band 5 – Physiotherapist

  3. Band 6 –Physiotherapy Specialist/senior Physiotherapist

  4. Band 7 –Physiotherapy Advanced/Lead Physiotherapist

  5. Band 8A – Principal Physiotherapist 

  6. tBand 8A – 8B – Physiotherapist Consultan

 
භෞතචිකිත්සක පුහුණුවෙහි පිළිගත් විෂය පථයෙන් ඔබ්බට වැඩ කිරීම සඳහා වසර ගණනාවක සායනික පුහුණුවීම් සහ වැඩිදුර අදාළ පුහුණුව ලබා ඇති භෞතචිකිත්සකවරයෙකුට  Extended Scop Physiotherapist (ESP) ලෙස තම වෘත්තීය ජීවිතය ඉදිරියට ගෙන යා හැකිය. ඇතැම් වර්ගවල එන්නත් ලබා දීම, මාංශ පේශි සඳහා අති ධ්වනි ස්කෑන් කිරීම (ultra sound scanning) ESP විසින් සිදු කරනු ලබන සමහර ක්ෂේත්‍ර වේ. 2013 දී එංගලන්තයේ භෞතචිකිත්සකවරයෙකුට අදාළ පුහුණුව සමඟ තම විෂය පථය පුළුල් කළ අතර එමඟින් ස්වාධීනව ඖෂධ නිර්දේශ කිරීමේ අයිතිය ලබා දී ඇත. මෙහිදී සමහර controlled drugs ඇතුළු ඖෂධ නියම කිරීමේ හැකියාව ඔවුන්ට ලබා දී ඇති අතර මෙය භෞත චිකිත්සක වෘත්තියේ මිනුම් සලකුණක් බවට පත්ව ඇත.
 
එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා රැකවරණය සඳහා සාක්ෂි පදනම් කරගත් නිර්දේශයන් වන HCPC, CSP, NHS ප්‍රමිතින් සහ NICE මාර්ගෝපදේශ පිළිපැදීම NHS භෞතචිකිත්සකවරුන්ට අත්‍යාවශ්‍ය  වන අතර, මෙහිදී CPD ක්‍රියාකාරකම් තුළින් පුහුණුවීම සහ තමන්ගේම නිපුණතාව පවත්වා ගැනීමට ඔවුන් වගකිව යුතුය. එය ඔවුන්ගේ පුද්ගලික සංවර්ධනය පිළිබිඹු කරයි. තවද පෞද්ගලික සංවර්ධන සැලැස්ම සකස් කරන වාර්ෂික කාර්ය මණ්ඩල ඇගයීම් යෝජනා ක්‍රමයට සහභාගී වීම අත්‍යවශ්‍ය වන අතර සෑම විටම කාර්යභාරය සඳහා අත්‍යවශ්‍ය පුහුණුව හා පුහුණුව සමඟ යාවත්කාලීන ව සිටිය යුතුය.
 
අවසාන වශයෙන් භෞතචිකිත්සාව සෞඛ්‍ය සේවා පද්ධතියේ සෑම අංශයකම වැදගත් අංගයක් වන අතර භෞතචිකිත්සාව ගෝලීය වශයෙන් ඉහළ මට්ටමක පවත්වා ගෙන යන වෘත්තියකි. එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව ඇතුළු බොහෝ සංවර්ධිත රටවල මෙම වෘත්තිය තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා වැඩි මාර්ග සහ අවස්ථාවන් නිර්මාණය කරන අතර යමෙකුගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා භෞතචිකිත්සාවේ මැදිහත්වීමේ වැදගත්කම ඇගයීමට ලක් කරයි.
 
‘භෞතචිකිත්සාව ඔබගේ චලනය නිවැරදි කරවන අතර භෞතචිකිත්සකවරුන්ට  විද්‍යාඥයෙකුගේ මොළය, මානවවාදියාගේ හදවත සහ කලාකරුවෙකුගේ දෑත් ඇත’.

Chartered Physiotherapist Thilini Alagalla
National Health Service (NHS), UK
[HCPC/MCSP – UK, BSc (Hons) – Col]

 

Doctor of Physiotherapy
සැබෑ වූ සිහිනයක මං සලකුණු.

සැබෑ වූ සිහිනයක මං සලකුණු.

.

භෞතචිකිත්සාව යනු ලොව පුරා පිළිගත්, වර්තමානයේ ශීඝ්‍ර දියුණුවක් අත් කර ගනිමින් පවතින, නිරෝගී සමාජයක් ගොඩනැගීම අරමුණු කර ගත් වෘත්තීයකට එහා ගිය සේවයකි. සිය සේවය හැකි උපරිමයෙන් රෝගීන්ට ලබා දීම සඳහා උපාධිධාරී භෞතචිකිත්සකවරියක ලෙස ඉහලම වෘත්තීය සාර්ථකත්වය හඹා ගිය සොයුරියකගේ අත්දැකීම් සමුදායෙන් බිඳක් WephysioMFC අපි ඔබ වෙත මෙලෙස ගෙන හැර දක්වමු.

මගේ නම වාසනා මල්ලිකා ආරච්චිගේ වන අතර මම කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතචිකිත්සක අංශයේ 2005 කණ්ඩායමේ උපාධිධාරිනියක් වෙමි. 2016 දී  ඇමරිකා එක්සත්  ජනපදයේ බලපත්‍රලාභී භෞතචිකිත්සක නිලධාරියෙකු වූ B.Sc (Hons) භෞතචිකිත්සක උපාධිය සහිත පළමු ශ්‍රී ලාංකිකයා බවට ද 2020 දී Doctor of physical therapy බවට ද පත්වීමට මට හැකියාව ලැබුණි.
 


 

post new.png

මා දැන් සිටින තැනට ළඟාවීම පහසු කටයුත්තක් නොවූ අතර එයට ටික කාලයක් ගතවිය. නමුත් මම එසේ කළ පළමු ශ්‍රී ලාංකිකයා බැවින්, මගේ සාර්ථකත්වයේ කතාව ඔබට පැවසීමට මෙය මා අවස්ථාවක් කර ගන්නේ මාගේ කැමැත්තෙනි. මේ සියල්ල ආරම්භ වූයේ MSc in Applied physiotherapy උපාධිය හැදෑරීම සඳහා එක්සත් රාජධානියට ගොස් 2013 වසරේදී පශ්චාත් උපාධිය ලබා ගැනීමත් සමඟය.. මම එක්සත් රාජධානියේ මගේ HCPC (The Health and Care Professions Council) බලපත්‍රය ලබාගෙන බලපත්‍රලාභී භෞතචිකිත්සක නිලධාරිනියක ලෙස කටයුතු කිරීම ආරම්භ කලෙමි. නමුත් ඇමරිකාවේදී Doctor of Physical Therapy බවට පත්වීමේ සිහිනයක් මට තිබුණි! මම දැනගෙන හිටියා ඒකට යන පාර ලේසි එකක් වෙන්නේ නැහැ කියලා, නමුත් මට ඒක කරන්න ඕනි වුණා! මම නිතරම මට කියාගත්තා "උත්සාහ කර අහිමිවීම උත්සාහ නොකර සිටීමට වඩා හොඳයි කියලා". මම 2015 දී ඇමරිකාවට සංක්‍රමණය වී මගේ භෞතචිකිත්සක බලපත්‍ර විභාගය සඳහා ඉගෙනීමට පටන් ගතිමි.

විභාගය පහසුයි යැයි පැවසුවහොත් ඒක බොරුවක්, විභාගය ඉතා අසීරුයි, නමුත් කළ නොහැක්කක් නොමැත. මම දිවා රෑ මහන්සි වී පාඩම් කිරීමට, මගේ සියලූම ශක්තිය ය ලබා දුන් අතර, පළමු උත්සාහයෙන් ම 2016 දී මම NPTE (National Physical Therapy Exam) සමත් විය. ඉන් පසුත් මම දැනගෙන හිටියා මම තවම ඉවර නෑ කියලා, ඒ නිසා නිව්යෝක්හි භෞතචිකිත්සක නිලධාරිනියක ලෙස රැකියා කරමින් මගේ ආචාර්ය උපාධිය සඳහා අර්ධකාලීනව ඉගෙන ගත්තෙමි. මාව විශ්වාස කරන්න, මහන්සි වී වැඩ කිරීම කිසිසේත්ම නිශ්ඵල කාර්යයක් නොවේ. ආචාර්ය උපාධිය සඳහා ඉගෙනගන්නා අතරතුර රැකියාවක් කිරීම පහසු කාර්යයක් නොවේ. නමුත් 2020 වසර අවසානයේදී මම මොන්ටානා විශ්ව විද්‍යාලයෙන් Doctor of Physical Therapy (DPT) ලෙස උපාධිය සම්පූර්ණ කළෙමි.

මෙම ක්‍ෂේත්‍රයේ ඔබට ලබාගත හැකි බොහෝ අවස්ථාවන් තිබේ. මේ මොහොතේ දී මා ගමන් ගත් මාර්ගය තෝරා ගැනීමට යැයි පැවසීම ඔබට අභියෝගයක් විය හැකි නමුත් එය ඔබට විශාල වටිනාකමක් ආපසු ලබා දෙනු ඇතැයි මම කියමි. හෞතචිකිත්සාව තෝරා ගැනීම මගේ ජීවිතයේ හොඳම තීරණවලින් එකක් වන අතර එය මගේ ආසාව හා අභිලාෂය බවට පත් කර ගතිමි. දැන් අනාගත පරපුරට ජාත්‍යන්තර අභිලාෂයන් සඳහා රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ මා ලබාගත් දැනුම ලබා දීමට කැමැත්තෙමි. භෞතචිකිත්සාව පිළිබඳ ඔබේ උපාධිය විශිෂ්ට ලකුණු සමඟ සම්පූර්ණ කර හොඳ GPA අගයක් ලබා ගත යුතු බව මම කියමි. ඉන්පසු ඇමරිකාවේ භෞතචිකිත්සක පාසල්වල තාවකාලිකව ආචාර්ය උපාධියක් සඳහා ඉල්ලුම් කළ හැක. Loma Linda School of Allied studies එහි ලාභම හා ජනප්‍රියම පාසලක් වේ. මෙම පාඨමාලාව TDPT (Transitional Doctor of Physical Therapy) ලෙස හැඳින්වෙන අතර එය මාස 9-15 අතර කාලයක් පවතින අතර එය එක් එක් පුද්ගලයාගේ GPA අගය මත රඳා පවතී. උපාධිය ලැබීමෙන් පසු, NPTE සමත් වී හරිත කාඩ්පතක් හෝ H1B වීසා බලපත්‍රයක් සඳහා ඔබට අනුග්‍රහය දැක්වීමට සූදානම් වන ආයතන සොයා ගත යුතු වේ. එය ඔබේ ජීවිතය සකසා දෙනු ඇත! අවුරුදු කිහිපයක වෙහෙසකින්  පසු ඔබට ඔබේ ජීවිතයේ ඉතිරි කාලය ගෙවීම සඳහා සුන්දර  අනාගතයක් එයින් ඔබට හිමිවනු ඇත. බුද්ධිමත් ලෙස තීරණ ගන්න ! ඔබේ මනස ශක්තිමත් කර ගන්න ! 

Dr. Wasana Mallika Arachchige 
B.Sc.(Hons)(Col), M.Sc.(UK), DPT(USA)
PT(SL,UK,USA).

B.Sc. (Hons) Physiotherapy උපාධිධාරී ඔබට යාහැකි මාර්ග .....

B.Sc. (Hons) Physiotherapy උපාධිධාරී ඔබට යාහැකි මාර්ග ....
Sinhala.jpg

ශ්‍රී ලංකාවේ B.Sc(Hons) භෞත චිකිත්සක උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු යොමු විය හැකි විවිධ වෘත්තීය මාර්ග රාශියක් තිබේ. ඉන් කිහිපයක් ලෙස සායනික අංශය, අධ්‍යයන අංශය, රාජ්‍ය හෝ පෞද්ගලික සෞඛ්‍ය පරිපාලන අංශය, පර්යේෂණ අංශය යන ක්ෂේත්‍ර  දැක්විය හැකි අතර ඒ සමඟම රාජ්‍ය නොවන සංවිධානවලට (NGO)  දායකත්වයක් ලබා දීමද කල හැක . මෙම මාර්ගයන් පිළිබඳ ව සවිස්තරාත්මකව පහතින් විස්තර කර ඇත.නමුත් ඔබට යොමුවිය හැකි මාර්ග‍යන් පහත දක්වා ඇති ඒවාට පමණක් සීමා නොවන අතර තවත් බොහෝ අවස්ථා ඔබට මෙම උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු විවරකරගත හැක .

සායනික අංශය

භෞත චිකිත්සක (ගෞරව) උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු, අලුතින් පත්වන භෞත චිකිත්සකවරුන් පළමුව ලංකා වෛද්‍ය විද්‍යාල සභාවේ ලියාපදිංචිය (CMCC) ලබා ගත යුතු අතර
 

පසුව ශ්‍රී ලංකාවේ සායනික භෞත චිකිත්සකවරුන්  ලෙස සේවය කිරීම සඳහා ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය (SLMC) ලබා ගත යුතුය. 

භෞතචිකිත්සකවරයෙකු ලෙස විදේශීය රටක කටයුතු කිරීමට කිසියම් අයෙක් උනන්දු වන්නේ නම් ඒ සදහාද මාර්ග ගණනාවක් තිබේ.ලංකාව තුළ ප්‍රමාණවත් වෘත්තිය  පළපුරුද්දක් ලබා ගැනීමෙන් පසු වරලත් භෞත චිකිත්සකවරයකු වීම සඳහා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ කවුන්සිලය (HCPC) සමඟ ලියාපදිංචි වීම සදහා ඉල්ලුම් කල හැක .ඊට අමතරව  ඕස්ට්‍රේලියාවේ භෞත චිකිත්සක මණ්ඩලය (Physiotherpy board of Australia), කැනේඩියානු භෞත චිකිත්සක නියාමනය සදහා වන සංවිධානය (Canadian Alliance of Physiotherpy Regulators) වැනි භෞතචිකිත්සක බලපත්‍ර නිකුත්කරන විදේශීය වෛද්‍ය රෙගුලාසි ආයතන බොහෝමයක් ඇත .කෙසේවෙතත් විදේශීය භෞතචිකිත්සකවරයෙකු ලෙස ලියාපදිංචි වීම සදහා මූලික ප්‍රවීනතා සුදුසුකම් සපුරා තිබීම අතිශයින් වැදගත් වේ.

ක්ෂේත්‍රයේ වැඩි පළපුරුද්දක් ඇති සුදුසුකම් සහිත භෞත චිකිත්සකවරුන්ට තවදුරටත් තම සුදුසුකම් වැඩි කරගැනීම සදහා Master of Physiotherapy (MPT) හෝ භෞත චිකිත්සාව පිළිබඳ MSc වැනි පශ්චාත් උපාධි  පාඨමාලා සඳහා අයදුම් කළ හැකිය. සිද්ධාන්ත /විද්‍යාගාර කටයුතු සහ සායනික පළපුරුද්ද ඇතුළත් වසර දෙකක විෂය මාලාවක් හෝ ඊට සමාන වසරක අධ්‍යයන පටිපාටියක් සාර්ථකව නිම කිරීමෙන් පසු මෙම පශ්චාත්  උපාධි පිරිනමනු ලැබේ.


ඒ අතරම, පශ්චාත් උපාධි පාඪමාලාවක් හැදෑරීමෙන් පසු ,BSc භෞත චිකිත්සක උපාධිය ලබාගත් අයකුට මාංශ පේශි, ස්නායු, හෘද වාහිනී, ශ්වසන, ක්‍රීඩා, කාන්තා සෞඛ්‍ය, ළමා රෝග, වැඩිහිටියන්ගේ සෞඛ්‍යය , ​​විකලාංග හා kinesiology  වැනි භෞත චිකිත්සාවේ විශේෂිත අංශයක් ප්‍රගුණ කළ හැකිය. 

භෞත චිකිත්සාවේ ඉහළම සුදුසුකම සහිත මට්ටම වන Doctor of Physiotherapy (DPT) උපාධි පාඨමාලාව සඳහා භෞත චිකිත්සාව පිළිබඳ MSc උපාධියක් ලබා ඇති අයට ඉල්ලුම් කළ හැකිය. Doctor of Physiotherapy (DPT) යනු වසර 3-5 අතර අධ්‍යන කාලයක් සහිත  උපාධියක් වන අතර එය වෘත්තීය ආචාර්ය උපාධි පාඨමාලාවක් සාර්ථකව නිම කිරීමෙන් පසු ලබා ගත හැකිය.
DPT උපාධි වැඩසටහනට සිද්ධාන්ත , විද්‍යාගාර අධ්‍යයනය සහ අධ්‍යයන කුසලතා ,සායනික තර්කන කුසලතා ඇතුළත්  සායනික පාඨමාලාවක් ඇතුළත් වේ. මෙම උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසු Doctor of Physical Therapy ලෙස  සිය  පුහුණුව දිගටම කරගෙන යා හැකිය.  DPT උපාධිය ලැබීමෙන් පසු සෑම භෞත චිකිත්සකවරයකුටම විශේෂඥ භෞත චිකිත්සකවරයකු ලෙස පුහුණු විය හැකිය. 

 

අධ්‍යයන අංශය

සාමාන්‍යයෙන්, භෞත චිකිත්සාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව Master of Science in physiotherapy (MSc) උපාධිය හෝ Master of Philosophy in Physiotherapy (MPhil) උපාධිය හෝ භෞත චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය (PHD) ලබා ගත් උපාධිධාරීන් රජයේ හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයෙක් වීම සඳහා සුදුසුකම් ලබයි. 
ශ්‍රී ලංකාව තුල පළමු පන්තියේ හෝ දෙවන ඉහළ පන්තියේ  සාමාර්ථ ලබා ගන්නා භෞත චිකිත්සක උපාධිය හදාරන සිසුන් අදාල විශ්ව විද්‍යාලයේම සහකාර කථිකාචාර්ය තනතුරට අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. සහකාර කථිකාචාර්යවරයකු ලෙස වැඩ කිරීම ඉගැන්වීමේ අත්දැකීම් සහ අධ්‍යයන කුසලතා ලබා ගැනීම සදහා අමතර සුදුසුකමක් වේ. කථිකාචාර්යවරයෙකු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු, සහකාර මහාචාර්යවරයකු, මහාචාර්යවරයකු සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස උසස්වීම් ලැබීමට නම්  Master of Science in physiotherapy (MSc) උපාධිය හෝ Master of Philosophy in Physiotherapy (MPhil) සහ භෞත චිකිත්සාව පිළිබඳ ආචාර්ය (PHD) උපාධිය ලබා ගත යුතුය.

පර්යේෂණ  අංශය

භෞත චිකිත්සක උපාධි පාඨමාලාව හැදෑරීමෙන් පසු පර්යේෂණ ආයතනයක වෘත්තිය  අත්දැකීම් ඇති සිසුන්ට Master of Philosophy in Physiotherapy (MPhil)සහ භෞත චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය (PHD) වැනි පර්යේෂණ පදනම් කරගත් උපාධි වැඩසටහන් සම්පූර්ණ කළ හැකි අතර පර්යේෂකයෙකු ලෙස ද වැඩ කළ හැකිය. මේ වන විට, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විසින් අවම වශයෙන් අවුරුදු 3 1/2 ක කාලයක් සහ උපරිම අවුරුදු 5 ක කාලයක් වන MPhil උපාධි පාඨමාලාව සහ අවම වශයෙන් අවුරුදු 5 ක කාලයක් සහ උපරිම වශයෙන් අවුරුදු 7ක කාලයක් වන ආචාර්ය උපාධිය (PHD) ඇතුළු පශ්චාත් උපාධි පාඨමාලා පවත්වනු ලැබේ.

රාජ්‍ය / පෞද්ගලික සෞඛ්‍ය පරිපාලන අංශය

මෙහිදී මහජන සෞඛ්‍ය පරිපාලන ක්‍ෂේත්‍රය රෝහල් සහ මහජන සෞඛ්‍ය පද්ධති වැනි සෞඛ්‍ය සේවා පද්ධති පරිපාලනය, නායකත්වය සහ කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කරයි. සිසුන් B.Sc. භෞත චිකිත්සක (ගෞරව) උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු   ඔවුන්ට රාජ්‍ය සෞඛ්‍ය පරිපාලන අංශය  සඳහා අයදුම් කළ හැකි අතර පරිපාලන අංශයට බැඳීම සඳහා රාජ්‍ය සේවා විභාගවලට (SLAS)පෙනී සිටිය හැකිය. පශ්චාත් උපාධිය හෝ පශ්චාත් සෞඛ්‍යය  ඩිප්ලෝමා සම්පූර්ණ කළ පසු ක්ෂේත්‍රයේ තවදුරටත් ඉදිරියට යමින් ආයතනික සේවා ප්‍රධානියෙකු හෝ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය ප්‍රධානියෙකු වීමට සුදුසුකම් ලබයි.

රාජ්‍ය නොවන සංවිධානවලට වෘත්තිය  දායකත්වය

 

භෞත චිකිත්සක (ගෞරව) උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු භෞතචිකිත්සකවරුන්ට ආබාධිත පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීම, ප්‍රජනක සෞඛ්‍යය හා HIV ඒඩ්ස්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනය (GBV) වැනි ක්ෂේත්‍ර වලට වෘත්තීමය ලෙස සිය දායකත්වය ලබා දිය හැකිය. එපමණක් නොව, භෞත චිකිත්සකවරුන්ට රාජ්‍ය නොවන සංවිධානවල ව්‍යාපෘති කළමනාකරුවන් සහ ප්‍රාදේශීය ව්‍යාපෘති ප්‍රධානීන් ලෙසද කටයුතු කළ හැකිය.

මෙම ක්ෂේත්‍ර හැරුණු විට භෞත චිකිත්සකවරුන්ට 

  • වෘත්තීය සහ ඒ ආශ්‍රිත සෞඛ්‍යය ගැටලු සම්බන්ධ භෞතචිකිත්සකවරුන්

  • පශු භෞතචිකිත්සකවරුන්

  • ව්‍යායාම සම්බන්ධ විශේෂඥවරුන් 

  • පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ව්‍යවසායකයන් 

සහ තවත් බොහෝ ක්ෂේත්‍ර සඳහා වෘත්තීය විකල්ප ඇත.


Physiotherapist Eranja Kodippiliarachchi
B.Sc.(Hons)(Col), M.Sc.(UK) 
Licensed Physiotherapist(SLMC,
lNHRA,Bahrain)

bottom of page