top of page

භෞතචිකිත්සාව පිළිබඳ ඇති වැරදි මත

භෞතචිකිත්සාව පිලිබඳ ඇති වැරදි මත.jpg

 

 

 

 

 

 

 

 

 

ඔබ රෝගී වූ විට, ආබාධයකට ලක් වූ විට හෝ වෙනත් ශාරීරික ව්‍යාධියක් සිදු වූ විට නැවත ඔබගේ චලනයන් සහ ක්‍රියාකාරිත්වයන් පෙර පරිදිම ඇති කර පවත්වා ගැනීම සදහා භෞතචිකිත්සාව මහෝපකාරී වේ.

"භෞතචිකිත්සාව" යන්න බොහෝ දෙනෙක් අසා ඇති නමුත් එහි සැබෑ අදහස, ඉන් ඔබට ඇති ප්‍රතිලාභය පිලිබඳ බොහෝ දෙනෙක් නොදනී. ඒ හේතුවෙන් භෞතචිකිත්සාව පිලිබඳ වැරදි වැටහීම්, දුර්මත ඇතැම් විට අසන්නට ලැබේ.

මේ, එවැනි මත සහ ඒවායේ සැබෑ ස්වරූපය පිලිබඳ ඔබ දැනුවත් කිරීමකි.

භෞතචිකිත්සක ප්‍රතිකාර වේදනාකාරී වේ යැයි ඇතමෙක් සිතුවොත් එය වැරදි අදහසකි. භෞතචිකිත්සක නිළධාරීන් ප්‍රතිකාර කරනුයේ ඔබේ වේදනාවන් සහ අපහසුතාවයන් අවම කිරීමටයි. රෝගී තත්ත්වය කෙටිකාලීන වුවත්, දිගුකාලීන වුවත් ඔවුන් ප්‍රතිකාර කරනුයේ ඔබේ වේදනාකාරී තත්ත්වයේ දේහලිය දක්වා පමණක් වන අතර ඔවුන් ඔබට ඔබේ රෝගී තත්ත්වය සුව කර නැවත පෙර පරිදිම චලන හා ක්‍රියාවන් ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රියකරයි.

භෞතචිකිත්සාව අනතුරු හා තුවාල / හානි සදහා පමණක් දැයි යන මතද දුර්මත වේ. භෞතචිකිත්සාව ඒ සදහා පමණක්ම නොවේ. භෞතචිකිත්සාව විශාල විශය පරාසයක පැතිරී ඇති බැවින් ඉන් විවිධ අංශ වලට අයත් පුද්ගලයින්‍ට ප්‍රතිලාභ ලැබිය හැකියි.

කාටිලේජ මඩල පරිහානි වීම (degenerative disc disease), උරහිසේ බන්ධනි ඉරීයාම (rotator cuff tears), ඔස්ටියෝආතරයිටිස් වල ඇතැම් තත්ව වැනි රෝගී තත්ත්වයන් වලදී  ශල්‍යකර්ම සිදුකිරීම ඒ වෙනුවෙන් ඇති එකම ප්‍රතිකාරය යැයි අදහස් වන්නේ නම් එයද එසේ නොවේ. ඉහත ඇති සෑම රෝගී තත්ත්වකටම භෞතචිකිත්සක ප්‍රතිකාර ඵ්ලදායී ලෙස යොදා ගත හැකියි.

භෞතචිකිත්සක නිළධාරීන් මාංශපේෂි වේදනා (muscle pain ) සදහා පමණක් ප්‍රතිකාර කරයි ලෙසින් ඇතමෙක් තුල වැරදි මතයක් පවතී.  මාංශපේශි වේදන, බන්ධනි සම්බන්ධ ගැටලු ආදියට සීමා නොවී පුලුල් විශය පරාසයක රෝග වලට ප්‍රතිකාර කිරීම සදහා භෞතචිකිත්සක නිළධාරීන් විශේෂඥ සෞඛ්‍ය වෘත්තීයකයින් වෙති.  අංශභාග රෝගීන්, ගැබිනි මව්වරුන්, වයස්ගත රෝගීන් , ළමයින් ආදී වූ ඕනෑම අංශයක පුද්ගලයෙක්ට පවා භෞතචිකිත්සක ප්‍රතිකාර පැතිය හැකිය.

රෝගී තත්ත්වයන් සුව කිරිමට භෞත චිකිත්සාවට වැඩි කාලයක් ගතවන බව ද වැරදි මතයකි. නමුත් ඒ සම්බන්ධයෙන් ඔබ වටහා ගත යුත්තේ මෙයයි. රෝගී තත්ත්වය සහ එහි බැරෑරුම්කම අනූව ප්‍රතිකාර කරන කාලසීමාව වෙනස් විය හැකිය. නමුත් බොහෝ තත්ත්වයන් වලදී භෞතචිකිත්සක ප්‍රතිකාර වල ප්‍රතිඵල ඔබට පලමු ප්‍රතිකාර වාර කිහිපයක් ඇතුලතම දැකගැනීමට හැකිවේ. රෝගීන්ගේ අභිවෘද්ධිය උදෙසා භෞතචිකිත්සක නිළධාරීන් ඔවුන් විසින්ම එක් එක් රෝගියාට වෙන් වූ ප්‍රතිකාර සැලැස්මක් සකස් කරන අතර ඊට අනූව ප්‍රතිකාර කරයි. ඇතැම් විට සම්පූර්ණයෙන් සුව කිරිමට ප්‍රතිකාර කාල සීමාව තරමක් දීර්ඝ වුවහොත් එය සිදුවන්නේ ඉහත සදහන් කල හේතු අනූව වුවත් එම ප්‍රතිකායේ ප්‍රතිඵල ඔබටම මුල් කාලයේදීම දැකගත හැකි වේ.

වඩාත් සුලබ දුර්මතයක් වනුයේ භෞතචිකිත්සාව යනු සම්භාහනයටම කියන තවත් ආකාරයක් යැයි පැවසීමයි. ඔබ විසින් දැනගත යුතුම කරුණක් නම්, මෙම ක්‍රම දෙක යනු හාත්පසින්ම වෙනස් අංශ දෙකක් බවයි. සම්භාහනය යනු සැහැල්ලුවක් සැලසීම (relaxation) සදහා කරන ක්‍රමයක් වේ. නමුත් භෞතචිකිත්සාව යනු රෝගීන් සුව කිරීමට, ඔවුන්ගේ වේදනාවන්, ආබාධිත තත්ත්වයන් අවම කිරීමට සහ අනතුරු වලින් පසු රෝගීන් පුනරුත්ථාපනය කිරීමටත් එමගින් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයන් නැවත ඇති කිරීමටත් සමත් විශේෂඥ සෞඛ්‍ය වෘත්තීයකි. රෝගියෙක්ගේ සම්පූර්ණ ඇගයීමකින්/ තක්සේරුවකින් පසු ගොඩනගන ප්‍රතිකාර සැලැස්මක් මත එය පදනම් වේ.

භෞතචිකිත්සක ප්‍රතිකාර කරනුයේ දිගුකාලීන (chronic) රෝගී තත්ත්වයන් සදහා පමණක් යැයි පැවසීම ද සාවද්‍ය වේ.  ඔබේ රෝගී තත්ත්වය කෙටිකාලීන (acute) වුවත්, මධ්‍ය කාලීන (sub-acute) වුවත්, දිගුකාලීන (chronic) වුවත් භෞතච්කිත්සක නිළධාරීවරයෙකුට ඒ සදහා ප්‍රතිකාර කිරීමේ දැනුම හා හැකියාව පවතී.

භෞතචිකිත්සක ප්‍රතිකාර මිල වැඩි යැයි ඇතමෙක් සිතුවද එය එසේ නොවේ. බොහෝ රෝහල්, පුද්ගලික ආයතන මගින් භෞත චිකිත්සක ප්‍රතිකාර දැරිය හැකි සාධාරණ මිලකට සපයනු ලබයි. එමෙන්ම රජයේ රෝහල් වලින් ඔබට නොමිලේම භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව ද පවතී.

References

bottom of page