top of page

පශු භෞතචිකිත්සාව පිළිබඳ දැනුවත් ද ?

Sinhala 1.jpg

වර්ථමානය වන විට සත්ව භෞතචිකිත්සාව කෙරෙහි වැඩි උනන්දුවක් යොමු වී ඇති අතර එය සමහර රටවල වෘත්තියක් ලෙස වර්ධනය වී තිබේ. ඇතැම් භෞතචිකිත්සකවරුන් සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ පුහුණුවක් ලබා, පශු වෛද්‍ය භෞතචිකිත්සකවරුන් ලෙස සුදුසුකම් ලබා ඇත.

 

පශු භෞතචිකිත්සාවට සතුන් තුළ ඇති මාංශ පේශි හා ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග හදුනා ගැනීම හා ඒවාට ප්‍රතිකාර කිරීම ඇතුළත් වේ. ඔවුන් පශු වෛද්‍යවරුන් සමඟ කටයුතු කරන අතර සතුන්ට ඇති වන වේදනාව, චලන සීමාවීම වැනි විවිධාකාර ගැටළු වලට උපකාර කිරීම සහ ඒවා නැවත ඇති වීම වලක්වයි. ශල්‍යකර්මයක් හේතුවෙන් ඇතිවිය හැකි සංකූලතා නිවැරදි කිරීම සඳහා බොහෝ විට ශල්‍යකර්මයෙන් පසු භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා වේ.

 

සත්වයාට ප්‍රතිකාර කිරීමේදී, ආරක්ෂිතව හැසිරවීමට සහ සතුන්ගේ රෝග නිවැරදිව හදුනා ගැනීමට සතුන්ගේ හැසිරීම් රටා පිළිබදව අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ.

ඔබේ සුරතලාට භෞතචිකිත්සක ප්‍රතිකාර අවශ්‍ය බවට ඔබ දැනුවත් වන්නේ කෙසේද?

 

ඔබේ සුරතලා වේදනාවෙන් පෙළෙන විට කොර ගැසීම, කෙදිරි ගෑම හෝ හති දැමීම වැනි ලක්ෂණ පෙන්විය හැකිය.

 

ඇතැම් දිගුකාලීන නිදන්ගත රෝග ඇති අවස්ථාවලදී, සතුන්ගේ වේදනාව එතරම් පැහැදිලිව හදුනාගත නොහැක.

 

එය හදුනා ගත හැකි ආකාර වන්නේ,

 

  • නිදාගැනීමේ හෝ වැතිර සිටීමේ අපහසුතාව.

  • පඩි පෙළ නැගීමට හෝ ගෘහ භාණ්ඩ මත නැගීමට අකමැති වීම.

  • ඇවිදීමට අකමැති වීම හෝ කෙටි දුරක් පමනක් ඇවිදීම.

  • දිගු කාලයක් නිදා ගැනීම හෝ ආහාර රුචිය අඩු වීම.

 

ඔබේ සුරතලාගේ සමස්ත සෞඛ්‍යය හා යහපැවැත්ම සඳහා, පශු වෛද්‍යවරයා විසින් රෝග හදුනා ගැනීම හා ඒවාට ප්‍රතිකාර කිරීම පසු, ඔබේ සුරතලා භෞතචිකිත්සක ප්‍රතිකාර සදහා යොමු කරනු ඇත.

 

 

සතුන් සදහා භෞතචිකිත්සාව යොදාගත හැකි අවස්ථා

 

මිනිසාට මෙන්ම විවිද අවස්ථා වලදී සතුන්ටද භෞතචිකිත්සාව භාවිතා කළ හැක.

 

  • අස්ථි බිඳීම, කණ්ඩරාවන් සහ මාංශ පේශි ඇදීමට ලක්වීම, බර්සයිටිස්, මෘදු පටක තුවාල වීම ඇතුළු මාංශ පේශි හා අස්ථි ආශ්‍රිත තත්වයන්.

  • මධ්‍යම හා පර්යන්ත ස්නායු පද්ධතියේ ආබාධ, මයෝපති සහ සමබරතාව ගිලිහී යාම වැනි ස්නායු රෝගී තත්වයන්.

  • වේදනාව පාලනය කිරීමට.

  • සමහර සත්ව කණ්ඩායම් තුල මාංශපේශී ශක්තිය හා දරාගැනී‍මේ කාලය වැඩි දියුණු කිරීම. (විශේෂයෙන් මලල ක්‍රීඩා සුනඛයන් සහ ධාවන අශ්වයන් තුළ)

  • මීට අමතරව තරබාරුකමට, මානසික පීඩනය අවම කිරීම සහ වැඩිහිටි සත්කාරය ද දැක්විය හැක.

 

 

භෞතචිකිත්සාව මගින් සතුන්ට ලැබෙන ප්‍රයෝජන

 

  • සන්ධි ආශ්‍රිත චලනයන් සීමා සහිත හා වේදනාකාරී වන විට සාමාන්‍ය චලනයන් උපරිම පරාසයක් තුල පවත්වා ගෙන යාමට උපකාරී වීම.

  • සතුන්ට ඇති වන අනතුරු අවම කිරීම හා රෝග තවදුරටත් නිර්මාණය වීම සීමා කිරීම.

  • රෝග සුව වීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ කාර්යයන් ස්වාධීනව සිදු කිරීමට පුහුණු කිරීම.

  • වේදනාව පාලනය කිරීම සහ සාමාන්‍ය චලන රටා යථා තත්ත්වයට පත් කිරීම.

  • සතුන් තුළ රුධිර සංසරන හා ස්වසන පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම.

  • සමබරතාවය සහ කාර්යයන් සම්බන්ධීකරණයට ඇති හැකියාව වැඩි දියුණු කිරීම.

 

 

සතුන් සඳහා භාවිතා කල හැකි භෞතචිකිත්සක ක්‍රම..

 

 

ව්‍යායාම

 

 

සතුත්ව පුනරුත්ථාපන වැඩසටහන් වලදී, සතුන් තුළ රුධිර සංසරන හා ස්වසන පද්ධතිවල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම, ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය හා සමබරතාවය, ඉරියව් පවත්වාගෙන යාම සහ දුර්වල මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා භෞතචිකිත්සක ව්‍යායාම භාවිතා කළ හැකිය. සතුන්ට සරලව අවබෝධ කර ගත හැකි හා අනුගමනය කළ හැකි, හිමිකරු සමඟ ඇවිදීම, පඩි නැගීම සහ පිහිනීම වැනි සරල ව්‍යායාම මේ සඳහා භාවිතා කරයි.

මාංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම අතරට ට්‍රොලිං, කඳු නැගීම සහ බර ඇදීම වැනි ව්‍යයාම ඇතුළත් වේ. ඇවිදීම පුහුණු කිරීමේදී, අඩු සමබරතාවක් ඇති සතුන්ට බොහෝ විට නැගී සිටීමට හා ඇවිදීමට ආධාරක වල සහය අවශ්‍ය වේ.

 

 

විද්‍යුත් චිකිත්සාව(electrotherapy)

 

 

රෝගී සතුන්ගේ තුවාල සුව වීම වේගවත් කිරීම, සන්ධි ප්‍රදාහ, සන්ධි ඉදිමීම සහ වේදනාව පාලනය කිරීම වැනි අවස්ථා සඳහා විවිධ විද්‍යුත් ක්‍රම භාවිතා කළ හැකිය. (ලේසර් චිකිත්සාව,Ultrasound therapy, Transcutaneous Electrical Nerve Stimulation (TENS)

 

 

තාප චිකිත්සාව(Heat and Cold therapy)

 

 

වේදනාව පාලනය, ඉදිමීම සහ ලේ ගැලීම පාලනය කිරීම සඳහා භාවිතා කල හැකි සරල ප්‍රතිකාර ක්‍රමයකි.

 

 

ජල චිකිත්සාව.

 

 

ඇවිදීමට සහ ඉරියව්ව පවත්වා ගැනීමට නොහැකි සතුන්ට ජල චිකිත්සාව ඉතා ප්‍රයෝජනවත් වේ. එමඟින් ඉහළ මට්ටමේ ශරීර ක්‍රියාකාරීත්වයක් ලබා ගත හැකිය. ඇද වැටීම් වලින් සන්ධි වලට හා පටක වලට හානිවීමේ අවදානම මෙමගින් අවම කරයි.

 

 

සත්ව පුනරුත්ථාපන කණ්ඩායම තුල භෞතචිකිත්සකවරයාගේ කාර්යය

 

සතෙකු පුනරුත්ථාපනය කිරීම පශුවෛද්‍ය කණ්ඩායමේ සියලුම සාමාජිකයින් විසින් සිදු කරනු ලබයි. සෑම සාමාජිකයෙක්ම ඔවුන්ගේ වෘත්තීය පුහුණුව හා පළපුරුද්ද මත විවිධ මට්ටම් වලින් එයට සහභාගී වේ.

සුදුසුකම් ලත් පශු භෞතචිකිත්සකවරයකුට රෝගී සත්වයෙකු සදහා යොදා ගත හැකි හොඳම ප්‍රතිකාර සැලැස්ම තෝරා ගත හැකිය. අනතුරකට හෝ ශල්‍යකර්මයකට පසු සත්වයෙකු නැවත සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ගෙන ඒම මෙමගින් සිදු කරයි.

 

භෞතචිකිත්සාවේ අවසන් ප්‍රථිපල කෙරෙහි සත්වයාගේ හැසිරීම හා අයිතිකරුගේ ඒ පිළිබඳව ඇති අවබෝධයද බලපායි.

 

යශෝධා මාසිංහ

 

References

 

Sharp, B. (2008) ‘<Physiotherapy in small animal practice BRIAN SHARP.pdf>’.

 

https://todaysveterinarypractice.com/physical-rehabilitation-for-veterinary-practices/

bottom of page