මස්තිෂ්ක ආඝාතය යනු කුමක්ද?
මස්තිෂ්ක ආඝාතය යනු ළමා වියේ බහුලව දක්නට ලැබෙන ස්නායුගත ආබාධයකි. එය මොළයට සිදුවන හානියක් හෝ මොළයේ ඇති අසාමාන්‍යතා හේතුවෙන් ඇති වන චලනයේ හා ඉරියව්වල වර්ධනයේ ස්ථිර ආබාධ සමූහයකි. සරලවම එයින් අදහස් කරන්නේ මොළයේ ඇති වූ ගැටළුවක් හේතුවෙන් චාලක ක්‍රියාකාරිත්වයන් නැතිවීම හෝ දුර්වල වීමයි.
මස්තිෂ්ක ආඝාතය මාංශ පේශි චලනයන් පාලනය කරන මොළයේ පිටත ප්‍රදේශයට (මස්තිෂ්ක බාහිකයට) හානි කරයි. මෙම හානිය සිදුවිය හැක්කේ කලලය වර්ධනය වන විට බාහිකය සාමාන්‍යය පරිදි වර්ධනය වී නැති නිසා හෝ උපතට පෙර, උපතේදී හෝ පසු මොළයට හානි වීම නිසා විය හැකිය. මෙම හානිය නැවත ප්‍රතිසස්කරණය නොවේ
මස්තිෂ්ක ආඝාතය මුළු ශරීරයටම හෝ ශරීරයේ එක් පැත්තක් හෝ සමහර විට මූලික වශයෙන් ශරීරයේ එක් අවයවයක් විය හැකිය.
මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන් තුල පුළුල් පරාසයක රෝග ලක්ෂණ දක්නට ලැබේ.
ඉච්ඡානුග චලනයන් සිදු කිරීමේදී මාංශ පේශි සම්බන්ධීකරණය නොමැති වීම.
තද මාංශ පේශි සහ වැඩි වුනු ප්‍රතීක දක්නට ලැබීම.
එක් බාහුවක හො කීපයක දුර්වලතාවයන්.
ඇඟිලි මතින් ඇවිදීම, වක්‍රාකාර ඇවිදීම, හෝ ‘scissor gait’ (දණහිස හරස් වී ඇවිදීම) හෝ අසමමිතික ඇවිදීම වැනි ඇවිදීමේ වෙනස්කම්.
මාංශ පේශි තානයෙහි විචලනයන් (අධික ලෙස තද හෝ අධික ලෙස ලිහිල්).
වෙව්ලීම හෝ අහඹු අනිච්ඡානුග චලන.
වාඩි වී සිටීම හෝ බඩගා යාම වැනි චාලක සන්ධිස්ථාන කරා ළඟා වීමට ප්‍රමාද වීම.
ලිවීම හෝ බොත්තම් දැමීම වැනි සියුම් චලනයන්හි දුෂ්කරතා.
ආහාර ගිලීමේ ගැටළු.
මොළයේ බලපෑමට ලක් වූ කොටස අනුව එම රෝග ලක්ෂණ සහ රෝග ලක්ෂණ වල බරපතලකම දරුවාගෙන් තවත් කෙනෙකුට වෙනස් වේ. නමුත් මස්තිෂ්ක ආඝාතය ඇති සෑම දරුවෙකුටම චලනය හා ඉරියව් පිළිබඳ ගැටළු ඇත. එසේම කාලයත් සමග එම දරුවා තුළ පවා රෝග ලක්ෂණ වෙනස් විය හැකිය. දරුවා වයසින් වැඩෙත්ම, සමහර රෝග ලක්ෂණ වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ. ප්‍රතිකාර නොකළහොත් විශේෂයෙන් මාංශ පේශි කෙටි වීම සහ මාංශ පේශි දෘඩතාව නරක අතට හැරෙනු ඇත.
මස්තිෂ්ක ආඝාතයේ පෙර ලකුණු මොනවාද?
මස්තිෂ්ක ආඝාතය පිළිබඳ මුල් ලකුණු සාමාන්‍යයෙන් ජීවිතයේ මුල් මාසවල දක්නට ලැබෙන නමුත් වයස අවුරුදු 2 හෝ ඊට පසු වන තුරු නිශ්චිතව හඳුනාගත නොහැක.
මෙම දරුවන්ට වර්ධනයේ ප්‍රමාදයක් ඇති අතර එහිදී පෙරළීමට, වාඩි වීමට, බඩගා යාමට හෝ ඇවිදීමට ඉගෙනීම වැනි වර්ධනයේ සන්ධිස්ථාන කරා ළඟා වීමට ප්‍රමාද වේ.
මස්තිෂ්ක ආඝාතය සහිත ළදරුවන්ට අසාමාන්‍ය මාංශ පේශි තානයක් ඇත. මාංශ පේශි තානය වැඩි වීමේදී (hypertonia) මාංශ පේශි තද ගතියෙන් දැනෙනෙ අතර මාංශ පේශි තානය අඩු වීමේදී (hypotonia) මාංශ පේශි සැහැල්ලු ගතියෙන් දැනේ. සමහර අවස්ථාවල තානය අඩු ගතිය පළමු මාස 2, 3 න් පසු තානය වැඩි ගතිය දක්වා වර්ධනය විය හැකිය. මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට අසාමාන්‍ය ඉරියව්වක් හෝ ශරීරයේ එක් පැත්තකට වැඩි නැඹුරු බවක් දැකිය හැකිය, එනම් එක් අතකින් පමණක් යමකට ළඟා වීම හෝ බඩගා යන විට කකුල ඇදගෙන යාම දැකිය හැකිය.
🔘 මෙවැනි සමහර පූර්ව අනතුරු ඇඟවීමේ ලක්ෂණ :
මාස 6 ට අඩු ළදරුවෙකු තුළ
ඔබ දරුවා වැතිරී සිට ඉහලට ඔසවන විට හිස පහලට වැටේ.
ළදරුවා ගේ ශරීරයේ තද බවක් දැනේ.
කකුල් තද වන අතර ඔබ දරුවා රැගෙන යන විට ඒවා හරස් අතට වැටේ.
මාස 6 ට වඩා වැඩි දරුවෙකු තුළ
දරුවා දෙපැත්තටම පෙරළෙන්නේ නැත.
දරුවාට දෑත් එකට ගෙන ඒමට නොහැකි අතර කටට අත ගෙන ඒමට අපහසුය.
දරුවා එක් අතකින් පමණක් යමකට ළඟා වන අතර අනෙක් අත තදින් තබා ගනී.
මාස 10 ට වඩා වැඩි දරුවෙකු තුළ
දරුවා දණගාගෙන යාමෙදී එක් පැත්තකට බර වී ප්‍රතීවිරුද්ධ අත හා කකුල ඇදගෙන යයි.
දරුවාට යමක ආධාරයෙන්වත් නැගිට සිටීම අපහසුයි.
ඔබේ දරුවා තුළ මෙම සලකුණු කිසිවක් ඔබ දුටුවහොත්, ඔබ වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.
මස්තිෂ්ක ආඝාතය සුව කළ නොහැකි වුවද, නිසි කළමනාකරණයකට රෝග ලක්ෂණ සමඟ කටයුතු කිරීමට, ගැටළු වළක්වා ගැනීමට සහ දරුවාගේ හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගත හැකිය. භෞත චිකිත්සාව යනු මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන් කළමනාකරණය කිරීමේ වැදගත්ම ප්‍රතිකාරයකි. මෙහිදී ඖෂධ, සැත්කම්, ඇවිදීමේ ආධරක අස්ථි වැනි විශේෂ උපකරණ ද උපකාරී වේ.
භෞතචිකිත්සක කළමනාකරණය දරුවාගේ ශක්තිය, නම්‍යශීලී බව, සංචලතාව වැඩි කිරීමට සහ දරුවාගේ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්ම යථා තත්වයට පත් කිරීමට උපකාරී වේ.
උපේක්ෂා මධුෂානි
References
https://www.cdc.gov/ncbddd/cp/facts.html
http://www.ninds.nih.gov/disorders/patient-caregiver-education/hope-through-research/cerebral-palsy-hope-through-research
https://www.cerebralpalsy.org/about-cerebral-palsy/definition
Comments