top of page

නිවසේදී COVID-19 රෝගියෙකු රැකබලා ගන්නා ආකාරය


මද හෝ මධ්‍යස්ථ ලෙස රෝගය ඇති, වයස අවුරුදු 60 ට අඩු, දුම් පානය නොකරන, තරබාරු නොවන, හෘද වාහිනී රෝග, දියවැඩියා රෝග, නිදන්ගත පෙනහළු රෝග, පිළිකා, නිදන්ගත වකුගඩු රෝග, ප්‍රතිශක්ති ඌනතා වැනි වෙනත් රෝග නොමැති පුද්ගලයින්, නැතහොත් PCR පරීක්ෂාවෙන් ධනාත්මක බව තහවුරු වූ නමුත් රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා සපයන්නෙකුගේ මඟ පෙන්වීම හා උපදෙස් යටතේ නිවාස රැකවරණය ලබා දිය හැකිය.


නිවසේදී රැකබලා ගන්නා COVID-19 සහිත පුද්ගලයින් තවදුරටත් වෛරසය අන් අයට සම්ප්‍රේෂණය කිරීමට නොහැකි වන තෙක් හුදෙකලා විය යුතුය. එබැවින් එතෙක් සෞඛ්‍ය සම්පන්න පවුලේ සාමාජිකයෙකු විසින් රැකවරණය ලබා දිය යුතුය.


රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් සඳහා :


පළමු දිනට පසු අවම වශයෙන් දින 10 ක්, රෝග ලක්ෂණ නොමැතිව අවම වශයෙන් තවත් අමතර දින 3 ක් (උණ නොමැතිව සහ ශ්වසන රෝග ලක්ෂණ ඇතුළුව)


රෝග ලක්ෂණ රහිත පුද්ගලයින් සඳහා:


PCR පරීක්ෂාවෙන් ධනාත්මක බව තහවුරු වීමෙන් දින 10 කට පසුව


සෞඛ්‍ය සේවකයින් COVID-19 සහිත පුද්ගලයින්ගේ රැකබලා ගන්නන් සමඟ සන්නිවේදනය කිරීමේ මාධ්‍යයක් ස්ථාපිත කර ගත යුතුය. ඒ COVID-19 වෛරසය පැතිරෙන ආකාරය සහ නිවස තුළ සම්ප්‍රේෂණය වීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිලිබදව පැහැදිලි, ස්ථාවර, සරල තොරතුරු සැපයීම සඳහාය. මෙය COVID-19 රෝගීන් තම නිවස තුල රැකවරණය පිළිබඳ මාර්ගෝපදේශනය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අංගයක් වේ. රෝග ආසාදනය වැළැක්වීම සඳහා තොරතුරු පමණක් ප්‍රමාණවත් නොවන අතර, නිවැරැදි ආසාදන පාලනය කිරීමේ පිළිවෙත් සහ නිවසේදී පිලිපැදීමට නිර්දේශිත පහත සඳහන් ක්‍රියාමාර්ග සහ හැසිරීම් පිළිපැදීම අවශ්‍ය වේ.




COVID-19 රෝගී නිවාස සත්කාර මාර්ගෝපදේශ


රෝගියා


  • වෙනම කාමරයක නැවතී, අන් අය සමඟ ගැටෙන ඉඩ ප්‍රමාණය අවම කළ යුතුය. මෙය කළ නොහැකි නම්, අවම වශයෙන් මීටර් 1 ක දුරක් ඔවුන්ගෙන් තබා ගන්න.

  • රෝගී පුද්ගලයාගේ කාමරය සහ අන් අය සමඟ ගැටෙන අවකාශයන් හි හොඳ වාතාශ්‍රයක් ‍පවත්වා ගත යුතුය.

  • රෝගී වූ පුද්ගලයාට වෙන්වූ කෑම පිඟන්, කෝප්ප, ආහාර ගැනීමේ උපකරණ, තුවා සහ ඇඳ ඇතිරිලි තිබිය යුතුය. ඒවා සබන් හා වතුරෙන් සෝදා ගත යුතු අතර ඒවා හවුලේ භාවිතයට නොගත යුතුය.

  • නිවසේ සහ පිටත වෙනත් පුද්ගලයින් සිටින විට මුඛ ආවරණයක් පැළඳිය යුතුය (වයස අවුරුදු 2 ට අඩු කුඩා දරුවන්ට, හුස්ම ගැනීමේ අපහසුතා ඇති ඕනෑම කෙනෙකුට හෝ අන් අයෙකුගෙ ආධාරයක් නොමැතිව මුඛ ආවරණයක් ඉවත් කිරීමට නොහැකි නම් හෝ භාවිතා නොකරන්න).

  • තරල වැඩි වශයෙන් ගන්න.


COVID-19 සඳහා පහත දැක්වෙන හදිසි අනතුරු ඇඟවීමේ රෝග ලක්ෂණ පිළිබඳව සොයා බලන්න. යමෙකු මෙම රෝග ලක්ෂණ කිසිවක් පෙන්වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

  • හුස්ම ගැනීමේ අපහසුව

  • පපුවේ නිරන්තර වේදනාව හෝ පීඩනය

  • පෙර නොවූ ව්යාකූලත්වයක් පෙන්වීම

  • අවදි වීමට හෝ අවදියෙන් සිටීමට නොහැකි වීම

  • සුදුමැලි, අළු හෝ නිල් පැහැති සම (මෙය සමේ ගති ගුණ අනුව වෙනස් වේ), තොල් හෝ නියපොතු පත්ල (Nail beds)


රැකබලාගන්නා සහ පවුල


  • රැකබලා ගන්නන්ගේ සංඛ්‍යාව ‍එක් පුද්ගලයෙකුට සීමා කරන්න. හැකි නම්, හොඳ සෞඛ්‍යය ‍සම්පන්න සහ නිදන්ගත රෝගී තත්වයන් නොමැති පුද්ගලයෙකු යොදා ගන්න.

  • අවශ්‍ය බඩු බාහිරාවිය ගෙන දීම, බෙහෙත් වට්ටෝරු සම්පූර්ණ කර දීම වැනි මූලික දෛනික අවශ්‍යතා සහ වෛද්‍ය උපදෙස් පිළිපැදීම සඳහා රෝගී පුද්ගලයාට උදව් කරන්න.

  • රැකබලා ගන්නන් සහ ගෘහස්ථ සාමාජිකයන් රෝගාතුර වූ පුද්ගලයෙකු සමඟ එකම කාමරයේ සිටියදී මුඛ ආවරණයක් පැළඳිය යුතු අතර, භාවිතයේ දී ඔවුන්ගේ මුඛ ආවරණය හෝ මුහුණ ස්පර්ශ නොකළ යුතුය.

  • නොසේදු දෑතින් ඔබේ ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න.

  • රෝගී පුද්ගලයා නිතර ස්පර්ශ කරන පෘෂ්ඨයන් අවම වශයෙන් දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කළ යුතුය.

  • නිවසේ සිටින සෑම කෙනෙකුම නිතිපතා සබන් සහ වතුරෙන් අත් සේදිය යුතුය,

✴ විශේෂයෙන්:

  • කැස්ස හෝ කිවිසුම් යාමෙන් පසු

  • ඔබ ආහාර පිළියෙළ කිරීමට පෙර සහ පසුව

  • කෑමට පෙර

  • වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු

  • රෝගී පුද්ගලයා රැකබලා ගැනීමට පෙර සහ පසු

  • දෑත් පෙනෙන තරම් අපිරිසිදු වූ විට


  • කැස්සක් හෝ කිවිසුමක් නැමු වැලමිටකින් හෝ ඉවත දැමිය හැකි අත් පිස්නාවකින් ආවරණය කර ගත යුතුය.

  • රැකබලා ගන්නෙකු තමාගේ සෞඛ්‍යය ‍තත්ත්වය ගැන සැලකිල්ලෙන් සිටිය යුතුය.

  • අමුත්තන්ට නිවස පැමිණීමට ඉඩ නොදිය යුතුය.

  • රෝගී පුද්ගලයාගේ අපද්‍රව්‍ය ‍බැහැර කිරීමට පෙර ශක්තිමත් සංවෘත බෑග්වල ඇසුරුම් කළ යුතුය.


රැකබලා ගන්නන් රෝගී පුද්ගලයා සමඟ අවසන් වරට කිට්ටු සම්බන්ධතාවයකින් පසුව දින 14 ක් දිගටම නිවසේ රැඳී සිටිය යුතුය.


References


https://www.who.int/publications/i/item/home-care-for-patients-with-suspected-novel-coronavirus-(ncov)-infection-presenting-with-mild-symptoms-and-management-of-contacts


https://www.cdc.gov/coronavirus/2019-ncov/if-you-are-sick/care-for-someone.html


https://www.who.int/news-room/q-a-detail/coronavirus-disease-covid-19-home-care-for-families-and-caregivers



දිනූෂා ඈපා සෙනෙවිරත්න

7 views0 comments
bottom of page