top of page

Skinfold පරීක්ෂණය පිළිබඳව ඔබ දැනුවත්ද?


Skinfold පරීක්ෂණය යනු , ශරීරයේ මේද සංයුතිය නිර්ණය කිරීම සඳහා යොදාගන්නා පොදු ක්‍රමයකි. ශරීරයේ පිහිටි ප්‍රදේශ කිහිපයක සමේ ඝනකම මැනීමට කැලිපර් භාවිත කරන අතර කාලයත් සමඟ පුද්ගලයාගේ ප්‍රගතිය පෙන්නුම් කිරීමට උපකාරී වේ. Skinfold මිනුම් කිරීම පදනම් වී ඇත්තේ, ශරීරයේ ඇති සම්පූර්ණ මේදයෙන් 50% ක පමණ ප්‍රමාණයක් සමට යටින් පවතින බවට නිගමනය කිරීමෙන් වන අතර නිශ්චිත ප්‍රදේශ වල Skinfolds වල ඝනකම මැනීම ද ඊට ඇතුළත් වේ.


මෙම ක්‍රමය මිල අධික නොවන, සාධාරණීය ලෙස නිවැරදි ප්‍රතිඵල ලබා දෙන ක්‍රමයකි. සමේ රැල්ලක් ඇතිවන පරිදි සම අල්ලාගැනීමේ කුසලතාවය හා Skinfold කැලිපරය භාවිතා කොට Skinfold මැනීමේ කුසලතාව ප්‍රගුණ කළ පසු මෙය හැසිරවීම පහසු වේ.



Skinfold පරීක්ෂණයට මුහුණදිය හැක්කේ කාටද?


ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ Skinfold පරීක්ෂණය කර ගත හැකිය. ඔබේ මාංශ පේශිවල ස්කන්ධය වැඩි කරගැනීමට ඔබට අවශ්‍යනම්, Skinfolds වල මිනුම තක්සේරු කිරීම මඟින් ඔබේ ස්කන්ධය වැඩිවීම සිදුවූයේ මාංශ පේශිවල ස්කන්ධය වැඩි වීම නිසාද, මේද ස්කන්ධය වැඩි වීම නිසාද එසේත් නැතිනම් එම හේතූන් දෙකම නිසාද යන්න ඔබට අවබෝධ කරගත හැකිය. එසේම, ඔබ ඔබේ මේද ස්කන්ධය අඩු කරගැනීමේ අරමුණින් සිටින්නේ නම්, ඔබේ Skinfolds වල මිනුම නිතිපතා තක්සේරු කිරීම මඟින් ඔබ මේද ස්කන්ධය අඩු කරගන්නා අතරවාරයේදී මාංශ පේශි කෙතරම් හොඳින් නඩත්තු කර ඇත්දැයි ඔබට අවබෝධ කරගත හැකිය.


ක්‍රීඩාවේදී, ඔබේ පුහුණුවේ ඵලදායීතාවය තක්සේරු කිරීමට භාවිතා කරන තවත් මිනුමක් ලෙසද Skinfolds යොදාගත හැක. ජිම්නාස්ටික්, කිමිදුම් වැනි සමහර ක්‍රීඩාවලට ඒවාටම ආවේණික වූ නිශ්චිත ගතිලක්ෂණ ඇත. මැරතන් සහ බයිසිකල් පැදීම වැනි විඳදරාගැනීමේ ක්‍රීඩාවලදී (Endurance sports) ශරීරයේ අඩු මේද මට්ටමක් පැවතීම කාර්යක්ෂමතාව වැඩිකරගැනීමට සහ තාපය වැඩි වශයෙන් විසුරුවා හැරීමට උපකාරී වේ. ඔරු පැදීම, බොක්සිං වැනි බර පන්ති අයත් වන ක්‍රීඩාවලදී, ශරීරයේ අඩු මේද මට්ටමක් පැවතීම, කුඩා හෝ අඩු මාංශ පේශි සහිත විරුද්ධවාදීන් හා සසඳන විට ශක්තිය:බර අනුපාතය වැඩි කිරීමට උපකාරී වේ.


රග්බි වැනි කණ්ඩායම් ක්‍රීඩා වලදී, එක් එක් ක්‍රීඩකයා දරණ තනතුර විවිධ වන අතර එම තනතුරු සඳහා විවිධ භූමිකාවන් ඇත. ඔවුන්ගේ භූමිකාවන් ඵලදායී ලෙස සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ගේ භූමිකාවට යෝග්‍ය වන ආකාරයේ විවිධ ශරීර සංයුතීන් අවශ්‍ය වේ. කාලයත් සමඟ ශරීර සංයුතියේ සිදුවන වෙනස්කම් අධීක්ෂණය කිරීම සඳහා පවතින ක්‍රම අතරින් Skinfolds වල අගය තක්සේරු කිරීම දැනට පවතින වඩාත් ඵලදායී ක්‍රමය වන අතර මෙය මලල ක්‍රීඩකයෙකු ලෙස ඔබේ කාර්යය සාධනයේ ප්‍රගතිය තක්සේරු කිරීමට ඔබට භාවිතා කළ හැකි එක් ක්‍රමයකි.

Skinfolds මිනුම් ලබා ගන්නේ කෙසේද?


Skinfolds වල මිනුම් සාමාන්‍යයෙන් ලබා ගන්නේ, ශරීරයේ දකුණු පැත්තේ ඇති ප්‍රදේශ කිහිපයකිනි. පරීක්ෂකයා විසින් ශරීරයේ අදාල ප්‍රදේශයේ සමේ රැල්ලක් ඇතිවන ලෙස, සමට යටින් ඇති මාංශ පේශි වලින් ඉවතට සම අදිමින් අල්ලාගනී. මෙලෙස සම අල්ලාගැනීමේදී සම සහ මේද පටක පමණක් එයට හසුවේ. සමෙහි ඝනකම මිලිමීටර වලින් මැනීම සඳහා විශේෂිත Skinfold කැලිපර භාවිතා කරනු ලැබේ. මිනුම් දෙකක් ලබාගෙන ඒවායේ සාමාන්‍ය අගය ලබාගනී.


භාවිත කරනු ලබන විශේෂිත Skinfold පරීක්ෂණ ක්‍රියාපිළිවෙත අනුව මිනුම් ලබාගන්නා ප්‍රදේශ වෙනස් වේ. නමුත් සාමාන්‍යයෙන් ශරීරයේ පහත සඳහන් ප්‍රදේශ සමස්තයක් ලෙස යොදා ගනී.


  • උදරය - නාභිය අසල

  • කිහිල්ලේ මධ්‍ය ප්‍රදේශය - ශරීරයේ කඳ කොටසේ පැත්තෙන් ඇති ප්‍රදේශයේ මධ්‍ය රේඛාව

  • ළය - මැද පපුව, කිහිල්ලට මදක් ඉදිරියෙන්

  • කලවා ප්‍රදේශය - කලවෙහි ඉහල මැද ප්‍රදේශය

  • උරහිස් තලය අසල (Subscapular)

  • උකුල් අස්ථියේ ඉහළ ප්‍රදේශය (Suprailiac) - උකුල් අස්ථියේ ඉහළ මායිමට (Iliac crest) ඉහළින්

  • ත්‍රිශීර්ෂ පේශී ප්‍රදේශය (Triceps) - උඩු බාහුවේ පිටුපස

  • ද්විශීර්ෂ පේශී ප්‍රදේශය(Biceps) - උඩු බාහුවේ ඉදිරිපස


එක් එක් පුද්ගලයාගේ ශරීරයේ මේද ව්‍යාප්තියේ විවිධත්වය අනුව මෙම ප්‍රදේශ තෝරාගනු ලැබේ. අවසන් ප්‍රතිඵලය ලෙස ගනු ලබන්නේ ප්‍රදේශ 8න් ලබා ගන්නා මිනුම් වල සාමාන්‍ය අගයයි. (සමහර ක්‍රීඩා වලදී ප්‍රදේශ 7ක මිනුම් පමණක් ගනු ලැබේ, උකුල් අස්ථියට ඉහළ ප්‍රදේශයෙන් ලබා ගන්නා මිනුම හැර)


Skinfolds මිනුම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය පහත පරිදි වේ.


  • Skinfold මිනුම ලබාගන්නා ප්‍රදේශයේ පිහිටීම හඳුනා ගන්න. ශරීරයේ දකුණු පැත්තට අදාළව ඇති සියලුම ප්‍රදේශවල මිනුම් ලබාගන්න. (විකල්ප: එකම මිනුම් නැවත නැවත ලබා ගැනීම වලක්වා ගැනීමට හා මිනුම් ලබා ගැනීම ඉක්මනින් සිදුකිරීමට, මිනුම් ලබා ගතයුතු ප්‍රදේශයන් ඇහිබැමි පාට කිරීමට ගන්නා පැන්සලකින් සලකුණු කරන්න.)

  • වම් අතේ මාපටැඟිල්ල සහ දබරඇඟිල්ලෙන් සමේ රැල්ලක් ඇතිවන පරිදි සම ඇද තදින් අල්ලා ගන්න.

  • මිනුම් ලබා ගන්නා ප්‍රදේශයට ලම්බකව කැලිපරය තබාගෙන, මාපට ඇඟිල්ල සහ දබරඇඟිල්ලේ සිට අඟල් 1/4 ක් පමණ දුරින් කැලිපරයේ පෑඩ් තබන්න.

  • කැලිපරයේ ප්‍රේරකය මුදා හැර තත්පර එකකට හෝ දෙකකට පසුව, ආසන්නතම මි.මී. 0.5ට පාඨාංකය කියවන්න.

  • සෑම ප්‍රදේශයකින්ම අවම වශයෙන් මිනුම් දෙකක් ලබාගත යුතු අතර, එක් මිනුමක් ලබාගත් පසුව සමෙහි මේද ස්ථරයට එහි සාමාන්‍ය අවස්ථාවේ පැවති ඝනකම නැවත ලබා ගැනීමට ඉඩදීම සදහා අවම වශයෙන් තත්පර 15ක් ගත වූ පසු දෙවනි මිනුම ලබාගන්න.

  • ලබා ගන්නා මිනුම් දෙකේ වෙනස මි.මී. 1 ට වඩා අඩු වන තෙක් මිනුම් ලබා ගැනීම දිගටම සිදුකරන්න.


Skinfolds මිනුමේ නිරවද්‍යතාවය


මෙම පරීක්ෂණවල නිරවද්‍යතාවය රඳා පවතින්නේ භාවිතා කරන කැලිපර් වර්ගය, පරීක්ෂකයාගේ නිපුණතාවය සහ පරීක්ෂණය සිදු කරන අවස්ථාවේ පුද්ගලයාගේ සජලීය මට්ටම මත ය. කැලිපරය භාවිත කිරීම දුෂ්කර විය හැකි බැවින්, ඔබ එය තනිවම කිරීමට උත්සාහ කරන්නේ නම් ලබා ගන්නා මිනුම් වල දෝෂසහගත බව වැඩිවේ. එමනිසා මේද ප්‍රතිශත තක්සේරු කිරීමේදී වැරදි අගයන් තක්සේරු වනු ඇත.


ප්‍රතිඵල වලංගු හා විශ්වාසදායක වීමට නම්, Skinfolds වල මිනුම් නිසි ලෙස ගත යුතු අතර එක් මිනුමක සිට තවත් මිනුමක් ගැනීමේදී එකම පුද්ගලයා විසින් මිනුම් ලබාගත යුතුය. මිනුම් ගැනීමට නුසුදුසු ප්‍රදේශයන් තෝරාගැනීම සහ වැරදි මිනුම් ලබාගැනීම මෙම ක්‍රමය භාවිත කිරීමේදී සිදුකරනු ලබන මූලික දෝෂයන් වේ. තවද, සමට තරල ගලා ඒම නිසා තක්සේරු අගයට වඩා මිනුම් ප්‍රතිඵල වැඩි වීමට හේතු විය හැකි බැවින් Skinfolds මිනුම් ව්‍යායාම කිරීමෙන් පසුව නොගත යුතුය.


Skinfolds මිනුම් භාවිතා කරමින් ශරීර මේද ප්‍රතිශතය ගණනය කිරීම


Skinfolds මිනුම් ලබාගත් පසු, එම ලබාගත් අගයන් ඇසුරින් ශරීර මේද ප්‍රතිශතය ගණනය කළ යුතුය. ලබාගත් මිනුම් ශරීර මේද ප්‍රතිශතය බවට පරිවර්තනය කිරීමට සූත්‍ර ඇත.මෙම සූත්‍ර වලින් ලැබෙන ශරීර මේද ප්‍රතිශතය සඳහා පුද්ගලයාගේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවයද බලපානු ඇත.


පුහුණුව ලත් වෘත්තිකයෙකු/භෞතචිකිත්සකවරයෙකු විසින් Skinfold මිනුම් ලබාගැනීම හා මේද සංයුතිය ගණනය කිරීම සිදු කරනු ලබයි.


References


https://www.acefitness.org/education-and-resources/lifestyle/tools-calculators/percent-body-fat-calculator/


https://www.precisionathletica.com.au/skinfold-testing-from-an-athletes-point-of-view/


https://www.verywellfit.com/calculate-body-fat-by-measuring-skinfolds-3120273



මල්ෂා සෙව්වන්දි


7 views0 comments
bottom of page