top of page

ඔබත් නිදන්ගත වේදනාවකින් පෙළෙනවාද?


මාස තුනකට වඩා වැඩි කාලයක් පවතින හෝ තුවාලයක් සුවවීම සම්පූර්ණ වූ පසු ඇති වන වේදනාව නිදන්ගත වේදනාව/ දිගු කාලීන වේදනාව ලෙස හැඳින්වේ.

තුවාලයක් සුව වන විට, සාමාන්‍යයෙන් වේදනාව අඩු වේ. කෙසේ වෙතත්, නිදන්ගත වේදනාව සාමාන්‍ය වේදනාවකට වඩා වෙනස් ය. නිදන්ගත වේදනාවක් පවතින විට , තුවාලයක් සුව වූ පසුව පවා ශරීරය විසින් මොළයට වේදනා සංඥා යවයි. පටක හානියක් නොතිබුණද, ඔබේ ශරීරයට සිදුවන හානිය පිළිබඳ අධික ලෙස සංවේදී වීමේ ප්‍රතිචාරයක් වශයෙන් මාස කිහිපයක් හෝ අවුරුදු ගණනක් පැවතිය හැකි රෝග තත්ත්වයක් ලෙස මෙය සැලකිය හැකිය.


නිදන්ගත වේදනාව ඔබේ සංචලතාවය සීමා කරන අතර ඔබේ නම්‍යශීලීභාවය, ශක්තිය සහ විඳදරාගැනීමේ හැකියාව අඩු කරයි. මෙය දෛනික කාර්යයන් හා ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා අභියෝගයක් විය හැකිය. මෙහිදී තියුණු වේදනාවක් ඇතිවිය හැකි අතර, බලපෑමට ලක් වූ ප්‍රදේශවල දැවෙන බවක් හෝ කැක්කුමක් දැනේ. එය වරින් වර ඇති විය හැකිය, කිසිදු පැහැදිලි හේතුවක් නොමැතිව ඇතිවීම සහ නැතිවීම සිදු වේ. ඔබේ ශරීරයේ ඕනෑම කොටසක නිදන්ගත වේදනාවක් ඇතිවිය හැකිය.







නිදන්ගත වේදනාවක් ඇතිවීමට හේතු


සාමාන්‍යයෙන් නිදන්ගත වේදනාවක් ඇති වීමට මූලික හේතුව වන්නේ තුවාලයකින් පසුව ඇතිවන ස්නායු හානියක් වන අතර එමඟින් වේදනාව වඩාත් තීව්‍ර වීම හා දිගු කාලයක් පැවතීම සිදු වනු ඇත. නමුත් සමහර රෝගීන් පූර්ව තුවාලයකින් තොරව ඒවා අත්විඳිති. හේතුව පැහැදිලිව වටහාගෙන නොතිබුණද, සමහර විට මෙය සිදුවිය හැක්කේ,


  • දීර්ඝ කාලීන තෙහෙට්ටුව ( Chronic fatigue syndrome)

  • Endometriosis

  • Fibromyalgia

  • ආන්ත්‍රික රෝග (Inflammatory bowel disease)

  • Interstitial cystitis

  • Vulvodynia


නිදන්ගත වේදනාව පුළුල් පරාසයක රෝගී තත්ත්වයන් සමඟ සම්බන්ධ වේ,


  • කොන්දේ පහල ප්‍රදේශයේ වේදනාව(Low back pain)

  • ගෙල ප්‍රදේශයේ සහ උරස් ප්‍රදේශයේ වේදනාව

  • උරහිස් වේදනාව

  • හිසරදය

  • Rheumatoid arthritis

  • ඔස්ටියෝ ආතරයිටිස්

  • පිළිකා තත්ත්වයන්

  • Fibromyalgia


කොන්දේ පහල ප්‍රදේශයේ වේදනාව වෙනත් ඕනෑම රෝග තත්ත්වයකට වඩා පුද්ගලයින්ට විවිධ ආබාධ ඇති කිරීමට හේතු වේ.



නිදන්ගත වේදනාව ඇතිවීමේ අවදානම


ජනගහනයෙන් 10% සිට 20% දක්වා පිරිසක් නිදන්ගත වේදනාවෙන් පෙළෙන බව වාර්තා වේ. මෙය වැඩිහිටියන්ට හා ළමයින්ට බලපාන අතර සැලකිය යුතු ගෝලීය සෞඛ්‍ය ගැටලුවකි.

වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබේ. වයසට අමතරව අනෙක් අවදානම් සාධක වන්නේ,


  • තුවාලයක් තිබීම.

  • ශල්‍යකර්මයකට භාජනය වී තිබීම.

  • ස්ත්‍රී ලිංගික භාවය

  • අධික බර හෝ තරබාරු බව


නිදන්ගත වේදනාවේ රෝග ලක්ෂණ


වේදනාව කුඩා වේදනාවක සිට උග්‍ර වේදනාවක් දක්වා වෙනස් විය හැකිය.

මෙම වේදනාව පහත ආකාරයන්ගෙන් පැවතිය හැකිය.


  • මඳ කැක්කුම

  • දැඩි වේදනාව (Throbbing)

  • පිළිස්සෙන ස්වභාවය

  • උග්‍ර වේදනාව (Shooting )

  • හිරකරන ස්වභාවය (Squeezing )

  • දැවිල්ල

  • තුවාල වූ ස්වභාවය

  • දැඩිබව


නිදන්ගත වේදනාවක් ඇති රෝගීන්,


  • රෝගයේ වර්ධනය නිසා පමණක් ඇති නොවන වෙනත් වේදනාවන්ද තමන්ට ඇති බව හඳුනා ගනියි.

  • ඔවුන් රෝග ලක්ෂණ වැඩි කරවන චලනයන් වළක්වා ගැනීමට නැඹුරු විය යුතුය .

  • විවේක ගැනීම හේතුවෙන් ඇතිවන මාංශ පේශිවල දැඩි බව සහ දුර්වලතාවය රෝග ලක්ෂණ නරක අතට හැරීමට හේතු වේ.

  • නිදාගැනීමට අපහසු වීම සහ ශක්තිය අඩුවීම, නම්‍යතාවයට බලපෑම් ඇතිවීම, මානසික මට්ටම වෙනස් වීම, ස්වාධීනත්වය සහ ආත්ම අභිමානය හීනවීම ආදී ලක්ෂණ පෙන්වයි.


නිදන්ගත වේදනාවට බලපාන සාධක ගණනාවක් තිබේ. ඒවා නම්,


  • පටක හානිය - වේදනාව ආරම්භ කරන වේදනා සංවේදකය වේ.

  • වේදනා සංවේදනය - තුවාල වූ ස්ථානයෙන් ලැබෙන වේදනාව පිළිබඳ සංවේදනය පසුව මොළයේ සංජානනය කිරීම.

  • හැඟීම් - බිය, මානසික අවපීඩනය සහ කාංසාව වැනි වේදනාව පිළිබඳ සිතුවිලි වලට පුද්ගලයාගේ ප්‍රතිචාරය

  • පීඩාව - පුද්ගලයෙකුට විඳදරාගැනීමට සිදුවන වේදනාවේ තරම

  • වේදනාකාරී හැසිරීම් - පුද්ගලයෙකු වේදනාවෙන් සිටින විට හැසිරීම. ඉහත සඳහන් සාධක වලට දක්වන ප්‍රතිචාරය මෙය වේ.

  • මනෝ සමාජීය පරිසරය - පුද්ගලයා ජීවත්වන, ක්‍රියා කරන හා ක්‍රීඩා කරන පරිසරය


නිදන්ගත වේදනාව සඳහා ප්‍රතිකාර


නිදන්ගත වේදනාවන් සමනය කිරීම සඳහා විවිධ වෛද්‍ය ක්‍රමවේදයන් ඇත. ඒවාට අමතරව ප්‍රධාන වශයෙන් භෞත චිකිත්සාව මෙම තත්ත්වයට සහනයක් ලබා දේ. භෞත චිකිත්සක ප්‍රතිකාරවල ප්‍රධාන පරමාර්ථය වන්නේ වේදනාව අඩු කිරීම සහ පුද්ගලයාගේ චලන හැකියාව වැඩි කිරීමයි. නිදන්ගත වේදනාවෙන් පෙළෙන පුද්ගලයින්ට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මෙම තත්ත්වය කළමනාකරණය කිරීමට, පාලනය කිරීමට සහ කුසලතා වර්ධනය කිරීමට භෞතචිකිත්සාව උපකාරී වේ. භෞත චිකිත්සකවරුන් නිදන්ගත වේදනාවෙන් පෙළෙන රෝගීන්ට පහත ක්‍රමවේද භාවිතා කරමින් ප්‍රතිකාර කරයි.


  • වේදනාව පිළිබඳ දැනුවත් කිරීම.

  • විවිධ උපාය මාර්ග භාවිත කිරීම.

  • ගැටළු විසඳීම.

  • වේගවත් ක්‍රියාකාරකම්

  • සුවපහසු නින්දක් ලබා ගැනීම සඳහා අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම.

  • සැහැල්ලු කිරීමේ ව්‍යායාම


භෞත චිකිත්සකවරුන්ට වේදනාව සමනය කිරීම සඳහා විශේෂිත ව්‍යායාම වැඩසටහන් නිර්දේශ කිරීමට හැකියාව ඇත. ව්‍යායාම වැඩසටහන් වල ප්‍රතිලාභ ලෙස,


  • වේදනාව පාලනය කිරීමට උපකාරී වීම.

  • නම්‍යශීලී බව සහ චලනය පවත්වා ගැනීම.

  • හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීම.

  • මාංශ පේශිවල තද බව ගොඩනැගීම හා පවත්වා ගැනීම.

  • ක්‍රියාකාරකම් වලට සහභාගී වීම සඳහා ඇති විශ්වාසය වැඩි කිරීම.

  • මානසික මට්ටම සහ සාමාන්‍ය යහපැවැත්ම වැඩි දියුණු කිරීම.

  • බිය අඩු කිරීම සහ සාමාන්‍ය පාලනය නැවත ලබා ගැනීම.


නිදන්ගත වේදනාවේ බරපතලකම හා තීව්‍රතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය. එබැවින් භෞත චිකිත්සකවරුන් විසින් රෝග ලක්ෂණ සහ පවතින සෞඛ්‍ය තත්ත්වයන් මත පදනම්ව ව්‍යායාම වැඩසටහන් තීරණය කරනු ඇත. මෙම රෝග තත්ත්වයන් මඟහරවා ගැනීමට සහ ජීවන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට භෞත චිකිත්සකවරයකුගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ.


References


https://physiocouncil.com.au/physiotherapists-role-in-chronic-pain-is-this-years-theme-for-world-physical-therapy-day/


ෆස්‍රිනා ෆයිසර්

රුවිනිකා ගම්ලත්

11 views0 comments
bottom of page