top of page

Coccydynia (අනුත්‍රිකාස්ථික වේදනාව)


Coccydynia යනු කොඳු ඇට පෙළේ අවසාන අස්ථිය වන අනුත්‍රිකාස්ථියේ ඇති වන වේදනාවකි. ඔබේ අනුත්‍රිකාස්ථිය හෝ අවට මාංශ පේශි සහ බන්ධන වලට අනතුරක් වුවහොත් හෝ ඒ මත අධික බරක් යෙදුනහොත් එය දැනෙනු ඇත.


ප්‍රමාණයෙන් කුඩා අස්ථියක් වුවද අනුත්‍රිකාස්ථිය වැදගත් කාර්යයන් කිහිපයක් සිදුකරයි. බහුවිධ මාංශ පේශි, බන්ධනි සහ කණ්ඩරාවන් සඳහා නිවේශන ස්ථානයක් ලෙස මෙය ක්‍රියා කරයි. කුකුන්දර ප්‍රාර්බුධය සමඟ පවතින ත්‍රිකෝණයේ එක් පාදයක් ලෙස ක්‍රියා කරමින් වාඩි වී සිටින පුද්ගලයෙකුට බර දරා ගැනීමට සහය ලබා දේ. coccydynia සඳහා විශේෂ හේතූන් වාර්තා නොවුනද coccydynia වර්ධනය වීමේ අවදානම වැඩි වීමට බලපාන සාධක අතරට තරබාරුකම හා ස්ත්‍රී ලිංගික භාවය ඇතුළත් වේ.


බොහෝ අවස්ථාවන්හීදී, වේදනාව සති කිහිපයක් හෝ මාස කිහිපයක් තුළ වැඩිදියුණු වේ. නමුත් ඉඳහිට එය බොහෝ කාලයක් පැවතිය හැකි අතර එදිනෙදා කටයුතු කරගෙන යාමේ හැකියාව කෙරෙහි දැඩි ලෙස බලපායි.



Coccydynia සඳහා හේතු සාධක


  • දරු ප්‍රසූතිය

  • වැටීම් වැනි අනතුරු

  • අනුත්‍රිකාස්ථිය මත දිගුකල් පවතින හෝ නැවත නැවත වන අධික බර යෙදීම්

  • වැරදි ඉරියව්

  • අධික බර හෝ අඩු බර


ඊට අමතරව අනුත්‍රිකාස්ථිය මත අස්ථි කොටස් වර්ධනය, අනුත්‍රිකාස්ථිය අධික නම්‍යශීලී හෝ දෘඩ වීම හා ආතරයිටිස් වැනි තත්ත්වයන් හේතු විය හැකිය. දුර්ලභ නමුත් බරපතල හේතු අතරට ආසාදන හා පිළිකා ඇතුළත් වේ.


බොහෝ අවස්ථාවලදී පැහැදිලි හේතුවක් සොයාගත නොහැක. වයස්ගත වීම හා සම්බන්ධ මාංශ පේශි " දුර්වල වීම් හා ඉරී යෑම්" ඊට දායක විය හැකිය.


Coccydynia රෝග ලක්ෂණ


ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ තට්ටම් ප්‍රදේශයේ වේදනාව හා මුදු මොළොක් වීමයි.


ඇති වන වේදනාව:

බොහෝ විට කුඩා වේදනාවක් විය හැකි අතර එය ඉඳහිට තියුණු වේදනාවක් බවට පත් විය හැක. වාඩි වී සිටීමේ දී, වාඩි වී හිඳ සිට ගැනීමේ දී, දිගු වේලාවක් සිටගෙන සිටීමේ දී, ලිංගිකව හැසිරීමේ දී සහ මලපහ කිරීමේ දී එය වඩාත් තියුණු විය හැක. නිදාගැනීම ඉතා අපහසු කරවන අතර රිය පැදවීම හා නැමීම වැනි එදිනෙදා කටයුතු ද අපහසු කරවයි.

සමහර අයට පිටුපස වේදනාව, කකුල් වේදනාව (sciatica) සහ තට්ටම් හා උකුල් වල වේදනාකාරී බව ඇති වේ.


Coccydynia ප්‍රතිකාර ක්‍රම


ස්වයං ආරක්ෂක පියවර:


පහත දැක්වෙන උපදෙස් වේදනාව අඩු කිරීමට සහ ඔබේ එදිනෙදා කටයුතු කරගෙන යාමට ඉඩ සලසයි.


  • විශේෂෙයන් නිර්මාණය කරන ලද කුෂන් භාවිතා කරන්න - මේවා online ක්‍රමයට සහ සමහර වෙළඳසැල් වලින් මිලදී ගත හැකිය. ඔබ වාඩි වී සිටින විට ඔබේ අනුත්‍රිකාස්ථිය මත ඇති පීඩනය අඩු කිරීමට ඒවා උපකාරී වේ.

  • හැකි සෑම විටම දිගු කාලයක් වාඩි වී සිටීමෙන් වළකින්න - නැගී සිට නිතිපතා ඇවිදීමට උත්සාහ කරන්න. වාඩි වී සිටිමින් ඉදිරියට නැඹුරු වීමද උපකාරී ක්‍රමයකි.

  • ලිහිල් ඇඳුම් ඇඳීම - තද ජීන්ස් හෝ කලිසම් වැනි ඇඳුම් ඇඳීමෙන් වළකින්න.

  • ️ඔබේ අනුත්‍රිකාස්ථිය මත උණුසුම් හා සිසිල් ඇසුරුම් යොදන්න - උණුසුම් ඇසුරුම්වලට උණු වතුර බෝතල් සහ මයික්‍රෝවේව් උනුසුම් පෑඩ් ඇතුළත් වේ. සීතල ඇසුරුම් ඖෂධහල් වලින් ශීතකළ ජෙල් පිරවූ පෑඩ් ලෙස ලබා ගත හැකිය, නැතහොත් ඔබට තුවායෙන් ඔතා ඇති ශීත කළ එළවළු මල්ලක් භාවිතා කළ හැකිය.

  • මලපහ කිරීමේ දී වේදනාව වඩාත් දරුණු නම් විරේචක (මල බද්ධයට ප්‍රතිකාර ලෙස ලබාගන්නා ඖෂධ) - බෙහෙත් වට්ටෝරුවක් නොමැතිවම ඖෂධහල් වලින් සහ සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගැනීමට හැකිය.

  • වේදනා නාශක ඖෂධ ලබා ගන්න.


භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම:


සති කිහිපයකට පසු ඔබේ වේදනාව වැඩි දියුණු වීමට පටන් ගෙන නොමැති නම්, ඔබේ වෛද්‍යවරයා ඔබව භෞතචිකිත්සකවරයකු වෙත යොමු කරනු ඇත.


භෞතචිකිත්සකවරයකු,

ඔබේ වේදනාව අඩු කර ගැනීමට අවශ්‍ය ඉරියව් සහ චලනයන් පිළිබඳ උපදෙස් ලබා දෙයි. ඔබේ අනුත්‍රිකාස්ථිය වටා ඇති මාංශ පේශි ඉහිල් කිරීමට සරල ව්‍යායාම ඔබට උගන්වයි. සම්බාහනය සහ stretching වැනි ශිල්පීය ප්‍රතිකාර ක්‍රම සිදුකරයි.


References


Lirette, L.S., Chaiban, G., Tolba, R. and Eissa, H., 2014. Coccydynia: an overview of the anatomy, etiology, and treatment of coccyx pain. Ochsner Journal, 14(1), pp.84-87.


https://www.spine-health.com/conditions/lower-back-pain/coccydynia-tailbone-pain


අමල් ආදිත්‍ය


12 views0 comments
bottom of page