top of page

නිවැරදිව නිදාගැනීමේ ඉරියව්ව

Writer's picture: Wephysio MFCWephysio MFC

නිවැරැදි ඉරියව්වේ වැදගත්බව බොහෝදෙනා දැන සිටියද, නිවැරැදි ඉරියව්ව සිටගෙන සිටීමට සහ ඉඳගෙන සිටීමට පමණක් අදාළ වන්නේ නැත. අප නිදාගන්නා විටදී කොන්දේ මාංශපේශී සහ බන්ධනි අලුත්වැඩියා වීම සිදුවේ. නීරෝගිමත් ශරීරයක් පවත්වා ගැනීම සඳහා නිවැරැදි නිදාගැනීමේ ඉරියව්ව වැදගත් වේ.


නිවැරැදි නිදාගැනීමේ ඉරියව්ව සඳහා වැදගත් වන කරුණු කිහිපයක් පහත දැක්වේ.



නිවැරැදි මෙට්ටයක් තෝරා ගැනීම


නිවැරැදි මෙට්ටයක් භාවිතා කිරීම මගින් ඔබට ශාරීරික අපහසුතවකින් තොරව ප්‍රබෝධමත්ව අවදි වීමට උපකාරී වේ.මෙට්ටයක් තෝරා ගැනීමේදී කශේරුවේ පවතින ස්වභාවික වක්‍රයන්ට අවහිරතාවක් නොවන සේ සැපපහසු මෙට්ටයක් තෝරා ගැනීම වැදගත් වේ. ඔබගේ මෙට්ටය අවුරුදු 9-10 කට වරක්වත් මාරු කල යුතුය. ඔබට යම් කොන්දේ ආබාධයක් ඇත්නම්, ඔබට සුදුසු මෙට්ටය තෝරා ගැනීමේදී ඔබගේ භෞතචිකිත්සක නිළධාරීවරයෙකුගෙන් සහය ලබාගන්න.


නිවැරැදි කොට්ටයක් තෝරා ගැනීම


ඔබගේ කොට්ටය යනු හිසට සහ බෙල්ලට පමණක් භාවිතා කරන්නක් නොවේ. ඔබගේ නිදාගැනීමේ ඉරියව්ව අනුව අමතර කොට්ට මගින් ඔබේ කශේරුව නිවැරැදි පිහිටුමේ පවත්වා ගත හැක. ඔබගේ හිසට යටින් තබන කොට්ටය ඔබේ බෙල්ලේ පවතින ස්වභාවික වක්‍රය පවත්වා ගැනීමට උපකාරී විය යුතුය. උස කොට්ට භාවිතා කිරීම මගින් ඔබේ බෙල්ලේ සහ උරහිසේ මාංශපේශී ඇදීමකට ලක් කළ හැක. ඔබගේ බෙල්ල, පපුව සහ කොන්ද නියමිත පිහිටුමේ පවත්වා ගැනීමට උපකාරී වන කොට්ටයක් භාවිතා කරන්න. සෑම වසරකට වරක්ම ඔබගේ කොට්ටය මාරු කරන්න.


නිවැරැදි ඉරියව්ව


  • ඔබේ නිදාගන්නා ඉරියව්ව කුමක් වුවද ඔබේ කන්, උරහිස සහ උකුළ එක එල්ලේ තබා ගැනීමට උත්සාහ කරන්න.

  • ඔබ උඩු අතට නිදා ගන්නේ නම්, කුඩා කොට්ටයක් ඔබගේ දණහිසට යටින් තබාගැනීම මගින් ඔබේ කශේරුවට දැනෙන ආතතිය වළක්වා ගත හැක. ඔබගේ හිසට යටින් තබන කොට්ටය හිස, බෙල්ලේ වක්‍රය සහ උරහිස නිවැරදි පිහිටුමේ පවත්වා ගැනීමට උපකාරී විය යුතුය.

  • ඔබ උදරය යටට එන සේ නිදාගන්නා විට එමගින් කශේරුවේ ස්වභාවික වක්‍ර වලට බාධා එල්ලවන නිසා එම ඉරියව්වේදී කශේරුවට යම් ආතතියක් ඇතිකල හැක. මෙය වළක්වා ගැනීම සඳහා පැතලි කොට්ටයක් ඔබගේ උදරය සහ උකුළ යටින් තබන්න. මෙහිදී ඔබගේ හිසට යටින් තබන කොට්ටය පැතලි කොට්ටයක් වියයුතුය.

  • ඔබ පැත්තකට හැරී නිදා ගන්නේ නම්, ඔබගේ දණහිස් අතර කොට්ටයක් තැබීම මගින් ඔබගේ කශේරුව මත ඇතිවන ආතතිය අඩුවේ. ඔබගේ දණහිස් මදක් පපුව දෙසට ඇළකරන්න. ඔබගේ හිසට යටින් තබන කොට්ටය කශේරුවේ පිහිටීමට උපකාරී වියයුතුය. රෝල්කළ තුවයක් හෝ කුඩා කොට්ටයක් ඔබේ ඉණට යටින් තැබීම මගින්ද කශේරුවේ පිහිටීම පවත්වා ගැනීමට උදව් කරයි.

  • ඔබගේ ශරීරය සහ මෙට්ටය අතර පවතින හිදැස් සඳහා කොට්ට තබන්න.

  • දෙපසට හැරීමේදී ශරීරය ඇඹරීමෙන් හෝ ඉණෙන් නැවීමෙන් වළකින්න. මුලු ශරීරයම එක විට චලනය කරන්න. ඔබගේ උදරය පිටුපසට තදකර, දණහිස පපුව දෙසට ඇළකර ශරීරය චලනය කරන්න.

  • නිදාගැනීමේදී ඔබගේ කන් දෙක, උරහිස සහ උකුළ එක එල්ලේ තබා ගන්න.



ප්‍රවින්ද්‍යා අබේගුණවර්ධන



References


Comments


bottom of page