top of page

එන්නත් කළ හා එන්නත් නොකළ පුද්ගලයන් අතර ඇති COVID 19 රෝගය හා සම්බන්ධ වෙනස්කම්

Vimukthi Chandula

COVID 19 වසංගතය අවසන් කිරීම සඳහා ආරක්ෂිත සහ ඵලදායි එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම ඉතා වැදගත් වේ. ආරක්ෂිත සහ ඵලදායි එන්නත් ලබාදීම ඉතා වැදගත් පියවරක් වන නමුත් අපේක්ෂා සහගත අනාගතයක් සඳහා මුහුණු ආවරණ පැළඳීම, දෑත් පිරිසිදු කිරීම, ගෘහස්ථව හොඳ වාතාශ්‍රයක් සහතික කර ගැනීම, ශාරීරිකව දුරස්ථභාවය පවත්වා ගැනීම සහ ජනතාව ඒකරාශි වීමෙන් වැළකී සිටීම වැදගත් වේ.


එන්නත ලබා ගැනීම යනු ප්‍රවේශම් වීම අතහැර තමා සහ අනෙක් පුද්ගලයන් අවදානමට ලක් කළ හැකි බව නොවේ. එයට හේතුව නම් එන්නත් මඟින් කොපමණ දුරට රෝගයෙන් ආරක්ෂා කරන්නේ ද, කොපමණ දුරට ආසාදනය වීම සහ සම්ප්‍රේෂණය වීම වලක්වන්නේ ද යන්න පිළිබඳ තවමත් පර්යේෂණ සිදු වන බැවිනි.


කිසිදු එන්නතක් 100% ක් සාර්ථක නොවේ. නමුත් සුළු අතුරු ආබාධ සහිත වන නමුත් COVID 19 ආසාදනය වීමට සාපේක්ෂව එන්නත් ආරක්ෂිත වේ.





එන්නත් කළ සහ එන්නත් නොකළ පුද්ගලයන් අතර COVID 19 රෝගය හා සම්බන්ධ බොහෝ වෙනස්කම් දැකිය හැකිය.


එන්නත් කළ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩුය.

පැහැදිලිවම, එන්නත් නොකල මෙන්ම එන්නත් කළ පුද්ගලයන් තුළ ද වෛරස ආසාදනය ඇතිවිය හැකි නමුත් එන්නත් නොකල පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය වැඩිය. එයින් අදහස් කරන්නේ වෛරසය හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ වලදී එන්නත් කළ පුද්ගලයින්ගේද ධනාත්මක ප්‍රතිඵලයක් ලැබිය හැකි බවයි ( (test positive for COVID 19). නමුත් මෙම පරීක්ෂණවලදී, පූර්ණ වශයෙන් එන්නත් කළ පුද්ගලයන්ට වඩා එන්නත් නොකළ පුද්ගලයන්ට ධනාත්මක ප්‍රතිඵල ලැබීමට (test positive for COVID 19 ) වැඩි ඉඩක් ඇත. මෙයට හේතුව නම් වැඩි වශයෙන් බෝවන සහ වැඩි වශයෙන් උග්‍ර රෝගී තත්ත්ව ඇති කරන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ පවා එන්නත් වල සාර්ථකත්වය තහවුරු කර තිබීමයි. පූර්ණ වශයෙන් එන්නත් කර ඇති පුද්ගලයකුට වෛරසය ආසාදනය වුවහොත් එම පුද්ගලයා "breakthrough case" ලෙස හඳුන්වනු ලබයි.


එන්නත් කළ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට COVID 19 රෝගය ඇතිවීමේ අවදානම අඩුය.


වෛරසය හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණවලදී ධනාත්මක ප්‍රතිඵල පෙන්නුම් කරන (test positive for COVID 19), එන්නත් කළ පුද්ගලයන්ගෙන් බහුතරය රෝග ලක්ෂණ පෙන්නුම් නොකරයි. එයට හේතුව එන්නත් කළ පුද්ගලයන්ට වෛරසය ආසාදනය වූ විට COVID 19 රෝගය ඇතිවීමේ අවදානම අඩු වීමයි. එම නිසා පූර්ණ හෝ අර්ධ වශයෙන් එන්නත් කළ පුද්ගලයන්ට උණ හෝ වෙව්ලීම වැනි රෝග ලක්ෂණ ඇති වීමේ අවදානම එන්නත් නොකල පුද්ගලයන්ට සාපේක්ෂව අඩුය.


එන්නත් කළ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මෘදු හා කෙටි කාලීන වේ.

එන්නත් කළ පුද්ගලයකුට රෝග ලක්ෂණ ඇති වන්නේ නම් ඒවා මෘදු හා කෙටි කාලීන වේ.


එන්නත් කළ පුද්ගලයන්ගේ වෛරසය අනෙක් අයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව අඩුය.


එන්නත් කළ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ මෘදු හා කෙටි කාලීන වන අතර, මෙමඟින් ඔවුන් විසින් අනෙක් අයට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ අවදානම අඩු බව ප්‍රවීනයන් පවසයි. අඩුවෙන් කැස්ස ඇතිවීම හෝ කිවිසුම් යාම යනු අනෙක් පුද්ගලයන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමට ඇති අවස්ථාවන් අඩු බවය. නමුත් ඩෙල්ටා ප්‍රභේදය මෙම අදහසට අභියෝගයක් එල්ල කර ඇත.


එමෙන්ම පූර්ණ හෝ අර්ධ වශයෙන් එන්නත් කළ, වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ වෛරස ප්‍රමාණය හෝ ශ්වසන මාර්ගයේ ඉහළ කොටසේ ඇති වෛරස් අංශු ප්‍රමාණය අඩු අතර වෛරසය ආසාදනය වූ, එන්නත් නොකල පුද්ගලයන්ට සාපේක්ෂව ශ්වසන සාම්පල වලින් වෛරසය හඳුනා ගත හැක්කේ අඩු දින ගණනක් තුළ පමණි.


පූර්ණ හෝ අර්ධ වශයෙන් එන්නත් කළ පුද්ගලයන් තුළ ඇති වෛරස RNA ප්‍රමාණය එන්නත් නොකල පුද්ගලයන්ට සාපේක්ෂව අඩුය.


පූර්ණ හෝ අර්ධ වශයෙන් එන්නත් කළ පුද්ගලයන් COVID 19 රෝගය හේතුවෙන් රෝහල් ගත වීමේ ඉඩකඩ එන්නත් නොකල පුද්ගලයන්ට සාපේක්ෂව අඩුය.


මේ අතරින් ද පූර්ණ වශයෙන් එන්නත් කළ පුද්ගලයන් COVID 19 රෝගය හේතුවෙන් රෝහල් ගත වීමේ අවස්ථාව අර්ධ වශයෙන් එන්නත් කළ පුද්ගලයන්ට සාපේක්ෂව අඩුය. මෙහිදී එන්නත් කළ නමුත් රෝහල්ගත වන රෝගීන්ට බොහෝවිට ප්‍රතිශක්තිය අඩු කරන හෝ නැඹුරුතාවය වැඩිකරන වෙනත් සෞඛ්‍ය ගැටලුවක් ඇත.


දැඩි සත්කාර ඒකකයකට ඇතුළු වීම හෝ මරණයට පත්වීමේ අවදානම අඩු කරයි.


COVID 19 රෝගය හේතුවෙන් සිදුවන රෝහල් ගතවීම් හා මරණ වලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ එන්නත් නොකළ පුද්ගලයන් අතර ය. එන්නත් කළ පුද්ගලයෙකුට රෝහල් ගත වීමට සිදුවන තරමේ දරුණු COVID 19 රෝගී තත්ත්වයක් ඇතිවීම සිදුවිය නොහැක්කක් නොවන නමුත් එසේ සිදු වන්නේ ඉතා කලාතුරකිනි.


වෛරසය ආසාදනය වූ විට පපු ප්‍රදේශයේ ලබා ගන්නා X කිරණ ඡායාරූප වල වෙනස්කම් පෙන්වයි.

එන්නත් නොකල පුද්ගලයෙකුගේ X කිරණ ඡායාරූපය සුදු පැහැයෙන් අවහිර වී ඇත. මෙය වෛරස හෝ බැක්ටීරියා ආසාදනය වීමක් හෝ පෙනහළු තුළ තරල එකතු වීමක් මගින් ඇතිවන සැලකිය යුතු මට්ටමේ හා වඩාත් උග්‍ර පෙනහළු රෝගයක් පෙන්නුම් කරයි.

එන්නත් කළ පුද්ගලයෙකුගේ X කිරණ ඡායාරූපයේ කළු පැහැති ප්‍රදේශ බහුල ව ඇති අතර පෙනහළු වාතයෙන් පිරී ඇති බව පෙන්නුම් කරයි.

ඉහත තොරතුරු වලට අනුව එන්නත් මඟින්, ඒවායෙන් බලාපොරොත්තු වූ කාර්යයන් වන උග්‍ර රෝගී තත්ත්ව ඇතිවීම වැළැක්වීම, රෝහල්ගත වීම හා මරණය වැළැක්වීම යන කාර්යයන් මනාව ඉටු කරයි.


සෑම එන්නත් නොකළ පුද්ගලයෙකුම COVID 19 වෛරසය පිටපත් වීමට හා වෙනස් වීමට අවස්ථාව සලසන විභව ධාරකයෙකි. එම නිසා එන්නත් ලබා ගැනීමට යෝග්‍ය සෑම පුද්ගලයකුම එන්නත් ලබාගත යුතුය. වයස හෝ රෝගී තත්ත්වයක් නිසා එන්නත ලබාගත නොහැකි පුද්ගලයන් ආරක්ෂා කිරීමට මෙය උපකාරී වනු ඇත.

ඉහළ ආසාදක හැකියාවකින් යුක්ත නිසා ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත් වලට 65% ක සාර්ථකත්වයක් ඇති අතර මුල් ප්‍රභේද සඳහා 95% ක සාර්ථකත්වයක් ඇත.


එන්නත්කරන තත්ත්වය, වයස හා වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් නොසලකා ඩෙල්ටා ප්‍රභේදය, රෝහල් ගත වීමේ ඉහළ අවදානමක්, දැඩි සත්කාර ඒකකයකට ඇතුළු වීමේ ඉහළ අවදානමක් හා මරණයට පත්වීමේ ඉහළ අවදානමක් ඇති කරයි. නමුත් තවමත් ඩෙල්ටා ප්‍රභේදය හමුවේද උග්‍ර රෝගී තත්ත්ව ඇතිවීම හා මරණය වැළැක්වීම සඳහා එන්නත් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.


References:-

https://www.healthline.com/health-news/why-theres-a-big-difference-between-a-vaccinated-and-unvaccinated-person-testing-positive-for-covid-19

https://www.healthline.com/health-news/risks-of-the-delta-variant-for-vaccinated-vs-unvaccinated-people

https://www.fox29.com/news/covid-19-lung-x-rays-show-difference-between-vaccinated-unvaccinated-patients

https://amp.miamiherald.com/news/coronavirus/article253220048.html

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/covid-19-vaccines


උපනි ඔමල්කා

23 views0 comments

Comments


bottom of page