top of page

නිතර කෙටි පණිවිඩ යවන ඔබටත් Texting Thumb Syndrome රෝග ලක්ෂණ තිබෙනවාද ?

Vimukthi Chandula

මේ දිනවල අප ස්මාර්ට් ජංගම දුරකථන භාවිතයට වැඩි වශයෙන් යොමු වී ඇත. නිවසේ සිට වැඩ කිරීම, දිනපතා ප්‍රවෘත්ති කියවීම හෝ මිතුරන් හා පවුලේ අය සමඟ සබඳතා පැවැත්වීම කෙරෙහි ජංගම දුරකථන උපකාරී වේ. මෑතදී සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව, COVID-19 දෛනික ජීවිතයට කරන බලපෑම අපේ දුරකථන භාවිතය කෙරෙහි ද බලපා ඇති අතර, කෙටි පණිවුඩ යැවීම වෙන කවරදාටත් වඩා ජනප්‍රිය වී ඇත. නමුත් මෙම කෙටි පණිවුඩ යැවීම, ක්‍රීඩා කිරීම, Scrolling සහ Swiping කිරීම මිනිසුන් තුළ ශාරීරික ගැටලු රාශියක් ඇති කිරීමට හේතු වී ඇත.Texting thumb syndrome මේ අතරින් වඩාත් සුලභ තත්ත්වයක් වේ.


මෙම තත්ත්වය "Gamer's thumb" හෝ DeQuarvain's syndrome " ලෙසද හැඳින්වේ.

Texting Thumb Syndrome යනු අතේ මැණික් කටුවේ මාපටැඟිල්ල පැත්තේ ඇති කණ්ඩරා වලට බලපාන වේදනාකාරී තත්ත්වයකි.


ඔබට Texting Thumb Syndrome තිබේ නම්, ඔබ ඔබේ මැණික් කටුව හරවන විට, ඕනෑම දෙයක් ග්‍රහණය කරගත් විට හෝ අත මිටිමොලවන විට වේදනාවක් ඇතිවිය හැක. Texting Thumb Syndrome වලට හේතුව නිශ්චිතවම නොදන්නා නමුත්, නැවත නැවත අත හෝ මැණික් කටුව චලනය කරමින් කරන ක්‍රියාකාරකම් එය වඩාත් නරක අතට හැරවීමට බලපෑම් ඇති කරයි.





රෝග ලක්ෂණ


  • මාපටැඟිල්ලේ පාමුල වේදනාව

  • මාපටැඟිල්ලෙහි පාමුල ඉදිමීම.

  • යමක් අල්ලා ගැනීම හෝ ඇණයක් ගැසීම වැනි ක්‍රියාකාරකමක් කරන විට මාපටැඟිල්ල සහ මැණික් කටුව චලනය කිරීමට අපහසු වීම.


ප්‍රතිකාර නොමැතිව තත්ත්වය දිගු කාලීනව පැවතියහොත්, වේදනාව ඔබේ මාපටැඟිල්ල දක්වා, ඔබේ අතේ පහල කොටසට හෝ මෙම ප්‍රදේශ දෙකටම පැතිර යා හැකිය. ග්‍රහණය කර ගැනීම සහ වෙනත් චලනයන් වේදනාව උග්‍ර කරයි.


හේතු


මේ ආකාරයේ Thumb tendonitis වලට හේතුව මාපටැඟිල්ල සහ මැණික් කටුව අධික ලෙස භාවිතා කිරීමයි. ජංගම දුරකථනයෙන් කෙටි පණිවිඩ යැවීමේදී මෙයට හේතු වන්නේ මාපටැඟිල්ල භාවිතයෙන් press කිරීම නොව කණ්ඩරාව

කුඩා මාර්ගයක් තුලින් නිතර ගමන් කිරීමයි. මෙමඟින් මැණික්කටුව නැවීමේදී, යමක් ග්‍රහණය කිරීමේදී හෝ අත මිට මෙළවීමේදී වේදනාවක් ඇතිකල හැක.


දිනපතා යම් චලනයක් පුනරාවර්තනය වීමෙන් කණ්ඩරාවන් වටා ඇති කොපුවට හානි විය හැකි අතර එමඟින් ඒවා ඝණ වීමට සහ ඉදිමීමට ලක් වන අතර එමඟින් ඒවායේ චලනය සීමා වේ.


De Quarvain syndrome සඳහා බලපාන වෙනත් කරුණු


▪️ මැණික් කටුවට හෝ කණ්ඩරාවලට ඍජුවම හානි වීම.

▪️ සෘජුවම හානි වීමෙන් කැළැල් පටක සෑදිය හැකි අතර එමඟින් කණ්ඩරා චලනය සීමා කළ හැකිය.

▪️ Rheumatoid arthitis වැනි ආසාදක ආතරයිටිස් තත්ත්ව


මෙමඟින් සන්ධියේ සුමට චලනයට උදව් වන කාටිලේජ වලට හානි කරයි. කාටිලේජ කැඩී යාමේදී සන්ධියේ අස්ථි එකට අතුල්ලමින් ස්ථිර හානියක් සිදුවිය හැකිය. මෙය නිසා Texting Thumb Syndrome මෙන්ම තවත් ගැටලු ඇතිවිය හැකිය.


අවදානම් සාධක


වයස


ඔබ වයස අවුරුදු 30 ත් 50 ත් අතර නම්, ළමයින් ඇතුළු අනෙකුත් වයස් කාණ්ඩ වලට වඩා ඔබට Texting Thumb Syndrome වැළඳීමේ වැඩි අවදානමක් ඇත.


ලිංගිකත්වය


මෙම තත්ත්වය කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබේ.


ගර්භණීභාවය


මෙම තත්ත්වය ගැබ් ගැනීම සමඟ සම්බන්ධ විය හැකිය.


දරුවන් රැකබලා ගැනීම


ඔබේ දරුවා නැවත නැවත එසවීමේදී ඔබේ මාපටැඟිල්ල ලීවරයක් ලෙස භාවිතා කිරීම මෙම තත්ත්වය සමඟ සම්බන්ධ විය හැකිය.


අතේ සහ මැණික් කටුවේ චලනයන් නිතර භාවිතා කරන රැකියා හෝ විනෝදාංශ.


සංකූලතා


Texting Thumb Syndrome සදහා ප්‍රතිකාර සිදු නොකළහොත් ඔබේ අත සහ මැණික් කටුව නිසි ලෙස භාවිතා කිරීමට අපහසු වන අතර එමගින් ඔබේ මැණික් කටුවේ චලන පරාසයද සීමා විය හැකිය.


ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා පූර්වාරක්ෂක ක්‍රම


පර්යේෂණයන් මඟින් පෙන්වා දී ඇත්තේ පර්යේෂණයට ලක් කෙරුණු සිසුන්ගෙන් අඩක් පමණ දිනකට කෙටි පණිවිඩ 50කට අධික ප්‍රමාණයක් යවන බවත් ඔවුන්ගේ ජංගම දුරකථන යතුරුපුවරුව හා කෙටි පණිවිඩ යැවීමේ වේගය නිසා මාපටැඟිල්ලේ හෝ මැණික්කටුවේ වේදනාව අත්විඳින බවත්ය. මෙය Texting thumb සින්ඩ්‍රෝමය ඇතිවීමට හේතු වේ. මෙමඟින් නිතර කෙටි පණිවිඩ යැවීම සහ Texting thumb සින්ඩ්‍රෝමය අතර සම්බන්ධතාවක් ඇතිබව පෙන්වා දී ඇත.


  • Texting thumb සින්ඩ්‍රෝමය වළක්වාගැනීමට ගතහැකි ප්‍රධානතම පූර්වෝපාය වන්නේ ජංගම දුරකථනය භාවිත කරන කාලය අවම කිරීමයි.

  • දිගු වේලාවක් කෙටි පණිවිඩ යැවීමෙන්, විද්‍යුත් පණිවිඩ යැවීමෙන් හෝ පරිගණක ක්‍රීඩා වල නියැලීමෙන් පසු විනාඩි 5-10ක් පමණ අයිස් තැබීම හෝ විවේක ගැනීම සිදුකරන්න.

  • Voice activated කෙටි පණිවිඩ හෝ විද්‍යුත් පණිවිඩ භාවිතයෙන් මාපටැඟිල්ලට විවේකයක් ලබා දෙන්න.

  • විකල්පයක් ලෙස දඹර ඇඟිල්ල (Index finger) භාවිත කරන්න.

  • කෙටි පණිවිඩ යැවීමේදී අත් දෙකෙන්ම දුරකථනය භාවිතා කිරීමට පුරුදු වන්න.

  • ඉතා වේගයෙන් ටයිප් කිරීමෙන් වලකින්න.

  • කෙටි පණිවුඩ යැවීමේදී ඔබේ අතේ පිටුපස ප්‍රදේශයට නිසි අධාරකයක් ලබා දෙන්න.


ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර


භෞත චිකිත්සක ප්‍රතිකාර


නිසියාකාරව ප්‍රතිකාර නොකරන Texting thumb සින්ඩ්‍රෝමය මඟින් ඔබේ අත භාවිත කිරීම අපහසු කිරීම සහ මැණික්කටුවේ චලන පරාසය සීමා කිරීම වැනි තත්ත්ව ඇති කරයි. මෙය වළක්වාගැනීමට භෞතචිකිත්සක ප්‍රතිකාර වැදගත් වේ. මෙම ප්‍රතිකාර රෝග ලක්ෂණ සහ රෝගයට හේතු වන කරුණු මත පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක. ඔබට වඩාත් ගැලපෙන ප්‍රතිකාර ක්‍රම පිළිබඳ දැනුවත් වීමට භෞතචිකිත්සකවරයකු හමුවන්න.


ඖෂධ


ශල්‍යකර්ම


මේ සඳහා ශල්‍යකර්ම සිදුකිරීම දුර්ලභ වන අතර ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර සාර්ථක නොවන හා දිගු කාලීනව ආසාදන තත්ත්වයට ලක් වූ පුද්ගලයන් සඳහා සිදු කෙරේ.


References:-

Ali, M., Asim, M., Danish, S.H., Ahmad, F., Iqbal, A. and Hasan, S.D., 2014. Frequency of De Quervain’s tenosynovitis and its association with SMS texting. Muscles, ligaments and tendons journal, 4(1), p.74.

https://www.mayoclinic.org/diseases-conditions/de-quervains-tenosynovitis/symptoms-causes/syc-20371332


තිළිනි ඕෂධී

15 views0 comments

Comments


bottom of page