top of page
Writer's pictureWephysio MFC

පාකින්සන් රෝගය පිළිබඳව ඔබ දැනුවත් විය යුතු කරුණු

Updated: Jan 31, 2021


පාකින්සන් රෝගය යනු පාදස්ථ ගැංග්ලියාහී ඇති සබ්ස්ටන්ෂියා නයග්‍රා (Substancia nigra) වල ඩොපමීන් ශ්‍රාවය කරන නියුරෝන වලට ක්‍රමයෙන් හානි වන ස්නායු ආශ්‍රිත රෝගී තත්ත්වයකි.


එය බහුලව ඇති වන්නේ අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ට වේ. පිරිමි පුද්ගලයින්ට කාන්තාවන්ට වඩා මෙම රෝගය වැලදීමේ වැඩි හැකියාවක් ඇත .

මිනිසාගේ චලන සුමට හා සංවිධානාත්මක ලෙස පවත්වා ගැනීමට උපකාරී වන්නේ මිනිස් මොලයේ සෛල මඟින් නිපදවන ඩොපමීන් නමැති රසායනික ද්‍රව්‍ය යි. පාකින්සන් රෝගයේ දී මෙම රසායනිකය නිපදවන සෛල ක්‍රමයෙන් බිඳ වැටීම හෝ මිය යාම සිදු වේ. ඩොපමීන් මට්ටම පහත වැටීම චලන අපහසුතා සහ අනෙක් රෝග ලක්ෂණ ඇති වීමට බලපායි.



රෝග ලක්ෂණ


පාකින්සන් රෝගයේ මුල් කාලීන රෝග ලක්ෂණ එතරම් බරපතළ නොවේ. සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ ඇති වීම සිරුරේ එක් පැත්තකින් ආරම්භ වේ.


මුල් කාලීන රෝග ලක්ෂණ :


  • ගඳ සුවඳ දැනගනීමේ හැකියාව අඩු වීම.

  • මලබද්දය.

  • කටහඬ වෙනස් වීම.

  • කුදු ගැසුනු ඉරියව්ව.


පාකින්සන් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ :


  • අත් පා නිදහසේ පවතින විට වෙව්ලන ස්වභාවයක් ගැනීම.

  • මන්දගාමී චලනයන්.

  • මාංශ පේශිවල තද බව.

  • ඉරියව් පවත්වාගැනීමේ සහ සමබරතාව පිළිබඳ ගැටලු.


පාකින්සන් රෝගී තත්ත්වයට හේතු වන කරුණු


පාකින්සන් රෝගයට නිශ්චිත හේතුවක් මේ වන තෙක් සොයාගෙන නොමැති නමුත් ජානමය සහ පාරිසරික සාධක එයට බලපෑම් ඇති කරන බව සොයාගෙන ඇත.


අවදානම් සාධක


  • වයස අවුරුදු 60 ට වැඩි වීම.

  • පාකින්සන් රෝගය සහිත පවුල් ඉතිහාසය.

  • පිරිමි පුද්ගලයන්.

  • විෂ රසායනික වලට නිරාවරණය වීම.

පාකින්සන් රෝගයේ අවධි


පාකින්සන් රෝගය ක්‍රමයෙන් වර්ධනය වන රෝගයකි. එම නිසා මෙම රෝගයේ රෝග ලක්ෂණ කාලයත් සමඟ වර්ධනය වේ. රෝග ලක්ෂණ Hoehn සහ Yahr පරිමාණයට අනුව අවදි 5 කට වෙන් කරයි .


පලමු අවධිය :

මෙය පාකින්සන් රෝගයේ පළමු අවධිය යි. මෙම අවධියේ දී රෝග ලක්ෂණ එතරම් පැහැදිලිව දක්නට නොලැබේ. දෛනික කාර්යයන් සදහා බලපෑමක් ඇති නොවේ.


දෙවන අවධිය :

පළමු අවධියේ සිට දෙවන අවධියට රෝගය වර්ධනය වීමට මාස කිහිපයක් හෝ අවුරුදු කිහිපයක් ගතවිය හැක.

මෙම අවධියේ දී මාංශ පේශිවල තද බව, වෙව්ලන ස්වභාවය, මුහුණේ හැඟීම් ප්‍රකාශ කිරීමේ වෙනස්කම් වැනි රෝග ලක්ෂණ දක්නට ලැබේ. මාංශ පේශිවල තද බව නිසා දෛනික කාර්යයන් සදහා බාධා ඇතිවිය හැකිය. සිරුරේ දෙපසම රෝග ලක්ෂණ ඇති වේ.


තුන්වන අවධිය :

මෙම අවධියේ දී රෝග ලක්ෂණ වලින් දෛනික කාර්යයන් සදහා බලපෑම් ඇති වේ. චලනයන් මන්දගාමී වීම නිසා දෛනික කාර්යයන් මන්දගාමී වේ. සමබරතාව පවත්වාගැනීමේ අපහසුතා ප්‍රකටව දක්නට ලැබේ. එම නිසා මෙම අවධියේ දී වැටීම් සුලභ වේ. නමුත් විශාල සහයක් නොමැතිව වුවද දෛනික කාර්යයන් පවත්වාගැනීමේ හැකියාව පවතී.


සිවුවන අවධිය :

තුන්වන අවධියේ සිට සිවුවන අවධියට වර්ධනය වීමේදී රෝග ලක්ෂණ වල කැපී පෙනෙන වෙනස්කම් දක්නට ලැබේ. මෙම අවධියේ දී පුද්ගලයන් ට ආධාරකයක් නොමැතිව නැගී සිටීම අපහසු වේ.


පස්වන අවධිය :

මෙය වඩාත් සංකීර්ණ අවධිය වේ. නැගී සිටීම අපහසු වේ. මෙම අවධියේ දී රෝගීන් ව්‍යාකූල බවක් පෙන්නුම් කරයි.


දැකිය හැකි සංකුලතාවයන්


  • සිතීමේ අපහසුතා.

  • මානසික අවපාතය.

  • ගිලීමේ අපහසුතා.

  • ආහාර ගැනීමේ අපහසුතා.

  • නින්දට බාධා ඇති වීම.

  • මලබද්දය.

පාකින්සන් රෝගයෙන් වැලකී සිටීම


පාකින්සන් රෝගයට නිශ්චිත හේතුව නොදන්නා නිසා රෝග නිවාරණය කිරීමට තහවුරු කරගත් ක්‍රමයක් නොමැත.


ප්‍රතිකාර


ඇතැම් ඖෂධ සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මඟින් රෝග ලක්ෂණ පාලනය කරයි. මෙම රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මඟින් ඉමහත් අස්වැසිල්ලක් ලැබේ.


පාකින්සන් රෝගී තත්ත්වය, පාකින්සොනිසම් (Parkinsonism) තත්ත්වයන් අතර දැකිය හැකි බහුලම රෝගී තත්ත්වය වේ. පාකින්සන් රෝගී තත්ත්වය සඳහා නිශ්චිත හේතුවක් නොමැති වුවද පාකින්සොනිසම් රෝගී තත්ත්වයන් සඳහා හේතු ගණනාවක් පවතී. පාකින්සොනිසම් තත්ත්වයේදීද, පාකින්සන් රෝගයේ දක්නට ලැබෙන චලන අපහසුතා එනම් වෙව්ලන ස්වභාවය, මන්දගාමී චලන, මාංශ පේශිවල තද බව ආදී රෝග ලක්ෂණ දැකිය හැකිය.


දෙව්මි සංජනා


References


https://www.healthline.com/health/parkinsons


https://www.parkinson.org/


http://www.nia.nih.gov/health/parkinsons-disease


24 views0 comments

Comments


bottom of page