top of page

දණහිස් ආදේශන සැත්කමට පෙර ඔබ දැනුවත් විය යුතු කරුණු


දණහිස් සන්ධිය යනු ඌර්වාස්ථිය සහ ජංඝාස්ථිය සම්බන්ධ වන අසව් සන්ධියකි. දණහිස ආදේශ කිරීමේ සැත්කම යනු රෝගී දණහිස් සන්ධිය ඉවත් කර කෘත්‍රිම සන්ධියකින් ප්‍රතිස්ථාපනය කරන තාක්‍ෂණයකි.


අනෙකුත් බොහෝ සන්ධි අතරින් සුලභවම ආදේශ කිරීමට ලක් කරන සන්ධිය දණහිස් සන්ධිය වේ.


ඕනෑම වයසක වැඩිහිටියන් දණහිස ආදේශ කිරීම සඳහා සලකා බැලිය හැකි නමුත් බොහෝ ඒවා සිදු කරනු ලබන්නේ වයස අවුරුදු 60 ත් 80 ත් අතර පුද්ගලයින්ට වේ.



දණහිස ආදේශ කිරීමේ සැත්කම් වර්ග


සැත්කම් ප්‍රධාන වර්ග 2 ක් ඇත.


සම්පූර්ණ දණහිස ප්‍රතිස්ථාපනය -


මෙහිදී සම්පූර්ණ දණහිස ප්‍රතිස්ථාපනය කරයි. සම්පූර්ණ දණහිස ආදේශ කිරීම සාමාන්‍ය විකලාංග ශල්‍යකර්මයක් වන අතර එය දණහිස් සන්ධියේ සන්ධාන පෘෂ්ඨයන් (ඌර්වාස්ථියේ විදුර සන්ධාන අග්‍ර සහ ජංඝාස්ථියේ අවිදුර සන්ධාන අග්‍රය ) සුමට ලෝහ හා හරස් බන්ධිත සහිත පොලිඑතිලීන් ප්ලාස්ටික් මඟින් ප්‍රතිස්ථාපනය කරයි.


අර්ධ දණහිස ආදේශ කිරීම


අර්ධ දණහිස ආදේශ කිරීම යනු හානියට පත් දණහිසේ එක් කොටසක් පමණක් ප්‍රතිස්ථාපනය කිරීමේ ශල්‍යකර්මයකි.


අර්ධ දණහිස ප්‍රතිස්ථාපනය මඟින් සම්පූර්ණ දණහිස ප්‍රතිස්ථාපනය කිරීමට වඩා වාසි කිහිපයක් ඇත. එනම් සුව වීමට ගතවන කාලය අඩු වීම, දණහිස් සන්ධියේ වැඩි චලන පරාසයක් දැකිය හැකි වීම ආදියයි.



අර්ධ දණහිස් ප්‍රතිස්ථාපනය කිරීමේ සැත්කම් වර්ග


අර්ධ දණහිස් ආදේශන සැත්කම් ප්‍රධාන වර්ග 3 ක් ඇත.


Unicondylar දණහිස් ප්‍රතිස්ථාපනය


Unicondylar දණහිස් ප්‍රතිස්ථාපනය යනු දණහිසේ බලපෑමට ලක්වූ තනි කොටසක් පමණක් ප්‍රතිස්ථාපනය කරන ක්‍රියා පටිපාටියකි. එම කොටස මධ්‍ය හෝ පාර්ශවික කොටස විය හැකිය.


Patellofemoral දණහිස ආදේශ කිරීම


Patellofemoral දණහිස් ප්‍රතිස්ථාපනය යනු ගෙවීගිය දණහිස් අස්ථිය සහ Trochlea (ඌර්වාස්ථියේ කෙළවරේ ඇති වලක් වැනි කොටසක් ) වෙනුවට කෘත්‍රිම කොටසක් ආදේශ කරන ක්‍රියා පටිපාටියකි.


Bicompartmental දණහිස් ප්‍රතිස්ථාපනය


Bicompartmental දණහිස් ප්‍රතිස්ථාපනය යනු දණහිසේ කොටස් දෙකක් (මධ්‍ය හා patellofemoral කොටස්) ආදේශ කරන ක්‍රියා පටිපාටියකි.


දණහිස් ආදේශන සැත්කමක් මඟින් ප්‍රතිකාර කළ හැකි අවස්ථා


දණහිස් සන්ධිය ගෙවී ගිය විට හෝ හානි වූ විට, දණහිස් සන්ධියේ චලන පරාසය අඩු වීම, විවේකීව සිටින විට වේදනාවක් දැනීම වැනි රෝග ලක්ෂණ ඇති කරයි. එවැනි අවස්ථාවක ඔබට බොහෝ විට දණහිස් ප්‍රතිස්ථාපන සැත්කමක් සිදු කල යුතුය.


දණහිස ආදේශ කිරීමේ සැත්කම් සඳහා වඩාත් පොදු හේතුව ඔස්ටියෝආතරයිටිස් වේ.


දණහිසට හානි කරන වෙනත් සෞඛ්‍ය තත්වයන් :


  • ඔස්ටියෝආතරයිටිස්

  • බන්ධනී වල හානි

  • Rheumatoid arthritis

  • හීමොෆිලියාව

  • රක්තවාතය

  • Avascular necrosis - රුධිර සැපයුම අහිමි වීමෙන් අස්ථි මිය යාම.

  • Bone dysplasia - අස්ථි වර්ධනය වීමේ ආබාධ



ශල්‍යකර්මයට පෙර භෞතචිකිත්සක ප්‍රතිකාර සිදු කිරීමේ වැදගත්කම



ශල්‍යකර්මය සිදු කිරීමට පෙර ඒ සඳහා සූදානම් වීම වෛද්‍යවරයා ශල්‍යකර්මය නිර්දේශ කිරීමත් සමඟ ආරම්භ වන අතර ආසන්න වශයෙන් මාසයක් පමණ කාලයක් මේ සඳහා ගත වේ.


භෞතචිකිත්සකවරුන් යනු චලනය පිළිබඳ විශේෂඥවරුන් වන අතර රෝගියාට ප්‍රතිකාර නිර්දේශ කිරීම, ඔවුන් දැනුවත් කිරීම සහ රැක බලා ගැනීම තුළින් රෝගීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට උපකාරී වන පිරිසකි. එසේම දණහිස් ආදේශන සැත්කම සිදු කරන රෝගීන්ගේ චලනය හා ක්‍රියාකාරිත්වය නැවත ලබා ගැනීමට හා දෛනික ක්‍රියාකාරකම්වලට නැවත පැමිණීමට උපකාරී වන භෞතචිකිත්සකවරුන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ කණ්ඩායමේ අනිවාර්ය අංගයක් වේ.


ඔබේ භෞත චිකිත්සකවරයාට, ඔබට සැත්කම සඳහා සූදානම් වීමට, සැත්කමෙන් පසු සුවය ලබා ගැනීමට සහ ඔබට වඩාත් ආරක්ෂිතව හා ඵලදායී ලෙස නැවත චලනයන් ඇති කරගැනීම සඳහා පුද්ගල ප්‍රතිකාර වැඩසටහනක් සංවර්ධනය කිරීමට උදව් කළ හැකිය.


ශල්‍යකර්මයට පෙර භෞත චිකිත්සකවරයෙකු එක් වරක් හෝ හමුවීමෙන් ශල්‍යකර්මයෙන් පසු කෙටිකාලීන ප්‍රතිකාර අවශ්‍යතාවය අඩු කර ගත හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.


ශල්‍යකර්මයට පෙර ඔබේ භෞතචිකිත්සකවරයා විසින් පහත සඳහන් දේ කරනු ලබයි.


දණහිස් සන්ධිය හා ඒ ආශ්‍රිත මාංශ පේශිවල නම්‍යතාවය හා ශක්තිය වර්ධනය කිරීමට ව්‍යායාම නිර්දේශ කරයි.


ශල්‍යකර්මයෙන් පසු ආධාරකයක් භාවිතයෙන් ගමන් කරන්නේ කෙසේදැයි ඔබට පැහැදිලි කරන අතර ඇවිදීමේ ආධාරකයක් (Walker) භාවිත කිරීමට ඔබව සූදානම් කරයි.


එසේම අනුගමනය කල හැකි පූර්වෝපායන් හා නිවස තුළ කල හැකි වෙනස්කම් පිළිබඳවද ඔබ සමඟ සාකච්ඡා කරනු ලබයි. උදාහරණ ලෙස උසින් අඩු කබඩ් එකක් අසල පුටුවක් තැබීමෙන් ඔබට යමක් ගැනීමේදී නැමීමෙන් වැලකී වාඩි වී එය ගත හැකි වීම, නිවසේ ඇති ලිස්සනසුළු බුමුතුරුණු ඉවත් කිරීමෙන් ඇවිදීමේ ආධාරකයක් භාවිතයෙන් ඇවිදීමේදී ලිස්සා වැටීමට ඇති හැකියාව අවම කිරීම වැනි පූර්වෝපායන් දැක්විය හැක. ශල්‍යකර්මයට පෙර මෙම වෙනස්කම් කිරීම සෑම විටම පහසුය.


ශල්‍යකර්මයට පෙර නිර්දේශ කරනු ලබන දිගු කාලීන වෙනස්කම්


  • දුම්බීම නැවැත්වීම

සැත්කම සඳහා සැලසුම් කර ඇති පරිදි දුම්බීම නැවැත්වීම සඳහා සහාය ලබා ගන්න. දුම්පානයෙන් තොර වීම ශල්‍යකර්මයෙන් පසු ඔබේ සුව වීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.


  • බර අඩු කරගැනීම

ශරීර බර අඩු කර ගැනීම ඔබට ඉක්මනින් සුවය ලබා ගැනීමට උපකාරී වන අතර ශල්‍යකර්මයෙන් පසු ඔබේ ක්‍රියාකාරිත්වය සහ සමස්ත ප්‍රතිඵල වැඩි දියුණු කිරීමට උපකාරී වේ.


දණහිස් ආදේශ කිරීමේ සැත්කමකට පෙර භෞත චිකිත්සාවේ ප්‍රතිලාභ

  • මානසිකව හා ශාරීරිකව රෝගියාව ශල්‍යකර්මය සඳහා සූදානම් කිරීම.

  • රෝහලේ ගත කරන කාලය අඩු කිරීම.

  • වේදනාව සහ ඉදිමීම අඩු කිරීම.

  • චලන පරාසය යථා තත්වයට පත් කිරීම.

  • තුවාල වූ සන්ධියෙහි මාංශ පේශි පාලනය හා වැඩි දියුණු කිරීම.

  • ශල්‍යකර්මයට පෙර චලන රටා සහ මාංශ පේශි මතකය සාමාන්‍යකරණය කිරීම.

  • සමස්ත සෞඛ්‍ය තත්ත්වය හා යෝග්‍යතා මට්ටම් වැඩි දියුණු කිරීම.

  • ශල්‍යකර්මයෙන් පසු ඔබ විසින් කරනු ලබන ව්‍යායාම වලට හුරුවක් ලැබීම.

  • ශල්‍යකර්මයෙන් පසු ඇතිවන සංකූලතා අවම කිරීම.


References


https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/knee-replacement-surgery


https://www.nhs.uk/conditions/knee-replacement/


ශෙහාන් අකලංක


bottom of page