top of page

භෞතචිකිත්සාවේදී යොදාගන්නා Taping ගැන දැන ගනිමු



Taping යනු කුමක්ද?


Taping යනු භෞතචිකිත්සකවරුන් විසින් අනතුරු වැළැක්වීම හෝ පුනරුත්ථාපනය කිරීම සඳහා භාවිතා කරන පොදු ප්‍රතිකාර ක්‍රමයක් හෝ තාක්ෂණික ක්‍රමයකි. මාංශ පේශි අක්‍රිය වීමේදී, උග්‍ර හා නිදන්ගත මාංශ පේශි ආබාධ වලට ප්‍රතිකාර කිරීමේදී මෙන්ම වේදනාව, ක්‍රියාකාරීත්වය, සන්ධිවල අස්ථායිතාව සහ ඉදිමීම් වැනි තත්ත්ව සඳහාද විවිධ වර්ගයේ Tape සහ Taping ක්‍රම භාවිත කරනු ලැබේ.


ක්‍රීඩා අනතුරු වැළැක්වීමේදී රෝග නිවාරක ක්‍රමවේදයක් ලෙසද Taping භාවිතා කරයි. 2012 වසරේදී ලන්ඩනයේ පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙම Taping ක්‍රමවේදය බහුලව භාවිත කරන ප්‍රතිකාර ක්‍රම පහෙන් එකක්ව පැවතිණි. ඔබට සිදු කරන ප්‍රතිකාරයට සුදුසු ලෙස ඵලදායි Taping කිරීමක් සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව භෞතචිකිත්සවරුන් පූර්ණ පුහුණුවක් ලබා ඇත. භෞතචිකිත්සකවරුන් හට ඔබට තනිවම ඔබේම සිරුරේ Taping කිරීම පිළිබඳව ඉගැන්විය හැකි අතර, එමඟින් ඔබට දිගින් දිගටම ප්‍රතිලාභ අත්විඳිය හැකි වේ.



Taping කිරීමේ ප්‍රතිලාභ


Taping කිරීමේ ප්‍රතිලාභ ඔබේ අනතුරේ ස්වභාවය මත රඳා පවතී. භෞතචිකිත්සකවරුන් පහත සඳහන් ප්‍රතිලාභ අතුරින් යම් ප්‍රමාණයක් හෝ අත්කරදීමට අරමුණු කරයි.


  • තුවාල වූ/අනතුර සිදු වූ මෘදු පටක ව්‍යුහයන් (බන්ධනී, කණ්ඩරාවන්, fascia) ආරක්ෂා කිරීම

  • අනතුරු වැළැක්වීම

  • සාමාන්‍ය චලනයන් දිරිමත් කිරීම

  • ක්‍රීඩාවට හෝ රැකියාවට නැවත ඉක්මනින්ම යොමු කිරීම

  • වේදනාව අඩු කිරීම

  • සන්ධියක ස්ථායිතාව වැඩි දියුණු කිරීම

  • නැවත අනතුරු ඇති වීමේ අවධානම අඩු කිරීම

  • ඉදිමීම අඩු කිරීම.


Taping සිදු කරන අවස්ථා


පහත දක්වා ඇති අනතුරු සහ ආබාධ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙස Taping භාවිත කරයි.


  • උරහිසේ ඇතිවන අනතුරු

  • වළලුකර උළුක්කුවීම්

  • දණහිසේ වේදනාව.

  • විලුඹේ වේදනාව (Plantar fasciitis)

  • Tendonitis (උදා:- Tennis elbow තත්ත්වය)

  • මාංශ පේශි ඇදීම් (උදා:- Hamstrings, groin, quadriceps ආදී මාංශ පේශි)



Taping කිරීම ඔබට කෙසේ උපකාරී වන්නේද ?


ඔබ අනතුරකින් සුවය ලැබීමට හෝ අනතුරු වැළැක්වීමේ ක්‍රමයක් ලෙස Taping කිරීමට කැමැත්තෙන් සිටී නම් Taping කිරීම පහත දැක්වෙන ආකාරවලින් ඔබට උපකාරී වේ.


  • ස්නායුවේ චලන අනාවරක උත්තේජනය කිරීමෙන් වේදනාව අඩු කිරීමට උපකාරී වේ. යාන්ත්‍රික ප්‍රතිග්‍රාහක, වේදනා ප්‍රතිග්‍රාහක (nociceptors) හරහා පණිවිඩ යැවීම මෙමඟින් නතර කරයි.

  • දැනටමත් පවතින අනතුරකට/ තුවාලයකට තවදුරටත් හානි සිදුවිය හැකි චලනයන් සීමා කරයි.

  • මෘදු පටක වල සාමාන්‍ය සුව කිරීමේ ක්‍රියාවලිය පහසු කරවයි.

  • අනතුරක් වූ/ තුවාල වූ සන්ධියක් වටා ඇති මාංශ පේශිවලට සහාය වෙමින් එම මාංශ පේශි ආරක්ෂා කරයි.

  • අනතුරකින්/තුවාලයකින් ඇතිවන පීඩනය අඩු කරයි.

  • ඉදිමීම අඩු කිරීමට උපකාරී වේ.

  • අසාමාන්‍ය චලනයන් නිවැරදි කිරීම සඳහා අදාල ප්‍රදේශයට ප්‍රතිචාරයක් ලබා දෙයි.

  • නැවත අනතුරු සිදු වීමේ අවධානම අවම කිරීම සඳහා ස්වප්‍රතිග්‍රාහක තොරතුරු (සන්ධිවල පිහිටීම පිළිබඳ දැනුවත්භාවය) ලබා දෙයි.

  • අනතුරු සිදු වීමෙන් අඩු විය හැකි ,සන්ධියක සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි.



Taping සඳහා භාවිත කරන විවිධ Tapes වර්ග


  • Rigid/athletic taping

  • Kinesio taping

  • Stretch adhesive taping

  • Underwrap taping

  • Cohesive bandages

  • Biomechanical taping


Taping ක්‍රම


මෙම වර්ග අතුරින් Tape වර්ග කිහිපයක් සහ ඒ සමඟ සම්බන්ධ වූ විශේෂිත චිකිත්සක යාන්ත්‍රණ පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.


Rigid/athletic taping


Rigid taping යනු දුඹුරු පැහැති ඇලෙන සුලු/මැලියම් පටියක් යොදා ගනිමින් මූලික වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනතුරු සිදුවීමට ඇති ඉඩකඩ වැළැක්වීමට හෝ අඩු කිරීමට භාවිතා කරන ක්‍රමවේදයකි. Leukotape වැනි Rigid tape නිශ්චිත ක්‍රියා පිළිවෙලකට සෑම සන්ධියක් සඳහාම නිරන්තරයෙන් යොදනු ලැබේ. යෙදුම/වෙලීම ආරම්භ වන්නේ සමේ තුවාල ඇති වීම (Skin irritation) අවම කිරීම සඳහා වන යටි එතුමකින් වන අතර, අනතුර සිදු වූ ප්‍රදේශය මත යටි එතුමක් ලෙස Rigid tape යොදනු/වෙලනු ලැබේ. එක් එක් සන්ධියක් සඳහා යොදනු ලබන Rigid taping ක්‍රමවේදය යනු මලල ක්‍රීඩා කටයුතුවලට සහභාගී වීමට පුද්ගලයාට අවකාශ සැලසෙන පරිදි නිශ්චිත ඉරියව්වකදී සන්ධිය ආරක්ෂා කර ගැනීම සඳහා ශරීර කොටස් වලට යොදන පටි කිහිපයකි.


Kinesio taping


Kinesio tape/KT යනු, සාම්ප්‍රදායික Rigid taping වල ද්‍රව්‍ය හා ක්‍රම සඳහා විකල්පයක් ලෙස වැඩිදියුණු කරන ලද්දකි. ඔලිම්පික් උළෙලේදී එහි භාවිතයන් විස්මය ඇති කරන ලෙසට ඉහළ යාමෙන් පසුව, දෛනික ජීවිතයේදී , ක්‍රීඩාවලදී මෙන්ම විවිධ සෞඛ්‍ය සේවා වෘත්තිකයින් අතරද ජනප්‍රිය Taping ක්‍රමයක් බවට මෙය පත්ව ඇත. Kinesio tape (KT) යනු මැලියම් සහිත/ඇලෙන සුලු ප්‍රත්‍යාස්ථ Tape එකක් වන අතර එය විවිධ වර්ණ හා රටා වලින් යුක්ත වේ. එය සමට කෙලින්ම යටි වෙලුමකින් තොරවම යොදනු ලැබේ. Kinesio tape (KT) නිර්මාණය කර ඇත්තේ සමේ නම්‍යතාවය/ප්‍රත්‍යාස්ථතාවය වැඩි දියුණු කරන පරිදිය. සිද්ධාන්තමය වශයෙන් සැලකූවිට Kinesio tape (KT) යෙදීමේ අරමුණ වන්නේ, Somatosensory පද්ධතිය ආශ්‍රිත විවිධ ප්‍රතිග්‍රාහක ඉලක්ක කර ගනිමින්, වේදනාව අඩු කිරීම සහ වසා තරල ප්‍රවාහනය වැඩිදියුණු කිරීම, සම ඔසවා තැබීම මගින් අන්තරාල අවකාශයන් වැඩි කිරීමටයි.


McConnell taping


McConnell taping(Mc-T) ක්‍රමයේදී Rigid/athletic tape වලට සමාන වූ වඩාත් දෘඩ, මැලියම් සහිත/ඇලෙන සුලු වර්ගයේ Tape එකක් භාවිත කරයි. McConnell tape (Mc-T) මූලික වශයෙන් යෝජනා කරනුයේ, Patellofemoral pain ඇති රෝගීන් තුළ දණිස් අස්ථිය (Patella) එක එල්ලයට සකස් කිරීමට සහාය වීම සඳහාය. කෙසේ වෙතත් McConnell tape (Mc-T) යෙදීම උරහිස් සහ උකුල වැනි අනෙකුත් සන්ධි සඳහා ද යොදා ගනී. Patellofemoral pain ඇති පුද්ගලයින් හට පාදයේ ඌර්වාස්ථිය (Femur) මත දණිස් අස්ථිය (Patella) වැරදි ලෙස ස්ථානගත වීම නිසා වේදනාව ඇති වේ. මෙම Tape එක යෙදීමේ අරමුණ වන්නේ, දණහිස නැවතත් නිවැරදිව ස්ථානගත කර, එක එල්ලයේ ඇති තත්ත්වයට පත් කිරීමට උත්සාහ කිරීමෙන්, මෙම ගැටළු වලට විසඳුම් ලබා දීමයි. මෙම Taping ක්‍රමය මඟින් ශරීර සමබරතාව පිළිබඳ ප්‍රතිග්‍රාහක (Proprioception) තොරතුරු සහ එක් නිශ්චිත දිශාවකින් දණිස් අස්ථියට (Patella) යාන්ත්‍රික පීඩනයක් ලබා දෙන අතර, එමඟින් සන්ධි වල සන්ධාන පෘෂ්ඨ වලදී ඌර්වාස්ථියේ (Femur) අනෙක් කොටස්වල ස්පර්ශ වීමකින් තොරව දණිහිස් අස්ථිය (patella) නිදහසේ චලනය වීමට ඉඩ සලසයි.


Mulligan taping


Mulligan taping යනු Rigid taping වලට සමාන වන මැලියම් සහිත/ඇලෙන සුලු Tape එකක් යොදා ගනිමින් සිදු කරන Taping ක්‍රමයකි. මෙම Taping ක්‍රමය චලන ක්‍රියාපටිපාටිය සමගින් වූ Mulligan සචලනය (Mulligan mobilization) සඳහා අතිරේකයක් ලෙස භාවිතා කරයි. එමෙන්ම එය අතින් යොදනු ලබන ඒකාබද්ධ බලයක් මගින් , සන්ධියකට නිශ්චිත දිශාවක් ඔස්සේ, නොනවත්වා යොදනු ලබන ප්‍රතිකාර ක්‍රමයකි. Mulligan නම් වූ අතින් යොදනු ලබන ඒකාබද්ධ බලයක් සහිත ප්‍රතිකාර ක්‍රමය මඟින් කලින් වේදනාකාරීව පැවති සන්ධියක්, වේදනා රහිතව චලනය වීමට ඉඩ සලසයි. Mulligan සචලනය (Mulligan mobilization) සිදු කිරීමෙන් පසුව, අතින් යෙදූ ඒකාබද්ධ බලයට සමාන වූ දිශාවකට Rigid tape ශරීර ප්‍රදේශයට යෙදිය හැකි වේ. මෙම Taping ක්‍රමයේ අදහස වනුයේ, ප්‍රතිකාර කටයුතු සිදු කරන කාලය අවසන් වූ පසු, චලනයන් සහිත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිලාභ දීර්ඝකාලීනව පවත්වා ගැනීමයි.



Taping යෙදීමෙන් ඇති විය හැකි සංකූලතා

  • තදට Taping කිරීම හේතුවෙන් රුධිර සංසරණය අඩු කිරීම.

  • සමේ තුවාල ඇති වීම. (Skin irritation)

  • කාලයත් සමඟ හෝ දහඩියත් සමඟ Tape වල බලපෑම/ ප්‍රතිඵලය අඩු වීම.

  • පරිපූර්ණ ශිල්පීය ක්‍රම සඳහා නිසි පුහුණුවක් අවශ්‍ය වීම.

  • රෝගියා/ මලල ක්‍රීඩකයා Taping කිරීම මත දැඩි විශ්වාසයක් තැබීම.


References


https://www.physio.co.uk/treatments/physiotherapy/taping.php



Cupler, Z.A., Alrwaily, M., Polakowski, E., Mathers, K.S. and Schneider, M.J., 2020. Taping for conditions of the musculoskeletal system: an evidence map review. Chiropractic & manual therapies, 28(1), pp.1-21.


මෙත්නි සංජුලා

bottom of page