top of page

දණහිස ආදේශ කිරීමේ සැත්කමෙන් පසු භෞත චිකිත්සාවේ වැදගත්කම



භෞත චිකිත්සකවරයා යනු සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කණ්ඩායමේ අනිවාර්යයෙන් සිටිය යුතු පුද්ගලයෙක් වන අතර දණහිස ආදේශ කිරීම සිදු කරනු ලබන පුද්ගලයින්ට චලනය හා ක්‍රියාකාරිත්වය නැවත ලබා ගැනීමට සහ දෛනික ක්‍රියාකාරකම් වලට නැවත පැමිණීමට ඔවුන් උපකාර කරයි. ශල්‍යකර්මයකට සූදානම් වීමට සහ සුවය ලබා ගැනීමට ඔබට උදව් කිරීමට ඔබේ භෞත චිකිත්සකවරයාට හැකි අතර, හැකි තරම් ආරක්ෂිත හා ඵලදායී ආකාරයකින් ඔබව නැවත පෙර තත්ත්වයට ගෙනයාමට පුද්ගල ප්‍රතිකාර වැඩසටහනක් සංවර්ධනය කිරීමද සිදු කළ හැකිය.


භෞත චිකිත්සක ප්‍රතිකාර ඔබේ සැත්කමෙන් පසු දිනක් ඇතුළත ආරම්භ කළ හැකිය. ඔබට අධික වේදනාවක් නොමැති නම්, ඔබට එදිනම භෞතචිකිත්සක ප්‍රතිකාර ආරම්භ කළ හැකිය. පශ්චාත් ශල්‍ය පුනරුත්ථාපනය ලෙස භෞත චිකිත්සාවේ පරමාර්ථය වන්නේ සුව කිරීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සහ රෝගීන්ට නැවත ක්‍රියාකාරීත්වය ලබා ගැනීමට උපකාර කිරීමයි. පුද්ගලයාගේ තත්ත්වය භෞතචිකිත්සකවරයා විසින් ඇගයීමට ලක් කිරීමෙන් පසු භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම කිහිපයක් හරහා මෙය සිදු කෙරේ.


ඔබගේ ආදේශිත දණහිස සැත්කමෙන් පසු යථා තත්ත්වයට පත් වීමට වසර 2 ක් පමණ දක්වා කාලයක් ගතවේ. මෙම කාලය තුළ, කැළැල් පටක සුව වන අතර ව්‍යායාම මගින් මාංශ පේශි යථා තත්ත්වයට පත් කළ හැකිය.


දණහිස ආදේශ කිරීමේ සැත්කම් වලින් පසුව, භෞත චිකිත්සාව අනුගමනය කිරීමෙන් සෑම පුද්ගලයෙක්ම එකම සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගනී. ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.


  • ඔබේ වේදනාව සමනය කිරීම.

  • ඉදිමීම අඩු කිරීම.

  • සංසරණය පවත්වා ගැනීම.

  • සන්ධිවල චලන හැකියාව සහ ශක්තිය නැවත ඇති කිරීම.

  • ආධාරක මාංශ පේශි ශක්තිමත් කිරීම.

  • සන්ධි සහ මාංශ පේශි වල තද බව අඩු කිරීම.

  • සමබරතාව වැඩි දියුණු කිරීම .

  • ඔබේ සාමාන්‍ය ඇවිදීම නැවත ලබා ගැනීම.

  • සාමාන්‍ය චලනය හා ක්‍රියාකාරකම් ප්‍රතිස්ථාපනය කිරීම .




දණහිස ආදේශන සැත්කමකට පසු භෞතචිකිත්සක ප්‍රතිකාර නොගැනීමෙන් රෝගියාට ඇතිවිය හැකි අහිතකර බලපෑම්


  • ආධාරක මාංශ පේශි හා මෘදු පටක භාවිතයට නොගැනීම හා ඉදිමීමට ලක්වීම නිසා ක්ෂය වී යාම. ඔබේ ආදේශ කිරීමට ලක් වූ සන්ධියේ ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ ආධාරක මාංශ පේශි ශක්තිමත් කිරීම මතය.

  • වැරදි චලනයන් නිසා දණහිස මත යෙදෙන බලය වැඩි විය හැක.

  • කෙසේ වෙතත්, ඔබ චලනය සිදුකිරීමෙන් සහ භෞත චිකිත්සක ප්‍රතිකාර වලින් වැලකී සිටින්නේ නම්, කැළැල් පටක වර්ධනය වීමෙන් චලනය සීමා කරන අතර ඔබේ මාංශ පේශිද දුර්වල වේ. චලනයේ පරාසයද අඩු කළ හැකිය.

  • එම ප්‍රදේශයට රුධිර සැපයුම අඩු වීමෙන් සුව කිරීමේ ක්‍රියාවලිය මන්දගාමී විය හැකිය.


ශල්‍යකර්මයෙන් පසු ඔබට දින කිහිපයක් රෝහලේ රැඳී සිටිය හැකිය, නැතහොත් ඔබේ තත්ත්වය අනුව ඔබට එදිනම ගෙදර යා හැකිය. ඔබට දියවැඩියාව හෝ හෘද රෝග වැනි වෙනත් රෝග තත්ත්වයන් තිබේ නම්, ඔබ නැවත නිවසට පැමිණීමට පෙර දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමට හෝ පුහුණු මධ්‍යස්ථානයකට යාමට අවශ්‍ය විය හැකිය. ඔබ රෝහලේ සිටින විට, භෞත චිකිත්සකවරයා විසින්,


  • අයිස් ආලේප කිරීම, ඔබේ කකුල ඔසවා තැබීම සහ දණහිසේ ඉදිමීම පාලනය කිරීම සඳහා සම්පීඩන ආවරණ භාවිතා කිරීම පිළිබඳව ඔබව දැනුවත් කිරීම.

  • ශරීරය සැහැල්ලු (Relax) කර ගැනීමට උපකාර වන ශ්වසන ව්‍යායාම ඉගැන්වීම.

  • ඇඳක් හා පුටුවක් ආරක්ෂිතව භාවිත කරන ආකාරය ඔබට ඉගැන්වීම, කෘත්‍රීම ඇවිදීමට උපකාරී වන උපකරණයක් හෝ කිහිලිකරුවක් සමඟ ඇවිදින්නේ කෙසේදැයි ඔබට ඉගැන්වීම සහ මෝටර් රථයකින් ඇතුළට සහ පිටතට යන ආකාරය ඉගැන්වීම.

  • ඔබේ ශල්‍යකර්මයට පෙර ඔබ ඉගෙන ගත් නම්‍යශීලීභාවය සහ ශක්තිමත් කිරීමේ ව්‍යායාම දිගටම කරගෙන යාමට ඔබට උදව් කිරීම.


ඔබ සුවය ලැබීමට පටන් ගන්නා විට

සුවය ලැබීමේ පළමු සති දෙකේ ඉලක්කය වන්නේ වේදනාව පාලනය කිරීම, ඉදිමීම අඩු කිරීම, කැපුම් තුවාලය සුව කිරීම, සාමාන්‍ය ඇවිදීම යථා තත්ත්වයට පත් කිරීම සහ ව්‍යායාම ආරම්භ කිරීමයි. එම සති 2 න් පසු, ඔබේ භෞත චිකිත්සකවරයා විසින් ඔබේ චලන පරාසය, මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම, ශරීර දැනුවත්භාවය සහ සමබරතාව පිළිබඳ පුහුණුව, ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව සහ ක්‍රියාකාරකම් විශේෂිත පුහුණුව මඟින් නිශ්චිත අරමුණු සපුරාලීමට සහ ඔබව නැවත ක්‍රියාකාරකම් වෙත ගෙන ඒමට කටයුතු කරනු ඇත.


චලනයේ පරාස වැඩි දියුණු කිරීමේ ව්‍යායාම


ඉදිමීම සහ වේදනාව නිසා ඔබේ දණහිසේ චලන පරාසය අඩුවිය හැකිය. දණහිසේ චලනය (චලනයේ පරාසය) යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඔබේ භෞත චිකිත්සකවරයාට ආරක්ෂිත හා ඵලදායී ව්‍යායාම ඉගැන්විය හැකි අතර එමඟින් ඔබට ඔබේ දෛනික ක්‍රියාකාරකම් වල නියැලීමට හැකියාව ලැබේ .


ශක්තිමත් කිරීමේ ව්‍යායාම


කලවා සහ පහළ කකුලේ මාංශ පේශි දුර්වල වීම නිසා ඔබට ඇවිදින විට කෘත්‍රීම ආධාරයක් භාවිත කිරීමට අවශ්‍ය වනු ඇත. ඔබේ භෞත චිකිත්සකවරයාට ඔබට ගැලපෙන ශක්තිමත් කිරීමේ ව්‍යායාම තීරණය කළ හැකිය.


ශරීර සමායෝජනය සහ සමබරතා පුහුණුව


අසමාන මතුපිටක් මත ඇවිදීම වැනි වෙනස්කම් වලට ප්‍රතිචාර දැක්වීමට ඔබේ මාංශ පේශි සඳහා විශේෂිත පුහුණු අභ්‍යාස උපකාරී වේ. ශරීරයේ සම්පූර්ණ බර දණහිසට වේදනාවකින් තොරව දැරීමට හැකි වූ විට, භෞත චිකිත්සකවරයා විසින් සමබරතා පුවරුවක් (Balance board) භාවිත කරමින් ව්‍යායාම සහ ක්‍රියාකාරකම් එකතු කරනු ලබයි. ඔබේ පුනරුත්ථාපන වැඩසටහන පදනම් වන්නේ භෞත චිකිත්සකවරයා දණහිස සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂාව, ඔබේ අරමුණු, ක්‍රියාකාරකම් මට්ටම සහ සාමාන්‍ය සෞඛ්‍යය පිළිබඳ පරීක්ෂණයන් මත ය.


ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණුව


ඔබට වේදනාවකින් තොරව නිදහසේ ගමන් කළ හැකි විට, ඔබේ දණහිසේ වේදනාව ඔබව සීමා කිරීමට පෙර ඔබේ භෞත චිකිත්සකවරයා ඔබ කරමින් සිටි ක්‍රියාකාරකම් පුහුණු කිරීමට පටන් ගනී. ​​ ඔබේ වැඩසටහන පදනම් වන්නේ දණහිස පිළිබඳ භෞත චිකිත්සක පරීක්ෂණය, ඔබේ අරමුණු සහ ඔබේ ක්‍රියාකාරකම් මට්ටම සහ සාමාන්‍ය සෞඛ්‍යය මත ය.

විවේක හෝ ක්‍රීඩා කටයුතුවලට නැවත පැමිණීමේ කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඔබේ තත්ත්වය මත පදනම්ව මෙම කාලය තක්සේරු කිරීමට ඔබේ භෞත චිකිත්සකවරයා ට හැකිය.


විශේෂ ක්‍රියාකාරකම් පුහුණුව


ඔබගේ රැකියාවේ අවශ්‍යතා හෝ ඔබ ක්‍රීඩා කරන ක්‍රීඩා වර්ගය මත පදනම්ව, ඔබේ රැකියා ක්‍රියාකාරකම් (ඉණිමඟකට නැගීම වැනි) හෝ ක්‍රීඩා ක්‍රියාකාරකම් (ගොල්ෆ් ක්‍රීඩාව) සහ කරන ලද ඉල්ලීම් වලට ගැලපෙන අමතර පුනරුත්ථාපනයක් ඔබට අවශ්‍ය විය හැකිය. මෙම සියලු ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් ඔබේ භෞත චිකිත්සකවරයා ට ඔබ වෙනුවෙන් පුද්ගලීකරණය කළ පුනරුත්ථාපන වැඩසටහනක් සංවර්ධනය කළ හැකිය.


යථා තත්ත්වයට පත් වීමේ කාලය තුළ භෞත චිකිත්සක උපදෙස්


කල යුතු දේ


  • ශල්‍යකර්මයෙන් පසු භෞතචිකිත්සකවරයාගේ නිර්දේශය අනුව ඔබේ දණහිස චලනය කිරීමට උත්සාහ කරන්න.

  • ඔබේ ඇවිදීමේ ආධාරක භාවිත කරන්න. නමුත් ඔබේ කකුල ශක්තිමත් නැතැයි සිතා ඒවා මත රඳා පවතින ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කිරීමට අරමුණු කර ගන්න.

  • සන්ධියේ තදභාවය වළක්වා ගැනීම සඳහා ඔබේ ව්‍යායාම දිගටම කරගෙන යන්න. නමුත් ඔබේ දණහිස බලෙන් චලනය නොකරන්න (චලනය කළ හැකි පරාසය ඉක්මවා චලනය නොකරන්න)

  • පළමු සති තුන තුළ අවම වශයෙන් දිනකට 3 වතාවක් පමණ ව්‍යායාම කරන්න.

  • එළිමහනේ ගමන් කරන විට ආධාරක පාවහන් පළඳින්න.

  • විවේක ගැනීමේදී හා රාත්‍රී කාලයේදී ඔබේ පාදය ඔසවා තබාගන්න. සෑම පැය 3 ක් හෝ 4 කට වරක් ඉදිමීම අඩු කිරීමට මිනිත්තු 20 ක් පමණ අයිස් තබන්න.


නොකළ යුතු දේ


  • ඔබේ සැත්කමෙන් පසු පළමු සති 6 තුල ඔබේ කකුල් එක මත එක සිටින ලෙස වාඩි නොවන්න.

  • නිදා සිටියදී ඔබේ දණහිසට යටින් කොට්ටයක් තබා නොගන්න.

  • ඔබේ දණහිස ඇඹරීමට ඉඩ නොදෙන්න.

  • ඔබේ සැත්කමට ලක් වු දණහිස මත දණ ගැසීමෙන් වලකින්න.

  • සති 6 සිට 8 දක්වා රිය පැදවීම නොකරන්න. ඔබ සම්පූර්ණයෙන්ම සුවය ලබා වේදනාවෙන් තොර වූ විට පමණක් රිය පැදවීම ආරම්භ කරන්න.


වඩාත් හොඳ සහ ඔබට සුදුසු උපදෙස් ලබාගැනීමට භෞතචිකිත්සකවරයෙකු හමුවන්න.


References


https://www.nhs.uk/conditions/knee-replacement/recovery/


https://www.choosept.com/symptomsconditionsdetail/physical-therapy-guide-to-total-knee-replacement


සංජුල සේනානායක


bottom of page