top of page

පිළිස්සුම් අනතුරු සඳහා ප්‍රථමාධාර

Writer's picture: Wephysio MFCWephysio MFC

පිළිස්සුම් අනතුරු හඳුනගන්නා ආකාරය (සියළුම ලක්ෂණ සෑම විටම බලාපොරොත්තු විය නොහැක)


  • දැඩි වේදනාව.

  • රතු වීම, සම ගැලවීයාම, දිය බිබිලි ඇති වීම. (විදුලිය නිසා සිදුවූ පිළිස්සීමක් නම් කළු පැහැ වී තිබිය හැක)

  • පිළිස්සුන ප්‍රදේශයෙන් දියරයක් ස්‍රාවය වීම.

  • රෝගියා සුදුමැලි වීම, සීතල දැනීම , දහඩිය දැමීම, ක්ලාන්තය හා කරකැවිල්ල ඇති වීම, ඔක්කාරය හෝ වමනය ඇති වීම.

  • පිළිස්සුන ප්‍රදේශයේ ඉදිමීම පසුව දැකගත හැකිය.


ලබාදිය යුතු ප්‍රථමාධාර


  • දැවෙන ක්‍රියාවලිය හැකි ඉක්මනින් නවත්වන්න.


මෙයින් අදහස් කරන්නේ පුද්ගලයා එම ප්‍රදේශයෙන් ඉවත් කර, ජලයෙන් හෝ තෙත බ්ලැන්කට්ටුවකින් ගින්දර නිවාදැමීමයි.


  • අවම වශයෙන් මිනිත්තු දහයක්වත් සිසිල් ජලය මඟින් පිළිස්සුන ස්ථානය සිසිල් කරන්න.


සිසිල් කිරීමෙන් වේදනාව, ඉදිමීම සහ කැළැල් ඇතිවීමේ අවදානම අඩු වේ.


  • පිළිස්සුන ස්ථානය සිසිල් වූ පසු, එය පොළිතින් පටලයකින් හෝ පිරිසිදු ප්ලාස්ටික් බෑගයකින් ආවරණය කරන්න.


පිළිස්සුන ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීමෙන් ආසාදන වැලැක්වීමට මෙය උපකාරී වේ. පොළිතින් පටල හෝ ප්ලාස්ටික් පිළිස්සුම් සිදුවූ ස්ථානයේ ඇලී නොසිටින අතර සම මතුපිටින් වාතය තබා ගැනීමෙන් වේදනාව අඩු කරයි.


  • 1990 ගිලන් රථ සේවාව අමතන්න.


ඔබට 1990 අමතන්න නොහැකි නම්, වෙනත් අයකු ලවා ඇමතුමක් ලබාදෙන්න.


පිලිස්සුම් තුවාල සඳහා හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය.

ඔබට පිළිස්සීම පිළිබඳ කිසියම් සැකයක් ඇත්නම්, පිළිස්සී ඇත්තේ ළදරුවෙකු හෝ දරුවෙකු නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.



කළයුතු සහ නොකළයුතු දේ


කළයුතු දේ:-


  • ගලා යන ජලය (‍ජල කරාමයකට ඇල්ලීමෙන්) මඟින් පිළිස්සුන ස්ථානය සිසිල් කරන්න.


සිසිල්, ගලායන ජලය මඟින් පිළිස්සුම සිසිල් කිරීම සඳහා වතුර මල ඉතාමත් සුදුසු ක්‍රමයකි. මෙහිදී මුළු ශරීරයම හෝ මුළු අවයවයම ජලයෙන් තෙමීම වෙනුවට පිළිස්සුම සිදුවී ඇති ස්ථානය පමණක් ජලයෙන් තෙමීමට කටයුතු කළ යුතුය


  • පිළිස්සීමට ලක්වූ පුද්ගලයාගේ ශරීරය උණුසුම්ව තබන්න.


මේ සඳහා බ්ලැන්කට්ටුවක් හෝ රෙදි කිහිපයක් භාවිත කරන්න, නමුත් කිසිසේත්ම තුවාල වූ ස්ථානයට ඒවා දැමීමෙන් වළකින්න. මේ මඟින් පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය 350C (95F) ට වඩා පහත වැටීම නිසා ඇතිවන හයිපෝතර්මියා තත්ත්වය ඇතිවීම වලක්වයි.


  • මුහුණ හෝ ඇස් පිළිස්සී ඇත්නම් හැකිතාක් කෙළින් ඉඳගන්න.


ඉදිමීම අඩු කිරීමට මෙය උපකාරී වන බැවින් හැකි තාක් දුරට වැතිරීමෙන් වළකින්න.


  • පිළිස්සුම් වේදනාව සමනය කිරීම සඳහා රෝගියාට පැරසිටමෝල් වැනි වේදනා නාශකයක් ලබාදෙන්න.


පිලිස්සුම් තුවාල සිසිල් කිරීමෙන් පසුව පවා බොහෝ විට වේදනාකාරී වේ. ඔබට සුදුසු වේදනා නාශක මාත්‍රාවක් ලබා දිය හැකි අතර, මේ මඟින් පිළිස්සී ඇති පුද්ගලයා සන්සුන් කරගත හැක.

නමුත්, සෑම විටම ඖෂධ භාවිත කරන විට නිෂ්පාදකයාගේ උපදෙස් පරීක්ෂා කරන්න.


වයස අවුරුදු 16 ට අඩු දරුවන්ට ඇස්පිරින් ලබා නොදිය යුතුය.


පිළිස්සී ඇති ළදරුවෙකු හෝ දරුවෙකු සදහා සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


  • වෛද්‍ය උපදෙස් ලබාගන්න.


ළදරුවෙකු හෝ දරුවෙකු පිළිස්සී ඇත්නම් සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න. දරුවාගේ වයස සහ තුවාලයේ ප්‍රමාණය, ගැඹුර සහ ස්ථානය අනුව පිළිස්සුම් ඉතා භයානක විය හැකිය. කුඩා පිළිස්සුම් පවා ළදරුවෙකුට හෝ දරුවෙකුට ජීවිතයට තර්ජනයක් විය හැකි බැවින් සෑම විටම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


වැඩිහිටියෙකුගේ මුහුණ හෝ ලිංගික ප්‍රදේශය පිළිස්සී ඇත්නම් හෝ පිළිස්සීම කෙතරම් දරුණුද යන්න පිළිබඳව ඔබට යම් සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


නොකලයුතු දේ:-


  • පිළිස්සුන ස්ථානයේ බටර්, ක්‍රීම් වර්ග හෝ දත් බෙහෙත් ආදිය තැවරීම.


බටර්, ක්‍රීම් හෝ දන්තාලේප ප්‍රදේශය සිසිල් නොකරයි. බටර් සහ ක්‍රීම් වල තෙල් අඩංගු වේ. තෙල් තාපය රඳවා තබා ගනී, එමගින් සිසිල් වීම තවත් ප්‍රමාද කරයි. දන්තාලේප වල බොහෝ විට මෙන්තෝල් අඩංගු වන අතර එමඟින් සිසිලනය පිළිබඳ හැඟීමක් ලබා දිය හැකි නමුත් සිසිල් කිරීමට ඵලදායී ලෙස උපකාරී නොවේ. ඔබ පිළිස්සීමක් මත යමක් තැබුවහොත් එය පසුව රෝහලේදී ඉවත් කළ යුතු නම්, එය තවත් වේදනාවක් හා හානියක් විය හැකිය.


  • පිළිස්සුන ස්ථානයේ අයිස් තැබීම.


අයිස් මඟින් සමට හානි විය හැකිය. පිළිස්සීම සිසිල් කිරීම සඳහා සීතල වතුර භාවිතා කරන්න. සිසිල් ජලය නොමැති නම්, සිසිල් කිරීම සඳහා පිළිස්සීමට උඩින් කිරි, සිසිල් බීම හෝ බියර් වැනි වෙනත් සිසිල් දියර වත් කරන්න.


  • පිළිස්සුන ස්ථානය සමඟ ඇලී පවතින රෙදි හෝ ඇඳුම් ඉවත් කිරීමට උත්සාහ කිරීම.


ඒ මඟින් පිළිස්සුන ස්ථානයට තවත් හානි කරනු ඇත.

එමෙන්ම දිය බිබිළි කැඩීමට හෝ, හානිවී ඇති සම ඉවත් කිරීමට උත්සාහ නොකරන්න.

පිළිස්සුන ස්ථානය සමඟ නොඇලී ඇති රෙදි කැබලි හෝ ඇඳුම් ඉවත් කිරීම ගැටළුවක් නොවේ


  • පිළිස්සුන ස්ථානය ආසාදනය වීම වැලැක්වීම සඳහා ප්ලාස්ටර් මඟින් ආවරණය කිරීම.


ප්ලාස්ටර් හෝ වෙනත් ආකාරයක ඇලෙන සුළු වෙළුම් වර්ග පිළිස්සුන ස්ථානයට තවත් හානි කරනු ඇත.

ජලය මඟින් සිසිල් කිරීමෙන් අනතුරුව පොළිතින් පටලයකින් ආවරණය කිරීම මඟින් එම ස්ථානය ආසාදනය වීම වලකී.


  • පිළිස්සීමට ලක්වූ පුද්ගලයාගේ ශරීර සම්පූර්නයෙන්ම සිසිල් ජලයෙන් තෙමීම.


මේ මඟින් හයිපොත(ර්)මියා තත්ත්වය ඇතිවිය හැකිය.


තවද ළදරුවන් සම්පූර්ණ මිනිත්තු 10ක කාලයම නොකඩවා සිසිල් ජලයෙන් තෙමීම සිදු නොකළ යුතුය, ඒ මඟින්ද හයිපොත(ර්)මියා තත්ත්වයක් ඇති විය හැකිය.


වෙනස් ආකාර වල පිළිස්සීම් සඳහා ප්‍රථමාධාර


රසායනික ද්‍රව්‍ය මඟින් ඇතිවන පිළිස්සීම්


1️. පිළිස්සුමට ලක්වූ පුද්ගලයා ඉක්මනින් පිරිසිදු කරන්න.


එම පුද්ගලයා මත තැවරී ඇති සියළුම රසායනික ද්‍රව්‍ය ඉවත් කරන්න.


පිළිස්සීමට හේතුවූ රසායනික ද්‍රව්‍යය කුඩු ලෙස පවතී නම් ජලයෙන් සේදීමට පෙර එය පිසදමා පිරිසිදු කරන්න.


2️. පිළිස්සීම සිසිල් කරන්න.


පිළිස්සුන ස්ථානය සිසිල්, ගලායන ජලය මඟින් මිනිත්තු 20ක් පමණ නොකඩවා සිසිල් කරන්න.


3️. රසායන ද්‍රව්‍ය ඇස් මත තැවරී ඇත්නම්, ඇස්පිය නොවැසෙන සේ රඳවා ගනිමින් ඇස් වල තැවරී ඇති සියළුම රසායන ද්‍රව්‍ය ජලය මඟින් සෝදා යවන්න.


තාර වැනි ද්‍රව්‍ය මඟින් ඇතිවන පිළිස්සුම්.


1️. ඇඟිල්ලක් වැනි ස්ථානයක පිළිස්සීම් සිදුවී ඇත්නම්, සීතල ජලයෙන් මිනිත්තු 20ක් පමණ සෝදන්න.


2️. ආවරණය නොවූ තුවාල පවතී නම් නොඇලෙන සුළු රෙදිකඩකින් ඒවා ආවරණය කරන්න.


3️. කිසිඳු ආකාරයක ආලේපයක් පිළිස්සුම් මත ගැල්වීමෙන් වළකින්න.


4️. දියබුබුළු කැඩීමට හෝ සිදුරු කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න.


5️. පිළිස්සීමට හේතුවූ ද්‍රව්‍ය සම මත ඇලී ඇත්නම් ඒවා ඉවත් කිරීමට උත්සාහ කිරීමෙන් වළකින්න.


6️. ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න


මුඛය හෝ උගුර ආශ්‍රිත පිළිස්සීම් වලදී (විෂ වායු මඟින්),


1️. පිළිස්සුන පුද්ගලයා ආරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න.


පිලිස්සුන පුද්ගලයා සිටින්නේ ආවරණය වූ ස්ථානයක නම් වහාම වාතාශ්‍රය සහිත ස්ථානයක් කරා රැගෙන යන්න. මේ මඟින් පිරිසිදු වාතය ආඝ්‍රාණය කිරීමට හැකිවීම නිසා තවදුරටත් පිළිස්සීම වළකී.


2️. පිළිස්සීම සිසිල් කරන්න.


දුමක් හෝ විෂ වායුවක් ආඝ්‍රාණය වී ඇතිනම් එම පුද්ගලයා අදාල ස්ථානයෙන් ඉවත් කර, සිසිල් ජලය වත්කිරීම මඟින් පිළිස්සුම සිසිල් කරන්න. තවද, එම පුද්ගලයා හුස්ම ගැනීමේ අපහසුවක් ඇත්නම් ශ්වසනය පහසු වන ආකාරයේ ඉරියව්වකින් තබන්න.


ඇඳුම් ගිනිගන්නා අවස්ථාවක,


1️. පිලිස්සීමට ලක්වන පුද්ගලයා පොරෝනයකින් ආවරණය කිරීමෙන් ගිනිදළු නිවාදැමීමට කටයුතු කරන්න.


2️. පිලිස්සුන පුද්ගලයා පරික්ෂා කිරීමට පෙර ඔහුව/ඇයව නතර කර බිම වැතිරවා සියළුම ගිනිදළු නිවීමට සලස්වන්න.


කසුන් ප්‍රභාසර


References


https://www.nhs.uk/conditions/burns-and-scalds/treatment/


https://www.redcross.org.uk/first-aid/learn-first-aid/burns


https://www.stjohn.org.nz/first-aid/first-aid-library/burns/







Comments


bottom of page