top of page

උගුරේ යමක් හිරවුණු විට ප්‍රථමාධාර


මෙහිදී සිදුවනුයේ, ආහාර හෝ වෙනත් යමක් මඟින් ශ්වසන මාර්ගයේ ඉහළ කොටස අවහිර වීමකි, එමඟින් පුද්ගලයෙකු ඵලදායී ලෙස හුස්ම ගැනීම වළක්වයි. උගුරේ යමක් හිරවීම සරල කැස්සකට හේතු විය හැකි නමුත් ශ්වසන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වීම මරණයට හේතු විය හැක.

 

උගුරේ යමක් හිරවීමේ රෝග ලක්ෂණ මොනවාද?


වැඩිහිටි අයෙකුගේ උගුරේ යමක් හිර වෙමින් පවතින්නේ නම්, ඔබට පහත හැසිරීම් නිරීක්ෂණය කළ හැකිය.


  • කැස්ස හෝ මුඛය දෑතින් වසා ගැනීම.

  • අතින් සංඥා නිකුත් කිරීම සහ හදිසි බියකට පත් වී ඇති බවක් පෙන්නුම් කිරීම. (සමහර අවස්ථා වල උගුර දෙසට ඇඟිල්ලක් යොමු කරමින් සංඥා කරයි)

  • හදිසියේම කතා කිරීමට නොහැකි වීම.

  • හදිසියේ තදින් උගුර අල්ලා ගැනීම. (මෙහි ස්වභාවික ප්‍රතිචාරය වන්නේ හදිසියේම එක් අතකින් හෝ අත් දෙකෙන් උගුර තදින් අල්ලා ගැනීමයි. මෙය සියලු දෙනා අතර පොදු උගුරේ යමක් හිරවීමේ සංඥාවක් වන අතර ඒ බව අනෙක් පුද්ගලයින්ට පැවසීමේ ක්‍රමයක් ලෙසද බහුලව භාවිත වේ)

  • කිවිසීම.

  • ක්ලාන්තය ඇතිවීම.

  • නිල් පැහැයට හැරීම :- සයනොසිස් නැමැති මෙම තත්ත්වයේදී මූලිකව මුහුණ වටා, තොල් සහ නියපොතු යට (Fingernail beds) නිල් පැහැය දැකිය හැකිය. නමුත් හුස්ම හිරවීමේ අනෙක් වැදගත් ලක්ෂණ මීට පෙර ඇති වේ.


ළදරුවෙකුගේ උගුරේ යමක් හිර වෙමින් පවතින්නේ නම්, ළදරුවෙකුගේ හැසිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. සියලු දෙනා අතර පොදු උගුරේ යමක් හිරවීමේ සංඥා ඔවුන්ට පෙන්විය නොහැක.


  • හුස්ම ගැනීමේ අපහසුතාව.

  • දුර්වල හැඬීම, දුර්වල කැස්ස හෝ එම ලක්ෂණ දෙකම පෙන්නුම් කිරීම.


උගුරේ යමක් හිරවීමෙන් ඔක්සිජන් මොළයට හා පෙණහලුවලට යාම වැළකිය හැකිය. මිනිත්තු 4 කට වඩා වැඩි කාලයක් මොළයට ඔක්සිජන් නොමැතිකම මොළයට හානි සිදුවීමට හෝ මරණයට හේතු විය හැකිය. එබැවින් හැකි ඉක්මනින් ප්‍රථමාධාර ලබා දීම ඉතා වැදගත් වේ.



උගුරේ යමක් හිරවීම සඳහා ප්‍රථමාධාර


පුද්ගලයා වැඩිහිටියෙක් නම්,


පිටුපස ප්‍රදේශයට අතුල් පහර (Back Slaps) 5 ක් දෙන්න.


  • ශරීරයේ ඉහළ කොටස බිමට සමාන්තර වන පරිදි පුද්ගලයා ඉණ ප්‍රදේශයෙන් නමන්න.

  • සහය සඳහා පුද්ගලයාගේ පපුව හරහා එක් අතක් තබන්න.

  • පුද්ගලයාගේ උරහිස් තල අතර මැදට වන්නට ඔබේ අතේ අල්ල ප්‍රදේශය මඟින් පහළ සිට ඉහළට වෙන වෙනම අතුල් පහර 5 ක් ලබා දෙන්න.


උදර තෙරපීම් දෙන්න.


පිටුපස ප්‍රදේශයට ලබාදෙන අතුල් පහර මඟින් හිරවීම ඉවත් කිරීමට අපොහොසත් වුවහොත්, උදර තෙරපීම් භාවිත කරන්න. ආහාර කැබැල්ලක් හෝ වෙනත් යමක් නිසා හුස්ම හිරවූ පුද්ගලයෙකුට ප්‍රාචීරයට පහළින් උදර තෙරපුමක් නිර්දේශ කෙරේ. මෙම තාක්ෂණය භාවිත කරනුයේ යම් දෙයක් මඟින් ශ්වසන මාර්ගය අවහිර වීම නිසා පුද්ගලයෙකුගේ හුස්ම හිරවූ විට පමණි. උදර තෙරපුම යොදන විට ඕනෑවට වඩා බලයක් භාවිතා නොකිරීමට වගබලා ගන්න, එවිට ඉළ ඇට හෝ අභ්‍යන්තර අවයව වලට හානි සිදු නොවේ. උදර තෙරපීම මඟින්, ප්‍රාචීරය ඔසවා කෘත්‍රීම කැස්සක් ඇති කිරීමට පෙණහලු වලින් ප්‍රමාණවත් තරම් වාතය ලබා දේ. මෙම කැස්ස මඟින් ශ්වාසනාලය හරහා වාතය ගෙනයාම, හිර වූ දේ තල්ලු කිරීම සහ මුඛයෙන් හා ශ්වසන මාර්ගයෙන් ඉවත් කිරීම සිදු කරයි.


  • පුද්ගලයා පිටුපස සිටගන්න.

  • පුද්ගලයාගේ ඉණ වටා දෑත් ‍යවන්න.

  • නාභියට ඉහළින් සහ ඉළ ඇටයට පහළින් එක් අතක් මිට මොලවා තබාගන්න.

  • ඔබේ අනෙක් අතෙන් මිට මෙලවූ අත අල්ලා ගන්න.

  • මිටමෙලවූ අත 5 වතාවක් ඉළ ඇටයට යටින් කෙලින්ම පසුපසට හා ඉහළට ඉක්මනින් අදින්න.

  • අවහිර වීම ඉවත් වන තුරු අඛණ්ඩව සිදුකරන්න.


උදර තෙරපීම වේදනාකාරී විය හැකි අතර පුද්ගලයාට තුවාල කළ හැකිය.  පුද්ගලයාගේ උගුරේ යමක් හිරවීම නිසා හුස්ම හිරවී ඇති බව තහවුරු වූ හදිසි අවස්ථා වලදී පමණක් උදර තෙරපුම භාවිතා කරන්න.


පුද්ගලයා තරබාරු හෝ ගර්භනී අවධියේ සිටින්නේ නම්,


  • උදර තෙරපුම වෙනුවට පපු තෙරපුම දෙන්න.

  • ඔබේ දෑත් උදර තෙරපුමට වඩා මදක් ඉහළට වන්නට, උරෝස්ථියේ පාමුල පහළ ඉළ ඇටය සම්බන්ධ වන ස්ථානයට ඉහළින් තබන්න.

  • ඉක්මන් තෙරපුමකින් පපුව තුළට තදින් තෙරපන්න.

  • ආහාර හෝ වෙනත් අවහිරතා ඉවත් වන තුරු නැවත නැවත කරන්න.


පුද්ගලයා වයස අවුරුදු 1 ට වඩා අඩු ළදරුවෙක් නම්


පිටට තට්ටු කරන්න


වාඩි වී සිටින ඉරියව්වකින් හිද, ළදරුවාගේ මුහුණ පහලට සිටින සේ අල්ලාගෙන ළදරුවා ඔබේ කලවා මත තිබෙන ඔබේ අත උඩින් තබාගන්න.

ළදරුවාගේ හිස සහ බෙල්ල ඔබේ අතින් ආධාර කර හිස කඳට වඩා පහළට වන්නට තබන්න.

හිරවී ඇති දේ පිටතට යොමු වන පරිදි, ඔබේ අත්ලෙන් මෘදු නමුත් තදින් ළදරුවාගේ පිටුපස මැද ප්‍රදේශට තට්ටු කරන්න.

ළදරුවාගේ හිස පිටුපසට පහර වැදීම වළක්වා ගැනීම සඳහා ඔබේ ඇඟිලි ඉහළට තබා ගන්න.


පුද්ගලයා කිසිදු ප්‍රතිචාරයක් නොදක්වයි නම් හා හුස්ම ගැනීමක් සිදු නොකරයි නම් වහාම පපු තෙරපුම් (CPR) ලබා දෙන්න.


චාමිකා හර්ෂනී


References


https://www.sja.org.uk/get-advice/first-aid-advice/choking/


https://www.hopkinsmedicine.org/health/wellness-and-prevention/choking-and-the-heimlich-maneuver


https://www.betterhealth.vic.gov.au/health/ConditionsAndTreatments/choking


17 views0 comments
bottom of page