top of page

Hyperventilation සින්ඩ්‍රෝමය (HVS)


Hyperventilation සින්ඩ්‍රෝමය යනු සාමාන්‍ය හුස්ම ගැනීමේ වේගය ඉක්මවා මිනිත්තුවකදී කෙටි හා නොගැඹුරු හුස්ම වැඩි වාර සංඛ්‍යාවක් ගැනීමේදී ඇතිවන රෝගී තත්ත්වයයි. ජනගහනය තුළ සිටින රෝගීන්ගෙන් 10% ක් පමණ ප්‍රතිශතයක් Hyperventilation සින්ඩ්‍රෝම් රෝගයෙන් පෙළෙති.


රෝගයේ විද්‍යානුකූල පසුබිම


වේගවත් හා නොගැඹුරු හුස්ම ගැනීමේ රටාව දිගු කාලයක් පුරාවට පැවතීම මෙම රෝගී තත්ත්වයේ ප්‍රධාන ලක්ෂණය වේ. ශරීරය මඟින් සාමාන්‍යයෙන් රුධිරගත ඔක්සිජන් හා කාබන් ඩයොක්සයිඩ් මට්ටම සමබරව තබා ගනී. නමුත් මෙම ආබාධය ඇති අය තුළ රුධිරගත කාබන්ඩයොක්සයිඩ් මට්ටම අඩු වීම සහ ඔක්සිජන් මට්ටම අධික ලෙස වැඩි වීම නිසා අසමතුලිත තත්ත්වයක් හට ගනී. එනිසා ශරීරයේ අවයවවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය සැපයීමට අපහසු වන අතර මෙමගින් වෙනත් රෝග ලක්ෂණ ද ඇති වීමේ අවදානමක් ඇත.



ප්‍රභලතාවය අනුව රෝගය ඇති විය හැකි අවස්ථා


  • රෝග ලක්ෂණ සෑම විටම අඛණ්ඩව ඇති වේ නම් මෙය නිදන්ගත තත්ත්වයක් වන අතර සුළු ආතති තත්ත්වයකදී පවා උත්සන්න විය හැකිය.

  • එකවර ලක්ෂණ මතු වී නැවත යථා තත්ත්වයට පත්වන අවස්ථාද තිබිය හැකිය.

  • ශ්වසන වේගය වැඩි වූ අවස්ථාවල ආතති තත්ත්වය වැඩි වීම හේතුවෙන් Hyperventilation සින්ඩ්‍රෝම් තත්ත්වය නැවත නැවත ඇති විය හැකිය.

Hyperventilation සින්ඩ්‍රෝමයේ රෝග ලක්ෂණ

ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ


▪️ හුස්ම ගැනීමේ අපහසුතාව

▪️ පපුව වටා තද ගතිය

▪️ වේගයෙන් හුස්ම ගැනීම

▪️ නිතර සුසුම්ලැම


සාමාන්‍ය රෝග ලක්ෂණ


▪️ ආතතිය

▪️ කාංසාව

▪️ තෙහෙට්ටුව සහ අලසකම

▪️ නින්ද නොයාම

හිස ආශ්‍රිත රෝග ලක්ෂණ


▪️ කරකැවිල්ල

▪️ පෙනීම අඩු වීම (අපහැදිලි වීම)

▪️ ක්ලාන්තය

▪️ හිසරදය


උෂ්ණත්වයෙහි වෙනස්කම් නිසා දැකිය හැකි රෝග ලක්ෂණ


▪️ අත් සහ පාද සීතල වීම

▪️ වෙව්ලීම

▪️ හිසෙහි උණුසුම් බවක් දැනීම


හෘදය ආශ්‍රිත රෝග ලක්ෂණ


▪️ හෘද ස්පන්දනය වේගවත් වීම

▪️ තිගැස්සීම


උදරය ආශ්‍රිත රෝග ලක්ෂණ


▪️ උදර වේදනාව


මාංශපේශි ආශ්‍රිත රෝග ලක්ෂණ


▪️ මාංශ පේශිවල හිරි වැටීම

(උදා: ඇඟිලි, අත්, මුඛය)

▪️ මාංශ පේශි තද බව

▪️ අත්වල වෙව්ලීම


මෙම රෝග ලක්ෂණ නිතිපතා සිදුවන බව ඔබ නිරීක්ෂණය කළහොත් මේ සඳහා ඉක්මණින් පියවර ගැනීමට පෙළඹීම යෝග්‍ය වේ. කෙසේ වෙතත් සමහර අවස්ථාවලදී Hyperventilation සින්ඩ්‍රෝමය හැර වෙනත් භෞතික හේතූන් නිසා මෙම රෝග ලක්ෂණ ඇති විය හැකි අතර, පරීක්ෂණ මඟින් නිවැරදිව හඳුනාගත හැකි වේ.


වයස අවුරුදු 15-55 අතර අය, විශේෂයෙන් කාන්තාවන් තුළ මෙය බහුලව දක්නට ලැබේ.


Hyperventilation සින්ඩ්‍රෝමය සඳහා හේතු


HVS සඳහා ප්‍රධාන හේතුව වන්නේ ආතතියට ප්‍රතිචාර දැක්වීම මගින් ඇතිවන කාංසාවයි. ආතතියෙන් පෙලෙන අවස්ථාවකදී හුස්ම ගැනීම සඳහා පපුවේ ඉහළ ප්‍රදේශයේ මාංශපේශී බහුලව භාවිතා වේ. මෙම මාංශ පේශි දීර්ග කාලයක් තිස්සේ අධික ලෙස භාවිතා කිරීම නිසා අවසානයේදී හුස්ම ගැනීමේ අපහසුතාවය සහ පපුවේ තද බව දැනිය හැකිය. මෙම රෝග ලක්ෂණ වලට ප්‍රතිචාරයක් ලෙස Hyperventilation රෝගී තත්ත්වය ඇතිවිය හැකිය.


HVS ඇති බොහෝ අය මුහුණ දෙන තවත් ගැටළුවක් නම්, ඔවුන් අත්විඳින රෝග ලක්ෂණ නිසා තවදුරටත් ඔවුන් කසණස්සල්ලට සහ ආතතියට පත්වීමයි. මෙනිසා රෝගී ලක්ෂණ තවත් උත්සන්න වීමෙන් රෝගියාට අසනීපය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති වේ.


HVS ඇති අවස්ථාවකදී ඔබ කුමක් කළ යුතුද?


  • ඔබේ රෝග ලක්ෂණ HVS සඳහාම වන ලක්ෂණදැයි නිවැරදිව හඳුනා ගන්න.


මෙය මරණීය රෝගයක් නොවේ. එනිසා තව තවත් ආතතියට පත්වීම වෙනුවට, ඔබේ රෝග ලක්ෂණ වලට හේතු වන සාධක පාලනය කිරීමට ක්‍රියාමාර්ග ගන්න.


  • සෙමින් හා ගැඹුරින් හුස්ම ගැනීමෙන් ඔබේ ශරීරය ඉහිල් කරගත හැක. එය ඔබේ ප්‍රාචීර මාංශ පේශි ඇතුළුව ඔබේ පපුවේ පේශි පුළුල් කරයි.


සුව පහසු ස්ථානයක වාඩි වී සිටිමින් හෝ වැතිර සිටිමින් නිවැරදි හුස්ම රටාවන් පුහුණු වන්න. දිගු වේලාවක්, අනවශ්‍ය ලෙස, අසීරුවෙන් ගැඹුරු ශ්වසන ව්‍යායාම සිදු නොකරන්න. නිවැරදි ව්‍යායාම රටා පිළිබඳව ඔබට භෞත චිකිත්සකවරයකුගෙන් උපදෙස් ලබා ගත හැකිය.


  • ආතතියට පත්විය හැකි අවස්ථාවන්ට මුහුණ දීමට ඉගෙන ගන්න.


ආතතියට පත් වූ අවස්ථාවලදී ඵලදායි ලෙස හුස්ම ගැනීමේ ශෛලීන් උපයෝගී කරගෙන එම ආතති අවස්ථාව මගහැර ගත හැක.


සෑම විටම රෝගය පිළිබඳ සුබවාදී සිතුවිලි ඇති කරගෙන සතුටින්, සැහැල්ලුවෙන් කාලය ගත කරන්න.


මේ ආකාරයෙන් නිවැරදි පුරුදු පුහුණු කරගතහොත් කාලයත් සමඟ ඔබට රෝග ලක්ෂණවලින් මිදීමට හා නැවතත් සුපුරුදු සුවපහසු දිවියට පැමිණීය හැක.


  • හුස්ම ගැනීමේ රටාව නිවැරදි කිරීම සඳහා ඔබට භෞතචිකිත්සකවරයෙකුගෙන් උපදෙස් ලබා ගත හැක.


ශ්වසන රෝග සඳහා හේතුවන සාධක හඳුනා ගනිමින් ඔබගේ හුස්ම ගැනීමේ රටාව තක්සේරු කරන අතර ඔබට Hyperventilation සින්ඩ්‍රෝමය තිබේනම් ඒ සඳහා අවශ්‍ය වන මනා ප්‍රතිකාර ක්‍රම සඳහා ඔබව යොමු කිරීමට ඔහුට හැකිවේ. ශ්වසන වේගය සහ ගැඹුර පාලනය කිරීම, ප්‍රාචීරීය හුස්ම ගැනීම, ශරීරය ඉහිල් කිරීමේ සහ ශ්වසන ව්‍යායාම පිළිබඳව ඔබට උපදෙස් දෙමින් රෝගී තත්ත්වවලින් මිදී සාමාන්‍ය ශ්වසන රටාව නැවත ස්ථාපිත කිරීමට භෞතචිකිත්සකවරයෙකුට හැකිවේ.


හයිපර්වෙන්ටිලේෂන් සින්ඩ්‍රෝමය සඳහා ක්ෂණික විසඳුමක් නොමැති අතර ශ්වසන ව්‍යායාම මඟින් උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබා දෙන උපදෙස් ඔබ නිතිපතා, නිවැරදිව පිළිපැදිය යුතු වේ.


නිමාෂා සංකලනි


References


https://www.airphysiotherapy.co.uk/2019/03/25/hyperventilation-syndrome-all-you-need-to-know/


https://www.physio.co.uk/what-we-treat/respiratory/symptoms/hyperventilation.php



10 views0 comments
bottom of page