top of page

කොරෝනා සටනේදී පෙනහළු ශක්තිමත් කරන භෞතචිකිත්සාව


2019 දෙසැම්බර් මාසයේදී නව කොරෝනා වයිරසය (SARS-CoV-2) පැතිරී යාම සිදු විය. එය ලෝක ජනගහනය පුරා විවිධ සායනික රෝග ලක්ෂණ ඇති කිරීමට මුල පිරූ අතර “2019 කොරෝනා වෛරස් රෝගය” (“COVID-19”) නම් සින්ඩ්‍රෝමය සඳහා හේතු විය.


උණ, කැස්ස, ශ්වසන මාර්ගික ස්‍රාවයන්ගේ වැඩි වීම, ශ්වසනය අපහසු වීම සහ වෙනත් රෝග ලක්ෂණ COVID-19 රෝගය හේතුවෙන් ඇති විය හැකිය. මෙහි දී දැඩි සත්කාර ඒකකයේ දිගු කලක් හුදකලාව ප්‍රතිකාර ලැබීම හෝ දිගු කාලීන ඇඳ විවේකය හේතුවෙන් රෝගීන්ට මාංශ පේශි දුර්වල වීම, හුස්ම හිරවීම, තෙහෙට්ටුව සහ ව්‍යායාම ධාරිතාව අඩු වීම ඇති වේ.


COVID-19 ප්‍රධාන වශයෙන් ශ්වසන පද්ධතියට හානි කරයි. ඵමනිසා ශ්වසන පුනරුත්ථාපන හා භෞත චිකිත්සක ප්‍රතිකාර මෙහිදී විශාල වැදගත්කමක් උසුලයි.


ශ්වසන භෞත චිකිත්සාවේ ප්‍රධාන පරමාර්ථ වන්නේ,

  • ස්වසනය අපහසු වීම වැනි රෝග ලක්ෂණ අඩු කිරීම

  • පෙනහළු ධාරිතාව වැඩි දියුණු කිරීම

  • ශ්වසන අපහසුතාවයන්ගේ සහ දීර්ඝ කාලීනව එක්තැන්ව සිටීමේ ප්‍රතිඵලයන් ලෙස ඇතිවන සංකූලතා වලට ප්‍රතිකාර  කිරීම

  • රෝගියාගේ මානසික අවපීඩනය (Depression) සමනය කිරීම යන කරුණු වේ.


බෝවීමේ ප්‍රවණතාව අධික ශ්වසන මාර්ගික රෝගයක් නිසාවෙන්, COVID-19 මඟින් රෝගීන් තුළ ශ්වසන, ශාරීරික හා මානසික දුර්වලතා ඇති කළ හැකිය. එබැවින්, COVID-19 වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ට මෙන්ම රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගිය රෝගීන්ට ද පුප්ඵුශීය පුනරුත්ථාපනය ඉතා වැදගත් වේ.



පුප්ඵුශීය පුනරුත්ථාපනය


පුප්ඵුශීය පුනරුත්ථාපනය යනු නිදන්ගත පුප්ඵුශීය රෝග ඇති රෝගීන්ගේ සවිස්තරාත්මක තක්සේරුවකින් පසුව රෝගියාට ආවේණික වන පරිදි සැකසූ ප්‍රතිකාර ක්‍රියවලියකි.


ව්‍යායාම පුහුණුව එහි මූලික හරය වන අතර, පුප්ඵුශීය පුනරුත්ථාපනය මඟින් රෝගියාගේ මානසික තත්ත්වය, පෝෂණය මෙන්ම අධ්‍යන හා චර්යාත්මක වෙනස්කම් සඳහා ද පුළුල් බලපෑම් ඇති කරයි. පුප්ඵුශීය පුනරුත්ථාපනයේ පරමාර්ථය වන්නේ රෝගියාගේ ශාරීරික හා මානසික තත්ත්වය වැඩිදියුණු කිරීම පමණක් නොව, රෝගියා වඩාත් ඉක්මණින් පවුලට හා සමාජයට නැවත එකතුකිරීමට උපකාර කිරීමයි.


මෙම ක්‍රියාවලියේ ප්‍රතිලාභ ලෙස,

  • නිදන්ගත පුප්ඵුශීය රෝග ඇති රෝගීන්ගේ ව්‍යායාම ධාරිතාව වැඩි වීම

  • රෝහල්ගත වන වාර ගණන හා දින ගණන අඩු කිරීම

  • රෝගියාගේ සෞඛ්‍යමය ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම

  • ශ්වසන පද්ධතියේ මාංශ පේශි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම

  • ශ්වසන අපහසුතා සමනය කිරීම

  • මානසික අවපීඩනය (Depression) සමනය කිරීම

  • දෑත් හා දෙපා වල මාංශ පේශි ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සැලකිය හැකිය.


COVID-19 සහිත රෝගීන් සඳහා පුප්ඵුශීය පුනරුත්ථාපනයේ අවශ්‍යතාවය


වෛද්‍ය ප්‍රතිකාර පද්ධතියේ ප්‍රධාන කොටස් තුනකි.

  • වැළැක්වීම

  • ප්‍රතිකාර

  • පුනරුත්ථාපනය.


මෙම ත්‍රිත්වය එක හා සමානව වැදගත් වේ.


COVID-19 හි මූලික සායනික ලක්ෂණ පහත පරිදි වේ.

▪️ උණ

▪️ කැස්ස

▪️ ස්වසනය අපහසු වීම

▪️ මාංශ පේශි වේදනාව


කෙසේ වෙතත්, රෝගයේ දරුණු අවස්ථා Acute Respiratory Distress Syndrome (ARDS) යන තත්ත්වය දක්වා වේගයෙන් වර්ධනය විය හැකිය. මීට අමතරව, සමහර රෝගීන්ට හෘද හා වකුගඩු ආබාධ ඇතිවිය හැකිය. නවතම වාර්තා පෙන්වා දෙන්නේ මුල් සහ පසු අවධිවල රෝගීන්ගේ ප්‍රධාන ව්‍යාධි විපර්යාස වන්නේ පෙනහළු හානි ඇති වීම බවයි. නමුත් සමහර රෝගීන් ගර්ත අභ්‍යන්තරය තන්තුමය ස්‍රාවයන්ගෙන් පිරීම සහ පුප්ඵුශීය පද්ධතිය තන්තුමය පටකය වැඩි වීමෙන් ඇති වන තත්ත්ව වලින් ද පීඩා විඳිය හැකිය. තවද, වෛරසය හෘදය, අක්මාව සහ වකුගඩු වැනි අනෙකුත් අවයව වලටද විවිධාකාරයෙන් බලපායි. මෙම වෙනස්වීම් ශරීරය පුරා Hypoxemia සහ  හෘදය හා පෙණහලු ඇතුළු  ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය දුර්වල කිරීම ට හේතු වේ.


ඊට අමතරව, COVID-19 ලොව පුරා පොදු හදිසි තත්ත්වයක් ඇති කර ඇති හෙයින්, රෝගය උදෙසා ඇතිවන බිය හේතුවෙන් මෙම රෝගීන් කෝපය, බිය, කාංසාව, මානසික අවපීඩනය (Depression), නින්ද නොයාම සහ තනිකම වැනි විවිධ මානසික ආබාධ මෙන්ම සහයෝගීත්වයේ ඌණනතාවයන් සහ බලාපොරොත්තු රහිත බව යන ලක්ෂණ පෙන්නුම් කළ හැකිය. ප්‍රතිකාර වලින් පසු සමාජයට මුදා හරින අවස්ථාවේ පවා රෝගීන් පශ්චාත් කම්පන ආතති සින්ඩ්‍රෝමය (Post traumatic stress syndrome) අත්විඳිය හැකිය. එබැවින්, COVID-19 රෝගීන් සඳහා පුප්ඵුශීය පුනරුත්ථාපන සේවාවන් නිවැරැදිව හඳුන්වාදීම සහ අඛණ්ඩව ලබා දීම ඉතා වැදගත් වේ.


පුප්ඵුශීය පුනරුත්ථාපනයේ ඉලක්ක


කෙටිකාලීන ඉලක්ක


  • ශ්වසනය අපහසු වීම සමනය කිරීම.

  • මානසික අවපීඩන (Depression) සමනය කිරීමයි.


දිගු කාලීන ඉලක්ක


  • රෝගියාගේ ක්‍රියාකාරිත්වය උපරිම ලෙස ආරක්ෂා කර ගැනීම.

  • ඔහුගේ හෝ ඇයගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම.

  • කොරෝනා සුවපත් වීමෙන් පසු නැවත සමාජයට එකතු වීම දිරිමත් කිරීම.


පුනරුත්ථාපන වැඩසටහන ආරම්භ කිරීමට පෙර රෝගියාගේ තත්ත්වය සම්පූර්ණ  ඇගයීමක් සිදු කිරීම අවශ්‍ය වේ.


මෙම ඇගයීම්වල ප්‍රතිඵල රෝගියාගේ ස්වායු ධාරිතාව (Aerobic endurance), මාංශ පේශිම්වල ශක්තිමත් බව (Muscle strength), සමතුලිතතාව (Balance) යන කරුණු සමඟ ඒකාබද්ධ කර රෝගියාට  ආවේණික හා ඵලදායි වන පුනරුත්ථාපන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාවිත කළ හැකිය.


ව්‍යායාම ක්‍රියාවලි අන්තර්ගතය ට වැඩි වශයෙන් ඇතුළත් වන්නේ,


  • ස්වායු ව්‍යායාම (Aerobic exercises)

  • මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම (Strength training)

  • සමතුලිතතා පුහුණුව (Balance training) :- සමතුලිතතාවයේ ගැටලු සහිත රෝගීන්  මේ සඳහා සහභාගී විය යුතුය.

  • හුස්ම හිරවීම, හතිය සහ ශ්වසන මාර්ගික ස්‍රාව පිට කිරීමේ අපහසුතා ඇති රෝගීන් සඳහා ශ්වසන පුහුණුව.

  • ශරීර ඉරියව් කළමනාකරණය, ශ්වසන රිද්මය යාමනය කිරීම, ශ්වසන මාංශ පේශි සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාම සහ ස්වසන මාර්ගික ස්‍රාවයන් පිට කිරීමේ නිවැරදි පුහුණුව සඳහා වන ව්‍යායාම වේ.


References


Yang, L.-L., & Yang, T. (2020). Pulmonary rehabilitation for patients with coronavirus disease 2019 (COVID-19). Chronic Diseases and Translational Medicine, 6(2), 79–86.


Zhu, Y., Wang, Z., Zhou, Y., Onoda, K., Maruyama, H., Hu, C., & Liu, Z. (2020). Summary of respiratory rehabilitation and physical therapy guidelines for patients with COVID-19 based on recommendations of World Confederation for Physical Therapy and National Association of Physical Therapy. Journal of Physical Therapy Science, 32(8), 545–549.



නයනි සුලක්ඛනා


15 views0 comments
bottom of page