top of page
Vimukthi Chandula

ඔබට දැනෙන පපුවේ වේදනාව හෘදයාබාධයක් ද?



හෘදයාබාධ


හෘදයාබාධ Myocardial Infraction ලෙසද හැඳින්වෙන අතර හෘදයේ මාංශ පේශිවලට ප්‍රමාණවත් තරම් රුධිර සැපයුමක් නොලැබීමෙන් මෙය ඇතිවේ. රුධිර සැපයුම යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය වැඩි වීමත් සමඟ හෘද මාංශ පේශිවලට සිඳුවන හානියද වැඩි වේ.


හේතු


හෘදයාබාධ සඳහා බලපාන ප්‍රධානතම හේතුව වන්නේ කිරීටක ධමනි රෝගයයි. මෙහිදී හෘදයට රුධිරය සපයන ප්‍රධාන ධමනි කොලෙස්ටෙරෝල් ඵලක (Plaques) තැන්පත් වීම නිසා අවහිර වේ. හෘදයාබාධ ඇතිවීමට පෙර මෙම කොලෙස්ටරෝල් ඵලක බිඳීයාමෙන් එම ස්ථානයේ රුධිර කැටියක් ඇතිවේ. එසේ ඇතිවන රුධිර කැටිය මඟින් හෘදයට රුධිරය සපයන ධමනි අවහිර වීමෙන් හෘදයාබාධයක් ඇතිවේ.


රෝග ලක්ෂණ


▪️ පපුව ප්‍රදේශයේ ඇතිවන අපහසුතාවය


මිනිත්තු කිහිපයක් පවතින පපුවේ මධ්‍ය ප්‍රදේශයේ වේදනාව ඇතැම්විට මෙම වේදනාව අඩු වී නැවත ඇතිවිය හැක. මෙය පීඩනයක් හෝ තදවීමක් ලෙස දැනේ.


▪️ සිරුරේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන අපහසුතාවය


පපුව ප්‍රදේශයට අමතරව උරහිස්, බෙල්ල, හකු, දත් හෝ ඇතැම්විට ඉහළ උදරයට පැතිරෙන අපහසුතාව හෝ වේදනාව


▪️ කෙටි හුස්ම


මෙය පපුවේ අපහසුතාව සමඟ හෝ නොමැතිව වුවද ඇතිවිය හැක.


▪️ වෙනත් රෝග ලක්ෂණ


දහඩිය දැමීම, ඔක්කාරය, ක්ලාන්තය


Angina තත්ත්වයක් යනු පපුව ප්‍රදේශයේ ඇතිවන වේදනාවක් වන අතර හෘදයේ කොටසකට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොලැබීමෙන් ඇති වේ.


හෘදයාබාධයක් සාමාන්‍යයෙන් මිනිත්තු 15 කට වඩා වැඩි කාලයක් පපුවේ වේදනාව ඇති කරන නමුත් ඇතැම් විට කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව වුවද ඇතිවේ. හෘදයාබාධයක් ඇති වන බොහෝ පුද්ගලයින්ට පැය, දින හෝ සති කිහිපයක සිට ලක්ෂණ පෙන්නුම් කරයි .


අවදානම් සාධක


  • අධික රුධිර පීඩනය

  • අධික රුධිරගත කොලෙස්ටෙරෝල් මට්ටම

  • දුම්පානය

  • ජීවන රටාව

  • වයස

  • රෝගය සහිත පවුල් ඉතිහාසය


වළක්වා ගැනීමේ ක්‍රම


ඔබේ ජීවන රටාව ඔබේ හෘද සෞඛ්‍යයට බලපායි. පහත දැක්වෙන පියවර හෘදයාබාධයක් වළක්වා ගැනීමට පමණක් නොව හෘදයාබාධයකින් පසු යථා තත්ත්වයට පත්වීමට ද ඔබට උපකාර කරයි.


  • දුම් බීමෙන් වළකින්න

ඔබේ හෘද සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා ඔබට කළ හැකි වැදගත්ම දෙය නම් දුම් පානයෙන් වැලකීමයි. එසේම, ද්විතීයිකව දුම් පානය කිරීමෙන්ද වැළකිය යුතුය .


  • ඔබේ රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන්න


මේ එකක් හෝ දෙකම ඉහළ මට්ටමක පවතී නම්, ඔබේ වෛද්‍යවරයාට ඔබේ ආහාර වේලෙහි සහ ඖෂධවල සිදුකල යුතු වෙනස්කම් නිර්දේශ කළ හැකිය. රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කල යුතු වාර ගණන පිළිබඳ වෛද්‍යවරයාගෙන් විමසන්න.


  • නිතිපතා වෛද්‍ය පරීක්ෂණ ලබා ගන්න


අධි රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව හෘදයාබාධ සඳහා ප්‍රධාන අවදානම් සාධක කිහිපයකි. මෙම තත්ත්වයන් මුල් අවධියේදී කිසිදු රෝග ලක්ෂණයක් ඇති නොකරයි. ඔබේ වෛද්‍යවරයාට මෙම තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා පරීක්ෂණ සිදු කළ හැකි අතර අවශ්‍ය නම් ඒවා කළමනාකරණය කිරීමට සහාය වනු ඇත.


  • නිතිපතා ව්‍යායාම කරන්න.


නිතිපතා ව්‍යායාම කිරීම හෘදයාබාධයකින් පසු හෘද පේශි ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර බර, දියවැඩියාව, කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාර කිරීමෙන් හෘදයාබාධය වළක්වා ගැනීමට උපකාරී වේ. ව්‍යායාම දැඩි විය යුතු නැත. දිනකට මිනිත්තු 30 ක්, සතියේ දින පහක් ඇවිදීම මඟින් ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු කළ හැකිය. මේ පිළිබඳ උපදෙස් ඔබේ භෞතචිකිත්සකවරයාගෙන් ලබාගත හැක.


  • නිරෝගී ශරීර ස්කන්ධයක් පවත්වා ගන්න.


අධික බර ඔබේ හදවතේ ක්‍රියාකාරීත්වයට බාධාවක් වන අතර අධික රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම, අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සඳහාද හේතු වේ.


  • සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න.


ඔබේ ආහාරයේ ඇති සංතෘප්ත මේදය, ට්‍රාන්ස් මේද හා කොලෙස්ටරෝල් ඔබේ හදවතේ ධමනි පටු වීමට හේතු වන අතර අධික ලුණු මඟින් රුධිර පීඩනය ඉහළ නැංවයි. මාළු හා බෝංචි වැනි මේද ප්‍රමාණය අඩු ප්‍රෝටීන සහිත ආහාර, පලතුරු හා එළවළු සහ ධාන්‍ය වර්ග අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගන්න.


  • දියවැඩියාව පාලනය කරන්න.


අධික රුධිරගත සීනි මට්ටම ඔබේ හදවතට හානි කරයි. නිතිපතා ව්‍යායාම කිරීම, හොඳින් ආහාර ගැනීම සහ බර අඩු කර ගැනීම යන සියල්ලම රුධිරයේ සීනි මට්ටම වඩාත් යෝග්‍ය මට්ටම්වල තබා ගැනීමට උපකාරී වේ. බොහෝ පුද්ගලයන්ට දියවැඩියාව පාලනය කිරීමට ඖෂධ අවශ්‍ය වේ.


  • ආතතිය පාලනය කරන්න.


ඔබගේ එදිනෙදා කටයුතුවලදී ආතතිය අඩු කරන්න. ඔබේ ජීවිතයේ ආතති සහගත සිදුවීම් අවම කිරීමට හෝ ඒවා සමඟ කටයුතු කිරීමට සෞඛ්‍ය සම්පන්න ක්‍රම සොයා ගන්න.


Sudden Cardiac arrest


Sudden cardiac arrest යනු හෘදයේ ක්‍රියාකාරිත්වය, හුස්ම ගැනීම හදිසියේ අඩාල වීමයි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් සිදුවන්නේ ඔබේ හෘත් කන්තුක පද්ධතියේ ඇති වන ගැටළුවක් නිසා වන අතර එමඟින් ඔබේ හදවතේ පොම්ප කිරීමේ ක්‍රියාවලිය නතර වන අතර ශරීරයට රුධිර ප්‍රවාහය නතර වේ.


Sudden cardiac arrest තත්ත්වයක් සාමාන්‍ය හෘදයාබාධයකට සමාන නොවේ. කෙසේ වෙතත්, හෘදයාබාධයක් සමහර විට Sudden cardiac arrest සඳහා හේතුවක් වේ.



රෝග ලක්ෂණ


Sudden cardiac arrest ඇතිවීමේ රෝග ලක්ෂණ ක්ෂණික හා දරුණු වන අතර ඒවාට ඇතුළත් වන්නේ:


▪️ හදිසියේ හෘද ස්පන්දනය බිඳවැටීම.

▪️ හුස්ම ගැනීම නතර වීම.

▪️ සිහි නැති වීම.


සමහර විට Sudden cardiac arrest ඇතිවීමට පෙර වෙනත් රෝග ලක්ෂණ දක්නට ලැබේ. එනම්,


▪️ පපුව ප්‍රදේශයේ ඇතිවන අපහසුතාව

▪️ කෙටි හුස්ම

▪️ සිරුරේ දුර්වලතාවය

▪️ හෘද ස්පන්දන වේගය වැඩිවීම.


නමුත් Sudden cardiac arrest බොහෝ විට අනතුරු ඇඟවීමකින් තොරව සිදු වේ.


Sudden cardiac arrest සඳහා හේතු


Sudden cardiac arrest ඇතිවීමට හේතුව අසාමාන්‍ය හෘද රිද්මයක් (Arrhythmia) වන අතර එය සිදු වන්නේ ඔබේ හෘදයේ විද්‍යුත් කන්තුක පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකරන විටය.


හෘදයේ විද්‍යුත් කන්තුක පද්ධතිය ඔබේ හෘද ස්පන්දනයේ වේගය හා රිද්මය පාලනය කරයි. මෙහි ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් නිසා හදවතට වේගයෙන්, ඉතා සෙමින් හෝ අක්‍රමවත් ලෙස ස්පන්දනය විය හැකිය (Arrhythmia). බොහෝ විට මෙම තත්ත්වය කෙටි හා හානිකර නොවන නමුත් ඇතැම්විට Sudden cardiac arrest සඳහා හේතු විය හැක.


හෘදයාබාධ ඇතිවීමේදී වඩාත් සුලභව ඇතිවන හෘද රිද්මය වන්නේ ඔබේ හදවතේ පහළ කුටීරයේ (Ventricle) ඇතිවන අක්‍රමවත් හෘද ස්පන්දනයයි. වේගවත්, අක්‍රමවත් විද්‍යුත් ආවේගයන් මඟින් රුධිරය පොම්ප කිරීම වෙනුවට කෝෂිකා නිෂ්ඵල ලෙස කම්පනය වීම සිදු වේ. (Ventricle fibrillation)


Sudden cardiac arrest ඇතිවීමට හේතු විය හැකි හෘද රෝග


හඳුනාගත් හෘද රෝග නොමැති පුද්ගලයින් තුළ ද Sudden cardiac arrest ඇතිවිය හැකිය. කෙසේ වෙතත්, ජීවිතයට තර්ජනයක් වන arrhythmia සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ කලින් පැවති, හඳුනා නොගත් හෘද රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු තුළය. එවැනි රෝග වනුයේ


  • කිරීටක ධමනි රෝග


Sudden cardiac arrest බොහෝවිට ඇතිවන්නේ කිරීටක ධමනි රෝග ඇති පුද්ගලයින්ට වන අතර ධමනි තුළ ඇති කොලෙස්ටරෝල් හා වෙනත් තැන්පත් වන ද්‍රව්‍ය හේතුවෙන් හදවතට රුධිර ප්‍රවාහය අඩු කරයි.


  • හෘදයාබාධ


කිරීටක ධමනි රෝගයේ ප්‍රතිඵලයක් ලෙස හෘදයාබාධයක් ඇති වුවහොත්, බොහෝ විට එය Atrial fibrillation හා Sudden cardiac arrest ඇතිවීමට හේතු වේ. එසේම, හෘදයාබාධයකින් පසු ඔබේ හදවතේ කැළැල් පටක ඉතිරි වී තිබිය හැක. කැළැල් පටක වටා ඇති විද්‍යුත් කෙටි පරිපථ මඟින් ඔබේ හෘද රිද්මයේ අසාමාන්‍යතා ඇති විය හැක.


  • හෘදය විශාල වීම (Cardiomyopathy)


මෙය මූලික වශයෙන් සිදුවන්නේ ඔබේ හදවතේ මාංශ පේශි බිත්ති ඇදීමට ලක් වී විශාල වන විට හෝ ඝණකම් වන විටය. එවිට ඔබේ හදවතේ මාංශ පේශි අසාමාන්‍ය වන අතර එය බොහෝ විට arrhythmia තත්ත්වයට හේතු වේ.


  • Valvular heart disease


හෘද කපාට කාන්දු වීම හෝ පටු වීම හෘද මාංශ පේශි ඇදීමට ලක් වීමට හෝ ඝණවීම සඳහා හේතු වේ. තද හෝ කාන්දු වන කපාටයක් නිසා ඇතිවන ආතතිය හේතුවෙන් හෘත් කුටීර විශාල වන විට හෝ දුර්වල වන විට, Arrhythmia තත්ත්වයක් වර්ධනය වීමේ වැඩි අවදානමක් පවතී.


  • උපතේදී ඇතිවන හෘද දෝෂ (සංජානනීය හෘද රෝග)


සංජානනීය හෘද රෝග, ළමා කාලයේදී හෝ නව යොවුන් වියේදී ඇතිවන Sudden cardiac arrest සඳහා හේතු වේ. සංජානනීය හෘද ආබාධයක් සඳහා නිවැරදි කිරීමේ ශල්‍යකර්මයක් කළ වැඩිහිටියන්ට හදිසියේ හෘදයාබාධ ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.


  • හෘදයේ විද්‍යුත් කන්තුක පද්ධතිය ආශ්‍රිත ගැටළු

ඇතැම් පුද්ගලයින් තුළ, ගැටලුව ඇත්තේ මාංශ පේශි හෝ කපාට සම්බන්ධව නොව හෘදයේ විද්‍යුත් කන්තුක පද්ධතිය තුළම ය. මේවා ප්‍රාථමික හෘද රිද්මයේ අසාමාන්‍යතා ලෙස හැඳින්වෙන අතර Brugada syndrome සහ long QT syndrome ඇතිවීමට හේතුවිය හැකිය.


අවදානම් සාධක


Sudden cardiac arrest ඇතිවීම බොහෝ විට කිරීටක ධමනි රෝග සමඟ සම්බන්ධ වී ඇති හෙයින්, කිරීටක ධමනි රෝග ඇතිකිරීමට හේතු වන සාධක මේ සඳහා හේතුවිය හැක. මේවාට ඇතුළත් වන්නේ:


  • කිරීටක ධමනි රෝග පිළිබඳ පවුල් ඉතිහාසය

  • දුම්පානය

  • අධි රුධිර පීඩනය

  • අධික රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම

  • ස්ථුලතාව

  • දියවැඩියාව

  • අක්‍රිය ජීවන රටාව


Sudden cardiac arrest ඇතිවීමේ අවදානම වැඩි කළ හැකි වෙනත් සාධක අතර:


  • පූර්ව Cardiac arrest තත්ත්වයක් හෝ Cardiac arrest පිළිබඳ පවුල් ඉතිහාසය

  • පූර්ව හෘදයාබාධ

  • හෘද රිද්ම ආබාධ, සංජානනීය හෘද ආබාධ, හෘදයාබාධ හා Cardiomyopathy වැනි වෙනත් ආකාරයේ හෘද රෝග පිළිබඳ පෞද්ගලික හෝ පවුල් ඉතිහාසය

  • වයස්ගත වීම - හදිසියේ හෘදයාබාධ ඇතිවීමේ අවදානම වයසත් සමඟ වැඩි වේ

  • පුරුෂ බව

  • කොකේන් හෝ ඇම්ෆෙටමින් වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිත කිරීම

  • ප්‍රමාණවත් නොවන පොටෑසියම් හෝ මැග්නීසියම් මට්ටම වැනි පෝෂණ අසමතුලිතතාවය

  • Obstructive sleep apnea

  • නිදන්ගත වකුගඩු රෝගය


සංකූලතා


Sudden cardiac arrest ඇති වූ විට, මොළයට රුධිර ප්‍රවාහය අඩු වීම සිහිසුන් වීමට හේතු වේ. හෘද රිද්මය වේගයෙන් යථා තත්ත්වයට පත් නොවන්නේ නම්, මොළයට හානි සිදුවී මරණයට හේතු වේ. Sudden cardiac arrest වලින් පසු යථා තත්ත්වයට පත්වූ පුද්ගලයන් මොළයට හානි සිදු වී ඇති බවක් පෙන්නුම් කල හැක .


වළක්වා ගැනීම


නිරන්තර වෛද්‍ය පරීක්ෂාවන් ලබා ගැනීමෙන්, හෘද රෝග සඳහා පරීක්ෂාවට ලක් කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීමෙන් Sudden cardiac arrest ඇතිවීමේ අවදානම අඩු කරගත හැකිය.



https://www.heart.org/en/health-topics/heart-attack/about-heart-attacks/heart-attack-or-sudden-cardiac-arrest-how-are-they-different

https://www.bhf.org.uk/informationsupport/heart-matters-magazine/medical/heart-attack-and-cardiac-arrest

https://www.heartfoundation.org.nz/your-heart/heart-conditions/cardiac-arrest


ප්‍රසාදිනී දික්වැල්ල

9 views0 comments

Comments


bottom of page