top of page

රිය පැදවීමේදී අසුන් ගන්නේ කෙසේද?

Writer's picture: Wephysio MFCWephysio MFC

රිය පැදවීමේදී වැරදි ඉරියව්වකින් වාඩි වී සිටීම, කොන්ද, බෙල්ල, උරහිස සහ පාදය ආශ්‍රිත අස්ථි සහ මාංශපේශි ගැටලු සඳහා හේතු විය හැකිය. එබැවින් රිය පැදවීමේදී, නිසි ලෙස වාඩි වී සිටීම මෙම ගැටළු වළක්වා ගැනීමට උපකාරී වේ.



නිවැරදි රිය පැදවීමේ ඉරියව්ව


ආසන පිහිටීම


මාර්ගය උපරිම ආකාරයෙන් දර්ශනය වන පරිදි ආසනය ඉහළට ඔසවන්න. නමුත් වාහනයේ වහලයේ සිට ඔබට ප්‍රමාණවත් ඉඩක් තිබිය යුතුය. ඔබේ ඉණ අවම වශයෙන් ඔබේ දණහිස මට්ටම දක්වා වන තෙක් ආසනයේ උස සකස් කරන්න.


ඔබේ දණහිස් තරමක් නැමී පවතින ලෙසට ආසනය ඉදිරියට ගෙන යන්න. එවිට ඔබට ආසනයේ පිටුපසට හේත්තු වී සිටියදීම ඇක්සලරේටරය සහ ක්ලච් පැඩලය පෑගීමට හැකිය.


හිසෙහි ආධාරකය (Head Rest)


ඔබ ඍජුව වාඩි වී ඔබේ හිස පිටුපස සිට අඟලක පමණ පරතරයක් සිටින තෙක් හිසෙහි ආධාරකය ඉදිරියට සකස් කරන්න. නිවැරදිව සකසන ලද හිසෙහි ආධාරකයක් හදිසි අනතුරකදී Whiplash අනතුරු වලින් ඔබව ආරක්ෂා කිරීමට උපකාරී වේ. සෑම පැත්තක්ම බැලිය හැකි අයුරින් ඔබේ හිස ඍජුව තබාගන්න.


කොන්දෙහි ආධාරකය (Back Rest)


ඔබගේ මුළු පිටුපස ප්‍රදේශයටම ආධාරකයක් සපයන ලෙසට කොන්දෙහි ආධාරකයහි ආනතිය සකස් කරගන්න. ආසනයේ ආනතිය වැඩි වීම හිස සහ බෙල්ල ඉදිරියට නැමීමට හේතු වේ. එමගින් බෙල්ලේ වේදනාව ඇති විය හැකිය. ආසනයේ ආනතිය අංශක 100 සිට 110 දක්වා කෝණයකට සකස් කරන්න. මෙම කෝණය ඔබේ පහළ පිටුපස ප්‍රදේශයේ පීඩනය අඩු කරයි. ඔබේ පහළ පිටුපස ප්‍රදේශය සහ ආසනය අතර හිඩැස් නොමැතිවන පරිදි Lumbar ආධාරකය සකසන්න.


අත්


ඔබේ උරහිස් තල පුටුවට තද කර, අත තිරස්ව තබා, අත්ල සහ ඇඟිලි වලින් සුක්කානම අල්ලාගන්න. වැලමිට අංශක 30-40 අතර කෝණයකින් නමා සුක්කානම පහසුවෙන් අල්ලා ගත හැකි වන පරිදි සකසන්න. රිය පැදවීමේදී ඔබේ අත අංශක 120 ක් පමණ නැමිය යුතුය.


ඔබේ සිරුර සහ සුක්කානම අතර අඟල් 10-12 (25- 30cm) පමණ පරතරයක් තබා ගැනීම වඩාත් සුදුසු වේ. එවිට හදිසි අනතුරකදී Airbags නිසියාකාරව ක්‍රියාත්මක වේ

පාද සහ පතුල


ඔබේ දණහිස් අවම වශයෙන් අංශක 20-30 පමණ නැමී තිබිය යුතුය. ඔබේ දණහිස් කෙළින් තබා ගැනීමෙන් දණහිසේ වේදනාව ඇති විය හැක. ඔබේ දණහිස් පිටුපස ආසනයේ පතුලට ස්පර්ශ නොවන ලෙස තබා ගන්න, ඔබේ දණහිස සහ ආසනය අතර අවම වශයෙන් ඇඟිලි දෙකක පරතරයක් තිබිය යුතුය.


පාදවල පතුල මඟින් පැඩල් පෑගිය හැකි වන පරිදි ඔබේ විලුඹ බිම ලිහිල් ව තැබිය යුතුය. දකුණු විලුඹ තිරිංග පැඩලය ඉදිරිපිට තැබීමෙන් පාදයට ඇක්සලරේටරය සහ තිරිංග පැඩලය අතර පහසුවෙන් ගමන් කළ හැකිය. ඔබ ක්ලච් පැඩලය භාවිතා නොකරන විට වම් පාදය Footrest එක මත තැබිය යුතුය.


ආසන පටි


හදිසි අනතුරකින් සිදුවන තුවාල අවම කර ගැනීම සඳහා රිය පැදවීමේදී ඔබ ආසන පටි පැළඳිය යුතුය. ඔබේ ආසන පටිය භාවිත කරන විට, එහි ඉහළ කොටස බෙල්ල හෝ උරහිස හරහා නොව අක්ෂකාස්ථිය හා උරෝස්ථිය හරහා ගමන් කළ යුතු අතර, උකුලේ කොටස උදරය හරහා නොව ශ්‍රෝණිය හරහා යා යුතුය. එවිට හදිසි අනතුරකදී ආසන පටි මඟින් ඔබේ මෘදු පටක වලට, ආමාශයට සහ අභ්‍යන්තර අවයවවලට හානි නොවේ.


රුවිනිකා ගම්ලත්


References


https://www.physiotherapymatters.co.uk/blog/correct-driving-posture/


https://www.physiomed.co.uk/uploads/guide/file/21/Physiomed_Sitting_Guide_-_Driving_Digital.pdf

Comments


bottom of page