top of page

දිගුකාලීන කොවිඩ් (Long COVID) සමඟින් සතුටින් සිටින්නට...

Vimukthi Chandula

වර්තමානයේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් ලෝකයේ දිනපතා මිලියන ගණනක් පීඩාවට පත් වන අතර දහස් ගණනක් මිය යති. මෙහි අවසානය කිසිවෙකු දන්නේ නැත! කෙසේ වෙතත්, දෛනිකව දහස් ගණනක් සුවය ලබන අතර දිනපතා මිලියන ගණනකට එන්නත් ලබා දේ. සතුටින් ජීවත් වීමට මෙයම හේතුවක් නොවේද?


පර්යේෂකයින් වාර්තා කරන ආකාරයට වත්මන් කොවිඩ් 19 වෛරස ආසාදනය මුල් අවස්ථාවේදී බරපතල සෞඛ්‍යය ගැටලු ඇති වීමට අමතරව බොහෝ රෝග තත්ත්වයන්ටද තුඩු දේ. ආසාදනයට ලක් වූවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙහෙස නොබලා කටයුතු කරන නමුත් දිගු කාලීන සංකූලතා කළමනාකරණය කිරීම ඉතා අභියෝගාත්මක ය.





“පසු කොවිඩ් (Long COVID)” යනු කුමක්ද?


මෙම පදය මුලින්ම සමාජ මාධ්‍ය තුළ භාවිතා වූවකි. වෛරසය ආසාදනය වී සති හෝ මාස කිහිපයකට පසුව වුවද ඇතිවිය හැකි විවිධ සෞඛ්‍ය ගැටලු පිළිබඳව විස්තර කිරීමට එය භාවිතා කරන අතර "පශ්චාත් කොවිඩ් සින්ඩ්‍රෝමය" ලෙසද විටෙක හැඳින්වේ.


කාන්තා පාර්ශ්වයට මෙයින් වැඩි බලපෑමක් ඇති අතර වයස්ගත ප්‍රජාව, මූලික කොවිඩ් ආසාදනයේදී රෝග ලක්‍ෂණ පහක් හෝ වැඩි ගණනක් තිබීම පසු කොවිඩ්හි අවදානම් සාධක ලෙස හඳුනාගෙන ඇත.


පසු කොවිඩ් හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය සහ අනෙකුත් ගැටලු


පර්යේෂකයන් වාර්තා කරන ආකාරයට වෙහෙසකාරී බව, ඇඟපත රිදීම, හුස්ම ගැනීමේ අපහසුව, සන්ධි වේදනාව, පපුවේ වේදනාව, කැස්ස, හෘත් ස්පන්දනය වැඩි වීම, හිසරදයට අමතරව, කලින් වැඩි මහන්සියක් නොමැතිව සිදු කළ වැඩ වල යළි නිරත වීමේ අපහසුවත් පසු කොවිඩ්හි ප්‍රධාන සෞඛ්‍ය ගැටළු ලෙස හඳුනාගෙන තිබේ. මෙවැනි අපහසුතාවයන් ආසදනයෙන් මාස ​​තුනකට පසුව වුවත් පැවතිය හැකි බැවින් පීඩාවට පත් වූවන්ගේ රැකියා සඳහා ද තර්ජනයක් එල්ල විය හැක. මෙයට අමතරව දැනට පවතින මානසික රෝගී තත්ත්වයන් උග්‍ර වීම හෝ නරක අතට හැරීම වුවද සිදු විය හැකි බවට වාර්තා වී ඇත.


එසේ නම් ආසාදනයෙන් පසුව අප මෙය සමඟ කටයුතු කළ යුත්තේ කෙසේදැයි සිතා බැලිය යුතු කාලය මෙයයි.


විසඳුමක්?


ඔබට අපහසුතාවන් සහිතව හෝ හුස්ම ගන්නට වරම් ලැබී ඇත.... ඔබේ ආදරණීයයන් ඔබ වටා ඇත... ඔබට තවත් අවශ්‍ය කුමක්ද ... සතුටු වන්න ...!


පසු කොවිඩ් තත්ත්වයෙන් පෙළෙන රෝගීන් කළමනාකරණය කිරීම බහුවිධ ප්‍රවේශයකි. සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රතිකාර හා නිතිපතා ඇගයීම් කටයුතු කරගෙන යන අතරම, සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා භෞත චිකිත්සක, වෘත්තීය චිකිත්සක සහ මානසික ප්‍රතිකාර ඉතා වැදගත් වේ.


මෑත කාලීනව සිදු කරන ලද පර්යේෂ ණ මගින් පෙනහළු සඳහා වන භෞත චිකිත්සක ප්‍රතිකාර සහ හුස්ම ගැනීමේ ව්‍යායාම වල වැදගත්කම අවධාරණය කරයි. ඔබ සිටිනා ස්ථානය කුමක් වුවත්, එනම් නිවසේ සිටියදී හෝ රෝහලේ සිටියදී වුවත් භෞතචිකිත්සක නිලධාරියකුගේ ගේ මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රතිකාරයන් ඔබට ලබා ගත හැකිය.


රෝගය වැළඳීමෙන් පසු ශ්වසන රෝගී තත්ත්වය සම්බන්ධ දිගුකාලීන පුනරුත්ථාපන වැඩසටහනකට යොමු වීමෙන් රෝගීන්හට ඉහත සඳහන් විවිධ සෞඛ්‍ය ගැටලු වල දියුණුවක් ලබා ගැනීමට හැකි අතර, නිසි වෛද්‍ය ප්‍රතිකාර සමඟින් සුදුසු පුනරුත්ථාපන වැඩසටහනක් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.


කොහොමද කරන්නේ?


ඔබට අවශ්‍ය උපදෙස් සඳහා ලඟම ඇති රෝහලක ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි භෞත චිකිත්සක නිලධාරියෙකුගෙන් විමසීමට හෝ රෝහලෙන් පිටව යාමට පෙර ඔබට ප්‍රතිකාර කරන භෞතචිකිත්සක නිලධාරියාගෙන් විමසීමට පසුබට නොවන්න.


අමතක කරන්න එපා ... ඔබට උදව් කිරීමට බොහෝ දෙනෙක් සූදානම් ...



ආචාර්ය කේ.ආර්.එම්. චන්ද්‍රතිලක (BSc in Physiotherapy, PhD)

කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය


(මෑත කාලීන උසස් තත්ත්වයේ පර්යේෂණ වාර්තා පදනම්කොට ලියන ලදි)

5 views0 comments

Comentários


bottom of page