top of page

අස්ථි බිඳීමෙන් පසු පෝෂණය

Writer's picture: Wephysio MFCWephysio MFC

අස්ථියකට ව්‍යුහාත්මකව ඔරොත්තු දිය හැකි ප්‍රමාණයට වඩා වැඩි බලයක් එයට එරෙහිව යෙදුන විට අස්ථියක් බිඳීමට ලක් විය හැකි අතර එය විවිධාකාරයෙන් සිදු විය හැකිය. ශක්තිය හා බලයේ දිශාව, දායක වන විශේෂිත අස්ථිය, පුද්ගලයාගේ වයස සහ සාමාන්‍ය සෞඛ්‍යය මත පදනම්ව සමහර අස්ථි බිඳීම් අනෙක් ඒවාට වඩා දරුණු විය හැකිය.


අස්ථි බිඳීම් වලට වඩාත් නැඹුරු වන ස්ථාන වන්නේ, මැණික් කටුව, වළලුකර සහ උකුලයි. පුද්ගලයාගේ වයස, සෞඛ්‍යය සහ බිඳීමේ ආකාරය මත පදනම් ව බිඳුණු අස්ථි සුව වීමට සති හතරක් හෝ අටක් පමණ ගත වේ.


බිඳුණු අස්ථියක් සුව වීමට අදාල පෝෂණ ඉල්ලුම


සෛල හා පටක ප්‍රගුණනය මෙන්ම විභේදනය වීමේ සංකීර්ණ ක්‍රියාවලියද අස්ථි බිඳුමක් සුව වීම කෙරෙහි සම්බන්ධ වේ. මෙය අදියර තුනකට බෙදිය හැකිය. ඒවා නම්,

  • ප්‍රදාහ අවධිය

  • අළුත්වැඩියා කිරීමේ අවධිය

  • නැවත සකස් කිරීමේ අවධියයි.


අස්ථි බිඳුමක් සුව වීමේ එක් එක් අදියරයන්හීදී වැඩි පෝෂණ ඉල්ලුමක් ඇති වේ.




අස්ථි බිඳුමක් සුව වීම කඩිනම් කිරීම සඳහා ගත හැකි පෝෂණ පියවරයන්


ශරීරයට ප්‍රමාණවත් ශක්තියක් ලබා දීම.


අස්ථි බිඳීම සුව කිරීම සඳහා ඔබ බලාපොරොත්තු වනවාට වඩා වැඩි ශක්තියක් අවශ්‍ය වේ. උදාහරණයක් වශයෙන් දිගු අස්ථිවල කම්පන සහගත අස්ථි බිඳීම් වලදී, පරිවෘත්තීය ඉල්ලුමේ ක්ෂණික වැඩි වීමක් වන අතර එය සාමාන්‍ය ප්‍රමාණයට වඩා තුන් ගුණයක් විශාල කැලරි ඉල්ලුමක් බවට පරිවර්තනය විය හැකිය. සාමාන්‍යයෙන් ක්‍රියාශීලී වැඩිහිටියෙකුට දිනකට කැලරි 2500 ක් අවශ්‍ය විය හැකි අතර, බොහෝ අස්ථි බිඳුම් සහිතව ගිලන් වූ රෝගියෙකුට දිනකට කැලරි 6,000 ක් පමණ අවශ්‍ය වේ. මෙම ඉල්ලුම සපුරාලන්නේ නැතිනම්, සුව වීමේ ක්‍රියාවලිය අඩපණ විය හැකිය.


ඔබගේ ශරීරයට ප්‍රෝටීන් ලබාගන්නා ප්‍රමාණය වැඩි කිරීම.


පරිමාව අනුව, අස්ථි වලින් අඩක් පමණ ප්‍රෝටීන වලින් සමන්විත වේ. අස්ථි බිඳීමක් සිදු වූ විට, නව ව්‍යුහාත්මක අස්ථි පූරකයක් සංස්ලේෂණය කිරීම සඳහා ප්‍රෝටීන් ඒකාවයවික කොටස් එක් රැස් කිරීම ශරීරය තුළ සිදු කරනු ලැබේ. බොහෝ අධ්‍යයනවලින් පෙන්නුම් කරන්නේ අස්ථි බිඳීම් සුව කිරීම වේගවත් කිරීම, ප්‍රෝටීන් ශරීරයට ලබාගන්නා ප්‍රමාණය ග්‍රෑම් 10 ත් 20 ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමත් සමඟ සිදු වන බවයි. අතිරේක ප්‍රෝටීන වල ප්‍රතිලාභ සෑම කෙනෙකුටම වැදගත් වන අතර මන්දපෝෂණය හෝ මූලික ප්‍රෝටීන් අඩු ප්‍රමාණයක් ඇති අයට විශේෂයෙන් වැදගත් වේ. තවද උකුල් ආශ්‍රිත බිඳුම් සහිත වැඩිහිටි රෝගීන්ගේ එම අස්ථි බිඳුම සිදුවීමට අස්ථි බිඳුම් අවස්ථාවේ තිබූ අඩු ප්‍රෝටීන් අන්තර්ගතය හේතු වී ඇති බව පෙනී යයි. අඩු ප්‍රෝටීන් අන්තර්ගතයක් සහිත පුද්ගලයන් සුව වීමට වැඩි කාලයක් ගත වන අතර මරණය ඇතුළු තවත් සංකූලතාද ඇති විය හැකිය.


විශේෂ වැදගත්කමක් ඇති ඇමයිනෝ අම්ල අතර ලයිසීන්(Lysine), ආර්ජිනින්(Arginine), ප්‍රෝලින්(Proline), ග්ලයිසීන්(Glycine), සිස්ටීන්(Cystine) සහ ග්ලූටමින්(Glutamine) ප්‍රමුඛ වේ. කැල්සියම් අවශෝෂණය වැඩි දියුණු කිරීම, අස්ථි පූරකය අවශෝෂණය කරන කැල්සියම් ප්‍රමාණය වැඩි කිරීම සහ පටක පුනර්ජනනය සඳහා, ලයිසීන් උපකාරී වීම උදාහරණයක් ලෙස ගත හැකිය.


ප්‍රති-ප්‍රදාහක පෝෂ්‍ය පදාර්ථ වැඩි කිරීම.


ප්‍රතිඔක්සිකාරක මඟින් ඔක්සිකාරක හානිය පිළිසකර කරයි. අස්ථි බිඳීමක් සිදු වූ විට, හානියට පත් පටක මඟින් නිදහස් ඛණ්ඩක විශාල ප්‍රමාණයක් ජනනය වේ. අස්ථි බිඳීම් සුව කිරීමේදී, නිදහස්-ඛණ්ඩක නිෂ්පාදනය වැඩි කිරීම, ස්වාභාවික ප්‍රති ඔක්සිකාරක ආරක්ෂක යාන්ත්‍රණයන් අභිබවා යා හැකිය. එවැනි අවස්ථාවන්හීදී, විටමින් E සහ C, ලයිකොපීන් (lycopene) සහ ඇල්ෆා-ලිපොයික් අම්ලය (alpha lipoic acid) ඇතුළු ප්‍රතිඔක්සිකාරක සමස්ත ශරීර පද්ධතියෙහි ඔක්සිකාරක නිදහස් ඛණ්ඩක වල විනාශකාරී බලපෑම මැඩපැවැත්වීමටත් සත්ත්ව ආකෘතිවල සහ රෝපිත මිනිස් සෛලවල අස්ථි සුව කිරීම වැඩි දියුණු කිරීමටත් ප්‍රයෝජනවත් යැයි තීරණය වී ඇත.


අස්ථි සුව කිරීමේ ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ප්‍රදාහයයි. වේදනාකාරී වුවද, එය පිරිසිදු කිරීමේ හා නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් අංගයකි. විටමින් C, ජෛව ෆ්ලාවොනොයිඩ්ස් (Bioflavonoids) සහ ෆ්ලේවනෝල් (Flavonols) වන ක්වෙර්සිටින්(Quercitin), ප්‍රොන්ත්‍රොසයිඩින්(proanthrocydins), සහ ඔමේගා-3 මේද අම්ල, ස්වාභාවික ප්‍රදාහක ක්‍රියාවලිය සහ වේගවත් සුවය ලබා දෙයි.


ඔබ ලබා ගන්නා ඛනිජ ප්‍රමාණය වැඩි කිරීම.


බර අනුව, අස්ථි දළ වශයෙන් 70% ක් ඛනිජ (කැල්සියම්, පොස්පරස්, මැග්නීසියම්, සිලිකන්, සින්ක්, ආදිය) වන අතර අස්ථි බිඳීම සුව කිරීම සඳහා ඛනිජ අවශ්‍ය වේ.

අස්ථි බිඳීම සුව කිරීම සඳහා භාවිත කරන නිශ්චිත ඛනිජ වර්ග පහත දැක්වේ.


  • සින්ක් (Zn) -

සමහර එන්සයිම වල ක්‍රියාකාරිත්වය සඳහා සින්ක් අවශ්‍ය වේ. මෙම කාර්යයන් බොහොමයක් සෛල ප්‍රගුණනයට සම්බන්ධ වේ. සින්ක් අතිරේකය ගොරෝසු සම සෑදීමට උපකාරී වේ. අස්ථි ප්‍රෝටීන් නිෂ්පාදනය වැඩි කරයි. එමඟින් අස්ථි සුව කිරීම උත්තේජනය කරයි.


  • තඹ (Cu) -

අස්ථි කොලැජන් සෑදීම සඳහා තඹ(Cu) උපකාරී වන අතර එය සුව කිරීමේ ක්‍රියාවලියටද වැදගත් වේ. අස්ථි හානි වී ඇති ප්‍රමාණය අනුව තඹ (Cu) සහ සින්ක් (Zn) යන දෙකටම ශරීරයේ ඉල්ලුම ඉහළ යයි.


  • කැල්සියම් (Ca) සහ පොස්පරස් (P) -

අස්ථිවල ඇති ප්‍රධාන ඛනිජ කැල්සියම් සහ පොස්පරස් වන අතර කැල්සියම්, හයිඩ්‍රොක්සිඇපටයිට් ස්ඵටික ස්වරූපයෙන් පවතී. මෙම හයිඩ්‍රොක්සිඇපටයිට් සංයෝගය අස්ථිවල ප්‍රත්‍යාස්ථ බලය සහ ආතන්‍ය ශක්තිය යාමනය කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. අස්ථි පටක තැනීම හා නැවත ගොඩනැඟීම සඳහා ආහාර හා අස්ථි සංචිත වලින් සැපයිය හැකි කැල්සියම් සහ පොස්පරස් යන දෙවර්ගයේම ප්‍රමාණවත් සැපයුම් අවශ්‍ය වේ. අස්ථි බිඳීම් සාමාන්‍යයෙන් ආහාරමය කැල්සියම් වලින් ස්වාධීනව සුව කළ හැකි බව මුල් කාලීන පර්යේෂණ වලින් හෙළි වූ අතර ඇත්ත වශයෙන්ම සුව වූ පළමු සති කිහිපය තුළදී අස්ථි බිඳීම සුවවීම සඳහා අස්ථි මගින් කැල්සියම් ලබා ගන්නා බව සොයාගෙන ඇත. ඊට පසු, අස්ථි බිඳීම අළුත්වැඩියා කිරීම සඳහා අවශ්‍ය කැල්සියම් ආහාර වේලට ලබා දේ.


  • සිලිකන්(Si) -

අස්ථි කොලැජන් සංස්ලේෂණය සඳහා ජෛව සක්‍රීය සිලිකන් (සිලිකා) වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව බොහෝ කලක් තිස්සේ දැනගෙන තිබූ දෙයකි. නව අස්ථි සෑදීමට කැල්සියම් සහ විටමින් D3 වල බලපෑම වැඩි දියුණු කිරීම සඳහා 2005 දී කරන ලද මානව අධ්‍යයනයකින් ජෛව සක්‍රීය සිලිකන් සොයා ගන්නා ලදී.


විටමින් ප්‍රමාණය වැඩි දියුණු කිරීම.


ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ අස්ථි පූරකය සෑදීමේදී වැදගත් වන අතර විටමින් බොහෝ ජෛව රසායනික ප්‍රතික්‍රියා සඳහා උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන නිසා ඒ හා සමානව වැදගත් වේ. අස්ථි සුව කිරීමේදී, විටමින් C, D සහ K, ශක්තිය නිපදවන විටමින් B ඇතුළු විටමින් වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර ඒවා සියල්ලම චිකිත්සක මාත්‍රාවෙන් ගත යුතුය.


බහු පෝෂක චිකිත්සාව හොඳම ප්‍රවේශයයි


2006 වර්ෂයේදී, උකුල් අස්ථි බිඳීම පිළිබඳ ස්වීඩනයේදී සිදුකළ අධ්‍යයනයකින් හෙළි වූයේ අස්ථි බිඳීම් රෝගීන්ට ලබා දෙන සංකීර්ණ බහු පෝෂක අතිරේකයෙහි ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට්, ඇමයිනෝ අම්ල, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, ක්ලෝරයිඩ්, ආදී පරිපූරක සංඝටක වල සංකූලතා ඇත්තේ 15% ක් පමණ වුවද, පරිපූරක නොවන කණ්ඩායමෙහි ඊට සාපේක්ෂව 70% සංකූලතා පවතින බව පෙනීයයි.


ශරීරයට භාශ්මික ආහාර ගැනීම අස්ථි අලුත්වැඩියාව උත්තේජනය කරයි.


ඇල්කයිල් ෆෝ ලයිෆ් (Alkaline for Life) ආහාර ගැනීමේ වැඩසටහන මඟින් එළවළු, පලතුරු, ඇට වර්ග සහ බීජ වලින් ලබාගත් ඛනිජ, විටමින් සහ ශාකපෝෂක බහුල ආහාර වේලක් සපයයි. ජීවිතයට අනුබල දෙන මෙම ආහාර රටාව, අනෙක් ඒවා අතර සෞඛ්‍යය ප්‍රවර්ධනය කරන අභ්‍යන්තර ජෛව රසායනික පරිසරයක් නිර්මාණය කරන අතර අස්ථි ගොඩනැගීමේ ඛනිජ හා ප්‍රෝටීන සංරක්ෂණය කරයි. වර්ධක හෝමෝන, ඉන්සියුලින් හා සමාන IGF වැනි වර්ධක සාධක වැඩි කරන බව එවැනි පදනම් සකසන ආහාර ගැනීමේ වැඩසටහනක් මඟින් පෙන්වා දී ඇත. මෙම වර්ධක හෝමෝන අස්ථි අළුත්වැඩියා කිරීම සහ නව අස්ථි සෑදීමට අනුබල දෙන වඩාත් වැදගත් ජෛව රසායනික බලවේග අතර වේ.


දණහිස ආදේශ කිරීම වැනි විකලාංග ශල්‍යකර්මයකින් පසු හෝ අස්ථි බිඳීමකින් පසු ඔබ සෞඛ්‍ය සම්පන්න සුවය ලබා ගැනීමට බලා සිටින්නේ නම්, නිසි විවේක‍යක් ලබාගැනීම හා සිදුවූ තුවාල වලට නැවත හානි වීමට ඉඩ නොදී නිසි ලෙස බලාගැනීමත් සමඟම ඔබ හොඳ පෝෂණයක්ද ලබාගත යුතුය. විකලාංග ශල්‍යකර්මයක් මඟින් ශරීරය මත දැඩි ආතතියක් ඇති කළ හැකි අතර එමඟින් අස්ථි අළුත්වැඩියා වීමේදී ශරීරයේ පරිවෘත්තීය ඉහළ නංවයි. නිසි ලෙස පටක වර්ධනය, අළුත්වැඩියා කිරීම සහ ඉක්මන් සුවය ලබා ගැනීම සඳහා සමබර හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම අත්‍යවශ්‍ය වේ.


පහත සඳහන් කර ඇත්තේ පශ්චාත් ශල්‍යකර්ම කාලය තුළ අස්ථි වල මනා ගොඩනැගීමට දායක වන සහ සෞඛ්‍ය සම්පන්න සුවය ලබා ගැනීමට උපකාරී වන පෝෂ්‍ය පදාර්ථ වේ.


ප්‍රෝටීන්


ප්‍රෝටීන් අපගේ අස්ථි පරිමාවෙන් 55% ක් අඩංගු වන අතර එම නිසා අස්ථි සුව කිරීමේ ආහාර වේලේ ප්‍රධාන අංගයක් බවට පත්වේ.  විකලාංග ශල්‍යකර්මයකින් පසුව මෙම වැදගත් පෝෂ්‍ය පදාර්ථය ආහාරයට එක් කිරීමෙන් අස්ථි බිඳීම අවම කර ගැනීමටත්, පශ්චාත් ශල්‍ය ආසාදන ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීමටත්, අස්ථි ස්කන්ධය වැඩි කරගැනීමටත් හැකි වේ.


ප්‍රෝටීන වල නිර්මාංශ ප්‍රභවයන්


  • සෝයා බෝංචි සහ සෝයා නිෂ්පාදන

  • ක්විනෝවා(quinoa)

  • චියා බීජ

  • නිවිති

  • බෝංචි

  • ආර්ටිකෝක්ස් (artichokes)

  • ඇට වර්ග

  • පරිප්පු


ප්‍රෝටීන් වල නිර්මාංශ නොවන ප්‍රභවයන්


  • මස්

  • කුකුළු මස්

  • මුහුදු ආහාර

  • බිත්තර


සුව වීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා ශරීර බර කිලෝග්‍රෑමයකට ප්‍රෝටීන් ග්‍රෑම් 1 සිට 1.2 දක්වා නිර්දේශ කෙරේ.


කැල්සියම්


කැල්සියම් අස්ථි සෑදීම සඳහා ප්‍රෝටීන් සමඟ සහයෝගීව ක්‍රියා කරන අතර එබැවින් පශ්චාත් ශල්‍යකර්මයකදී එය අත්‍යවශ්‍ය ඛනිජයකි.  කැල්සියම් සඳහා හොඳම ප්‍රභවයන් වන්නේ,

  • අඩු මේද හා මේද රහිත කිරි

  • යෝගට් සහ චීස් වැනි කිරි නිෂ්පාදනය

  • බීජ, ටෝෆු හෝ සහල් කිරි වැනි ශක්තිවර්ධිත ආහාර

  • බ්රොකොලි, නිවිති සහ කැලේ වැනි තද කොළ එළවළු

ආදියවේ.


අධ්‍යයනවලින් පෙනී යන්නේ දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 600-1,000 අතර ප්‍රමාණයක් ලබා ගැනීම අස්ථි වල සෞඛ්‍යයට වැදගත් බවයි.


විටමින් D


අස්ථි සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා විටමින් D කැල්සියම් සමඟ ක්‍රියා කරන අතර එය අපගේ ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට සහ උපයෝගී කර ගැනීමට උපකාරී වේ. විටමින් D හි හොඳම ප්‍රභවය සූර්යයා වන නමුත් අපගේ ශරීරයට විටමින් D සෑදීමේ හැකියාව රඳා පවතින්නේ අවුරුද්දේ කාලය, දවසේ වේලාව සහ අප ජීවත් වන ස්ථානය මත ය.


  • මේද මාළු

  • සැමන්

  • ටූනා

  • බිත්තර

  • චීස්

  • ශක්තිවර්ධිත කිරි

වැනි ආහාර ප්‍රභවයන්ගෙන් විටමින් D කුඩා ප්‍රමාණයක් ලබා ගත හැකිය.


විටමින් C


විටමින් C කොලැජන් සංස්ලේෂණයට උපකාරී වන අතර එය කණ්ඩරාවන්, අස්ථි කොටස් අළුත්වැඩියා කිරීම සහ වෙනත් ශල්‍ය තුවාල සුව කිරීම සඳහා අවශ්‍ය වේ. මෙම වැදගත් පෝෂ්‍ය පදාර්ථයේ ප්‍රමාණවත් ප්‍රමාණයක් ආහාරයට එකතු කිරීම පශ්චාත් ශල්‍යකර්ම කාලය තුළ අස්ථි වල වේගවත් සුව වීමට හේතු වේ.


  • තැඹිලි

  • ස්ට්‍රෝබෙරි

  • කිවි

  • ලෙමන් වැනි පැඟිරි පලතුරු

  • බ්රොකොලි

  • බෙල් පෙපර්

  • බ්රසල්ස් පැළ වැනි එළවළු

විටමින් C සඳහා හොඳ ප්‍රභවයකි.


පශ්චාත් ශල්‍යකර්ම කාලය තුළ නිර්දේශිත විටමින් C ප්‍රමාණය වනුයේ දිනකට මිලිග්‍රෑම් 500 කි. වඩා හොඳ සුවයක් සඳහා ශරීරයට මෙම විටමින් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වේ.


සින්ක්


විටමින් C සහ ප්‍රෝටීන සමඟ එක්ව, විකලාංග ශල්‍යකර්මයකින් පසු අස්ථි සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත් කිරීමට සින්ක් වලට හැකිය. එහි ඌනතාවය අස්ථි සෞඛ්‍යය සමඟ සම්බන්ධ වේ.

කොලජන් සංස්ලේෂණයේදී එය වැදගත් කාර්යයක් ඉටුකරන නිසා තුවාලය සුව කිරීමට, බිඳුණු අස්ථි හාකිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැළැක්වීමට සින්ක් වලට හැකි බව පෙන්වා දී ඇත. මෙම ඛනිජය බොහෝ විට, සත්ත්ව ආහාර වලින් ලබාගත හැකිය.

  • බෙල්ලන්

  • මස්

  • අඳුරු කුකුල් මස් ආදිය ප්‍රෝටීන වල හොඳම මාංශමය ප්‍රභවයන් ලෙස සැලකේ.


අනෙක් අතට,

  • ශක්ති වර්ධිත ධාන්‍ය වර්ග

  • කිරි

  • බෝංචි

ආදිය ද සින්ක් මධ්‍යස්ථ ප්‍රමාණයක් සපයයි.


ඔමේගා 3


ඔමේගා 3 මේද අම්ල, ප්‍රති-ප්‍රදාහක ගුණය සහ අස්ථි සෑදීමේ කාර්යභාරය සඳහා ප්‍රසිද්ධය. මේද අම්ල වල අඩංගු DHA සහ EPA අස්ථි සෑදීම සහ අස්ථි බිඳීම වැළැක්වීමට උපකාරී වේ. 


  • සැමන්

  • ටූනා

ඔමේගා 3 හි හොඳ ප්‍රභවයන් වේ.


අනෙකුත් නිර්මාංශ ප්‍රභවයන් වන්නේ,

  • ටෝෆු

  • වෝල්නට් (walnuts)

  • කැනෝලා

  • හණ ඇට

ආදිය වේ.


තන්තු


ශල්‍යකර්මයෙන් පසුව නියම කරනු ලබන වේදනා නාශක ඖෂධ, මළබද්ධය වැනි ආහාර ජීර්ණ ගැටළු වලට හේතු විය හැක. තන්තු බහුල ආහාර ගැනීමත් සමඟ ජලය ඕනෑ තරම් පානය කිරීම නිසා මළබද්ධය තත්ත්වය අඩුකර ගැනීමට උපකාරී වන විරේචක බලපෑමක් ඇති වේ. පලතුරු සහ යුෂ වර්ග මේ සදහා වඩා ඵලදායී යැයි සැලකේ.


අස්ථි වල මනා වර්ධනය හා සම්බන්ධ ඉහත සඳහන් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ඔබේ ආහාර වේලට එක් කරගැනීමෙන් සැත්කමකින් පසු ඉක්මන් සුවය ලබා ගත හැකිය. නමුත් ආහාරයේ තිබිය යුතු සෑම පෝෂ්‍ය පදාර්ථයකම සුදුසු අනුපාතය පිළිබඳව ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න.

මල්ෂා සෙව්වන්දි


References


https://www.orthogate.org/articles/education/7-foods-to-eat-after-having-an-orthopedic-surgery


https://www.betterbones.com/fractures-and-healing/speed-up-fracture-healing/amp/


https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/bone-fractures


Comments


bottom of page