top of page

අස්ථි බිඳීමකින් පසු භෞත චිකිත්සාවේ වැදගත්කම

Writer's picture: Wephysio MFCWephysio MFC

අස්ථි බිඳීම් සුව කිරීමේ මූලධර්මය


අස්ථි බිඳීම් සුව කිරීමේ මූලික කරුණු රඳා පවතින්නේ නිවැරදි ලෙස අස්ථි කොටස් පෙළගැස්වීම සහ බිඳුණු අස්ථි කොටස් නිශ්චලව තබා ගැනීම මතය. බිඳුණු අස්ථි කොටස් විස්ථාපනය වූ ප්‍රමාණය, නිවැරදි ලෙස අස්ථි පෙළගැස්වීමේ ඇති වැදගත්කම (උදා. දබර ඇඟිල්ලට එදිරිව පර්ශුව), සහ රෝගියා මත, පෙළගැස්වීම අවශ්‍ය වීම හෝ නොවීම රඳා පවතී.


පිහිටීම, අස්ථි බිඳීමේ රූප විද්‍යාව සහ සවි කිරීමේ උපකරණය අනුව නිශ්චලතාව විවිධ ආකාරවලින් ලබා ගත හැකිය. අස්ථි බිඳීම අඩු කිරීමේ ක්‍රම 2 ක් ඇත.


  • විවෘත අඩු කිරීම (Open Reduction)


කැඩුණු අස්ථි නිවැරදි ස්ථානයේ තබා ගැනීම සඳහා වානේ ඉස්කුරුප්පු, තහඩු (Plate), අල්පෙනති (Pins) හෝ කේ-වයර් භාවිතා කරමින් අභ්‍යන්තර සවි කිරීම් (Internal Fixation) සිදු කරයි.


අවයවයෙන් පිටත ලෝහ රාමුවක් සම්බන්ධ කරන බාහිර සවි කිරීමේදී (External fixation) ලිසරෝ ක්‍රමය (Lizaro method) සහ එක්ස් රාමුවක් (X-Frame) ඇතුළත් වේ.


  • සංවෘත අඩු කිරීම (Close reduction)


ශල්‍ය නොවන ප්‍රතිකාර වේ. අතින් සිදු කරන සංවෘත අඩු කිරීමක් වන මෙය නිර්වින්දනය යටතේ සිදු කරයි.

බිඳුණු අස්ථි කොටස Traction මඟින් නිවැරදි ස්ථානයට ඇදීම සිදු කරයි.

අස්ථිය සුව වන බැවින් එය නිශ්චල කර නිවැරදි ස්ථානයේ තබා ගත යුතුය. සුදුසු සවි කිරීමේ උපකරණය භාවිතයෙන් නිශ්චල කිරීම සිදු කළ යුතුය.


සවි කිරීමේ උපකරණ


  • ආතතිය බෙදාගැනීමේ උපකරණ


මෙම උපකරණ මඟින් අස්ථි බිඳුණු ස්ථාන දෙක අතර ක්ෂුද්‍ර චලිතය සහ බර පැටවීම අර්ධ වශයෙන් සම්ප්‍රේෂණය කිරීමට ඉඩ සලසයි, එබැවින් කැලස් (Callus) සෑදීම මඟින් ද්විතියික අස්ථි සුව කිරීම ප්‍රවර්ධනය කරයි, එය සාපේක්ෂව වේගවත් අස්ථි සුව කිරීමකි.


උදා :- මධ්‍ය කුහර ඇණ(Intramedullary Nail), ආධාරක (Cast)


  • ආතති ආවරණ උපකරණ


අස්ථි බිඳීමේ ස්ථානයේ ඇති ආතතිය, ආවරණ උපකරණය හරහා සම්ප්‍රේෂණය වේ. අස්ථි බිඳීමේ ස්ථානයේ චලනයක් නොමැති බැවින් කැලස් (Callus) සෑදීමකින් තොරව ප්‍රාථමික අස්ථි සුව කිරීම ප්‍රවර්ධනය කරයි. එය කැලස් (Callus ) සෑදීමෙන් සුවවීමට වඩා මන්දගාමී සුව කිරීමේ ක්‍රමයකි.


උදා :- සම්පීඩන තහඩුව(compression plate).



භෞත චිකිත්සාවේ වැදගත්කම


බොහෝ අස්ථි බිඳීම් එනම්, කැඩුණු අස්ථි සාමාන්‍යයෙන් සති හයකින් පමණ සුව වේ. නමුත් එය ගැටලුවෙන් අඩක් පමණි. අවාසනාවකට, අස්ථියක් බිඳීම ට හේතුවක් ලෙස ඔබේ ශරීරය හරහා ප්‍රමාණවත් ආතතියක් ඇති විට, සාමාන්‍යයෙන් වෙනත් මෘදු පටක හා ව්‍යුහයන් විශාල ප්‍රමාණයක් හානි වීමට විශාල ප්‍රවණතාවයක් ඇත. මෙහිදී භාවිත වන ප්ලාස්ටර් වල නිශ්චලතාවය නිසා සන්ධිවල තද බවක් සහ සැලකිය යුතු මාංශ පේශි දුර්වලතාවයක් ඇතිවිය හැකිය.

මෙය බිඳීමට ලක් නොවූ සන්ධි වලට පවා බලපෑම් කළ හැකිය. නිදසුනක් වශයෙන්, සති කිහිපයක් ස්ලිං (Sling) මඟින් උරහිස රඳවා තැබීම නිසා උරහිසෙහි අස්ථි බිඳීමක් වුවද, වැලමිට හෝ මැණික් කටුවෙහි තද ගතියක් ඇති විය හැකිය.


අස්ථි බිඳීමකින් පසු භෞත චිකිත්සාව ආරම්භ කිරීම


අස්ථි පෙලගැසුණු පසු සුව කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා භෞත චිකිත්සාව අත්‍යවශ්‍ය වේ. භෞත චිකිත්සක හැසිරවීම, විද්‍යුත් චිකිත්සාව, ව්‍යායාම මඟින් අස්ථි හා අවට පටක ශක්තිමත් කරයි. මෙම ක්‍රියාවලිය රෝගියා සුවවීම වේගවත් කිරීම, වේදනාව සහ ඉදිමීම අඩු කිරීම සහ චලනයේ පරාසය වැඩි දියුණු කිරීම සඳහා උපකාරී වේ.


මතක තබා ගන්න.....


  • මුල් අවධියේදීම ප්‍රතිකාර ලබාගන්න.

  • භෞත චිකිත්සක නිලධාරීන් විසින් නිවසේ සිට කරන ව්‍යායාම පිළිබඳව ඔබව දැනුවත් කරන බවට සහතික වන්න.


ප්‍රකෘතිමත් වීමේ කාල පරිච්ඡේදයේ (Recovery Period) විවිධ අවස්ථා වලදී භෞත චිකිත්සක නිලධාරීන් ඔබ සමග සම්බන්ධ වේ.


අස්ථි බිඳීමේ කළමනාකරණයේ භෞත චිකිත්සාවේ කාර්යභාරය


භෞත චිකිත්සක නිලධාරීන් විසින් අස්ථි බිඳීමෙන් පසු චලනය අහිමි වීමට හේතු හඳුනාගෙන ඒවා සමනය කරයි.


අස්ථි බිඳීම් සුවවන කාලය තුලදී භෞත චිකිත්සාවේ අරමුණු.


  • සුව වීම වේගවත් කරමින් එය ප්රවර්ධනය කිරීම.

  • බර දරා ගැනීම සඳහා දිරිමත් කිරීම.

  • දුර්වල වූ මාංශ පේශිවල ශක්තිය පවත්වා ගැනීම.

  • බලපෑමට ලක් වූ සහ අවට සන්ධිවල චලනයේ පරාසය පවත්වා ගැනීම.

  • වේදනාව අඩු කිරීම.

  • ඉදිමීම අඩු කිරීම.


ඔබේ අස්ථි බිඳීම සුව වූ පසු සහ/හෝ ඔබේ ආධාරක (Cast) ඉවත් කිරීමෙන් පසු භෞත චිකිත්සාවේ අරමුණු.


මාස 3-12 ක් හෝ ඔබේ සම්පූර්ණ ක්‍රියාකාරිත්වය නැවත ලබා ගන්නා තෙක් භෞතචිකිත්සක ප්‍රතිකාර අඛණ්ඩව සිදු කල යුතුය.


  • ක්‍රමයෙන් බර දරා ගැනීමේ හැකියාව වැඩිකිරීම.

  • පෙර පැවති සම්පුර්ණ ක්‍රියාකාරීත්වය ලබාගැනීමට සහාය වීම.

  • පෙර පැවති මාංශ පේශි/සන්ධි ශක්තිය සහ සම්පූර්ණ පරාසය නැවත ලබා ගැනීමට සහාය වීම.

  • ක්‍රීඩා විශේෂිත පුනරුත්ථාපනය කෙරෙහි අවධානය යොමුකිරීම.

  • බලපෑමට ලක් වූ සන්ධියෙහි චලනයේ පරාසය ප්‍රශස්ත කිරීම මඟින් එය නැවත බිඳීම් වළක්වා ගැනීම.


භෞත චිකිත්සාව මඟින් ඔබට සම්පූර්ණ ක්‍රියාකාරිත්වයට ඉක්මනින් ළගා වීමටත්, වඩාත් ධනාත්මක පුනරුත්ථාපන ප්‍රතිඵල ලබා ගැනීමටත් උපකාරී වේ.


අස්ථි බිඳීමකින් පසු භෞත චිකිත්සක ප්‍රතිකාර නොගැනීමේ අවාසි


භෞත චිකිත්සාව යනු අස්ථි බිඳීමකින් පසු පුනරුත්ථාපනය කිරීමේ වැදගත්ම පියවරකි. අස්ථි බිඳීම හොඳින් සුව වී තිබුණද, භෞතචිකිත්සක ප්‍රතිකාර ලබා නොගැනීම නිසා ඔබගේ අත් පා දුර්වලතාවයන් හා සන්ධි ආශ්‍රිත වේදනාවන් ආදී ගැටළු රාශියක් ඇති විය හැකිය.


ඔබේ අස්ථි බිඳීම් සුවවීමේ අවධිය තුළ කළ යුතු සහ නොකළ යුතු දේ


කළ යුතු දේ,


ඔබේ කැඩුණු අස්ථිය ඔබේ පපුවේ මට්ටමට ඉහළින් ඔසවන්න. මෙය ඉදිමීම අඩු කිරීමට උපකාරී වේ.


  • අස්ථි බිඳීමෙන් පසු පළමු සති කිහිපය තුලදී ඒ පිළිබඳව සැහැල්ලුවෙන් සිටින්න.

  • ඔබේ භෞතචිකිත්සක නිලධාරීයාගේ උපදෙස් අනුව ව්‍යායාම කරන්න.

  • ගන්ධය කෙරෙහි අවධානය යොමු කරන්න, ඔබේ ආධාරක (Cast) අපිරිසිදු සුවඳක් ලබා දෙන්නේ නම් වහාම ඔබේ වෛද්‍යවරයා හමුවන්න. (එය ආසාදනයක ලකුණක් විය හැකිය)

  • ඔබේ ආධාරක (Cast) පිරිසිදුව තබා ගන්න.


නොකළ යුතු දේ,


  • උණ නොසලකා නොහරින්න. එය වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන සැඟවුණු රෝගී තත්ත්වයක් විය හැකිය.

  • ඔබ අපහසුව වේදනාව, හිරි වැටීම, යනාදි ලක්ෂණ අත්විඳින්නේ නම් එය නොසලකා නොහරින්න. (මේවා සුවවීමේ සාමාන්‍ය ලක්ෂණ නොවේ)

  • ඔබේ ආධාරක (Cast) තෙත් නොකරන්න. (ආධාරක සෑදීම සඳහා භාවිතා කරන ද්‍රව්‍යවල ඵලදායීතාවය ජලය මගින් අඩපණ කරයි)

  • ආධාරක (Cast) යොදා ඇති ප්‍රදේශයට දියර, කුඩු හෝ ඩියෝඩ්‍රන්ට් නොයොදන්න. (ඒවා බැක්ටීරියා වර්ධනයට හේතු විය හැක)

  • ඔබේ බිඳුණු අස්ථියට පීඩනය එල්ල කිරීමෙන් වළකින්න.

  • වෛද්යවරයාගේ උපදෙස් නොමැතිව ආධාරක (Cast) ඉවත් නොකරන්න. (මෙය අස්ථි බිඳීම සුව කිරීමට බාධාවක් විය හැකිය)

සෆ්නා හුසෙයින්

සාරුක් හෆ්නා


References


https://www.physio.co.uk/treatments/physiotherapy/fracture-treatment.php


Comments


bottom of page