top of page

ඔස්ටියෝපොරෝසිස් වලින් ඔබේ අස්ථි රැක ගන්න

Writer's picture: Wephysio MFCWephysio MFC

ඔස්ටියෝපොරෝසිස් යනු ඔබගේ අස්ථි වල ඛනිජ ඝනත්වය හා අස්ථි වල ස්කන්ධය අඩු වීම නිසා හෝ අස්ථි ව්‍යූහය හෝ ගුණාත්මක භාවය වෙනස් වීම නිසා අස්ථිවල ඇතිවන රෝගී තත්වයකි. මෙය අස්ථි වල ශක්තිය අඩු වීමට හේතු වන අතර එමගින් අස්ථි බිඳී යාමේ ප්‍රවණතාවය වැඩි කරයි.


මෙහිදී අස්ථි ව්‍යුහයට කුමක් සිදුවේද?


ඔස්ටියෝපොරෝසිස් යනු “සිදුරු සහිත අස්ථිය” යන්නයි. අන්වීක්ෂයකින් බැලූ විට නිරෝගී අස්ථියක් මී වදයක් මෙන් පෙනේ. ඔස්ටියෝපොරෝසිස් ඇති වූ විට, මී වදයේ සිදුරු හා අවකාශය නිරෝගී අස්ථිවලට වඩා විශාල වේ. ඔස්ටියෝපොරෝටික් අස්ථිවල, ඝනත්වය හෝ ස්කන්ධය අඩු වී ඇති අතර අසාමාන්‍ය පටක ව්‍යුහයක් සහිතය.


ඔස්ටියෝපොරෝසිස් බරපතල වන්නේ ඇයි?


අස්ථි බිඳීම ඔස්ටියෝපොරෝසිස් රෝගයේ බරපතල සංකූලතාවක් වන අතර විශේෂයෙන් වැඩිහිටි රෝගීන්ගේ ඔස්ටියෝපොරෝටික් අස්ථි බිඳීම් බොහෝ විට සිදුවිය හැක. උකුල, කොඳු ඇට පෙළ, මැණික් කටුව ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් මෙම අස්ථි බිඳීම් සිදු වන නමුත් අනෙකුත් අස්ථින් ද බිදීයාමේ හැකියාව ඇත. මෙහිදී ස්ථීර වේදනාවක් ඇති වීමට අමතරව, සමහර රෝගීන්ගේ උස අඩු වීමට හේතු වේ.


ඔස්ටියෝපොරෝසිස් කශේරුකාවට හෝ කොඳු ඇට පෙළට බලපාන විට, එය බොහෝ විට නැමුණු හෝ කුදු සහිත ඉරියව්වකට මග පාදයි. ඔස්ටියෝපොරෝසිස් මගින් සංචලතාව සීමා කළ හැකි අතර එය බොහෝ විට අන් අයගෙන් වෙන්ව තනිව සිටීම හෝ මානසික අවපීඩනය ආදී හැඟීම් වලට තුඩු දෙයි. මීට අමතරව, උකුල් අස්ථිය කැඩී යන රෝගීන්ගෙන් සියයට විස්සක්, වසරක් ඇතුළත මිය යන්නේ අස්ථි බිඳී යාම හා සම්බන්ධ අලුත්වැඩියාව හා සැත්කම් අතරදීය. බොහෝ රෝගීන්ට දිගු කාලීන සාත්තු නිවාස සත්කාර සදහා රෝහල් ගත වීම අවශ්‍ය වේ.


ඔස්ටියෝපොරොසිස් සමාජය තුළ බහුලව දක්නට ලැබෙන රෝගයකි. අධ්‍යයනවලින් පෙනී යන්නේ කාන්තාවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සහ වයස අවුරුදු 50 සහ ඊට වැඩි පිරිමින් හතර දෙනෙකුගෙන් එක් අයෙකුගේ ඔස්ටියෝපොරෝසිස් හේතුවෙන් අස්ථියක් බිදී යාමේ හැකියාව ඇති බවයි.



රෝග ලක්ෂණ


  • කොන්දෙ වේදනාව ( උරස් / කඨී ප්‍රදේශයේ වේදනාව).

  • කොඳු ඇට පෙළේ සම්පීඩන නිසා අස්ථි බිඳීම.

  • අස්ථි බිඳීම්.

  • උස අඩු වීම.

  • කුදු ගැසීම (කයිෆෝසිස්).

  • Dowgers hump.

  • ක්‍රියාකාරකම් දරා ගැනීමේ හැකියාව අඩු වීම.


අවදානම් සාධක


  • වයස අවුරුදු 50 සහ ඊට වැඩි වීම.

  • කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබේ.

  • කොකේසියානු සහ ආසියානු වර්ගික බව.

  • ආර්ථවාහරණය.

  • ඔස්ටියෝපොරෝසිස් හෝ අස්ථාවර අස්ථි බිඳීම් පිළිබඳ පවුල් ඉතිහාසය.

  • උතුරු යුරෝපීය පෙළපත.

  • දිගු කාලයක් අක්‍රිය වීම හෝ නිශ්චලතාව.

  • මත්පැන් (> දිනකට බීම 3).

  • දුම්කොළ.

  • කැෆේන් (> දිනකට කෝප්ප 4 ක්).

  • ඇමෙනෝරියා තත්ත්වය (අසාමාන්‍ය ලෙස ඔසප් වීම).

  • සිහින් සිරුරක් තිබීම.



ඔස්ටියෝපොරෝසිස් වලින් ආරක්ෂා වන්නේ කෙසේද?


ඔස්ටියෝපොරෝසිස් සඳහා ඔබට පාලනය කළ නොහැකි බොහෝ අවදානම් සාධක තිබේ. කාන්තාවක් වීම, වයසට යාම සහ ඔස්ටියෝපොරෝසිස් පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම මෙයට ඇතුළත් ය.


කෙසේ වෙතත්, ඔබගේ පාලනය තුළට වැටෙන සාධක කිහිපයක් ද තිබේ. ඒ අතර ඔස්ටියෝපොරෝසිස් වලින් වැළැකීම සඳහා ඇති හොඳම ක්‍රම කිහිපයක් නම් ;

  • දෛනිකව කැල්සියම් සහ විටමින් ඩී නිර්දේශිත ප්‍රමාණයන්ගෙන් ලබා ගැනීම. ඒත් සමගම කිරි නිෂ්පාදන, මේද බහුල මාළු, ඇට වර්ග, කොළ පැහැති එළවළු ද ආහාරයට එක් කර ගැනීම.

  • ව්‍යායාම මගින් ඔබගේ අස්ථි ශක්තිමත් හා සෞඛ්‍යවත් කරයි. ඔබගේ භෞතචිකිත්සක වරයාගේ උපදෙස් අනුව බර ඉසිලීමේ ව්‍යායාම හා ප්‍රතිරෝධක ව්‍යායාම කළ හැකි ය.


දුම්පානය නතර කිරීම



ඔබ ඔස්ටියෝපොරෝසිස් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක් නම්, භෞතචිකිත්සක ප්‍රතිකාර, බෙහෙත්, හෝමෝන ප්‍රතිකාර, කැල්සියම් බහුලව අඩංගු ආහාර ගැනීමේ රටාව ආදිය මගින් ඔබගේ ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය අඩු කරගතහැක.


හසිනි අරුමාදුර


References


https://www.nof.org/patients/what-is-osteoporosis/


https://www.bones.nih.gov/health-info/bone/bone-health/bone-health-life-health-information-basics-you-and-your-family

Comments


bottom of page