top of page

ගගනගාමී පුහුණුවේ භෞත චිකිත්සක කාර්යභාරය

ගගනගාමීන් යනු ගුරුත්වාකර්ෂණයේ සිට ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය දක්වා සහ නැවත ගුරුත්වාකර්ෂණය දක්වා ගමන් කළ යුතු ශාරීරික හා මානසික පුහුණුවක් ලබා ඇති පුද්ගලයන් වේ. මෙම ගුරුත්වාකර්ෂණ බල වෙනස් වීම මාංශ පේශි, ස්නායු, හෘද වාහිනී සහ පුප්පුශීය පද්ධති කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි.

ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයක, බර දැනීමේ උත්තේජක අඩු වීම නිසා, අස්ථි ප්‍රතිශෝෂණය වැඩි වී අස්ථි ක්ෂය වීම වැඩි වීම සිදුවේ. එබැවින් ඔස්ටියෝපොරෝසිස් රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය දස ගුණයකින් පමණ වැඩි වීමක් සිදු විය හැකිය.

අභ්‍යවකාශ පියාසැරි ආකාර දෙකකි.

කෙටි අභ්‍යවකාශ පියාසැරිය :-

දින 1 සිට 14 දක්වා වූ පියාසැරියක් කෙටි අභ්‍යවකාශ පියාසැරියක් ලෙස සැලකේ.


දිගු අභ්‍යවකාශ පියාසැරිය :-

සති දෙකකට වඩා දිගු පියාසැරියක් මෙලෙස හඳුන්වයි.

භෞත චිකිත්සාව, අභ්‍යවකාශ ගමනට පෙර සහ අතරතුර ආතති කළමනාකරණයෙන් ආරම්භ වන අතර සමස්ත ගමනේ දී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. පශ්චාත් පියාසැරි අවධියේ දී අවශ්‍ය සහය ලබා දීම සහ පුනරුත්ථාපනය සිදු කරයි. තවද ගගනගාමීයාට අභ්‍යවකාශ ගමන නිසා ඇති වන සංකූලතා මගහරවා ගැනීමට සහය ලබා දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා උපකාර කරයි.



ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ඇති විය හැකි ශාරීරික වෙනස්කම්

  • මාංශ පේශි ක්ෂය වීම

  • අස්ථි ඝනත්වය නැතිවීම

  • ස්නායු පරිහානීය රෝග ඇතිවීමේ අවදානම වැඩි වීම

  • හිස් කබලේ අභ්‍යන්තර පීඩනය වැඩි වීම

  • දේහ තරල ශරීරයේ ඉහළ කොටසට ගමන් කිරීම

  • රසය හා සුවඳ සංවේදන අඩු වීම

  • හෘදයේ Stroke volume අඩු වීම

  • රතු රුධිර සෛල ගණන අඩු වීම

  • වකුගඩු ගල් ඇතිවීමේ අවදානම වැඩි වීම

  • සමබරතාවය නැතිවීම

  • ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය අඩු වීම


භෞත චිකිත්සක කළමනාකරණය

අරමුණු

  1. මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම

  2. සමබරතාවය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම

  3. විඳදරාගැනීම වැඩි දියුණු කිරීම

භෞත චිකිත්සක කළමනාකරණයේ ප්‍රධාන අදියර තුනක් තිබේ.

පූර්ව පියාසැරි අවධිය

ශාරීරික යෝග්‍යතා පුහුණුව මඟින් දැඩි හා අභියෝගාත්මක භූමි ප්‍රදේශවල කාර්යක්ෂමව නැගී සිටීමට අවශ්‍ය විඳදරාගැනීම, ශක්තිය, බලය, සමබරතාවය, ක්‍රියාශීලී බව සහ නම්‍යශීලී බව වර්ධනය කර ගත හැකිය.

  • මූලික ශක්තිමත් කිරීමේ ව්‍යායාම

  • Squatting

  • Push ups

  • Sit ups

  • ගුරුත්වයට එදිරි Treadmill පුහුණුව

  • ජලය තුල සිදු කරන මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම

  • විඳදරාගැනීමේ පුහුණුව

  • ශ්වසන හැකියාව වැඩි දියුණු කිරීම

පියාසැරි අවධිය

අභ්‍යවකාශයේ සිටින විට, සියලුම ගගනගාමීන් මාංශ පේශි ක්ෂය වීම, අස්ථි ඛනිජ ඝනත්වය සහ හෘද වාහිනීවලට වන හානි වළක්වා ගැනීම සඳහා සතියකට දින හයක්, දිනකට පැය 2-5 ක් ව්‍යායාම කළ යුතුය.

  • ප්‍රතිරෝධක ව්‍යායාම උපකරණ භාවිතය

  • Tredmill ව්‍යායාම

ශුන්‍ය ගුරුත්වාකර්ෂණයේදී බර අඩු වීම නිසා වඩාත් ඵලදායී ලෙස Treadmill මත ධාවනය වේ. ප්‍රතිරෝධයක් සහිතව හෝ රහිතව මෙම ව්‍යායාම සිදු කල හැක.

  • මාංශ පේශි සඳහා විද්‍යුත් උත්තේජනයක් ලබා දීම

අස්ථි වල මාංශ පේශි ක්ෂය වීම හා ඛනිජ හායනය වීම වැළැක්වීම සඳහා ශුන්‍ය ගුරුත්වාකර්ෂණයේදී මාංශ පේශි සඳහා විද්‍යුත් උත්තේජනයක් ලබා දීම සිදු කරයි.

පශ්චාත් පියාසැරි අවධිය

අභියෝගාත්මක දිගුකාලීන මෙහෙයුමෙන් පසු පැමිණෙන ගගනගාමීන් නැවත පෘථිවියට පැමිණෙන විට තවත් එක් අභියෝගයකට මුහුණ දෙයි. උදා: නැගී සිට ඇවිදීම.

සාමාන්‍ය ගුරුත්වාකර්ෂණය වෙත ආපසු පැමිණි පසු, ගගනගාමීන්ට බොහෝ විට කරකැවිල්ල හා අපහසුතාවයට පත්වීම, ඇවිදීම සහ හැරීම වැනි සමබරතාවය හා සම්බන්ධ ගැටළු වලට මුහුණ දීමට සිදුවෙයි.

Tilt table

ගගනගාමීන්ට අභ්‍යවකාශ පියාසැරි නිසා නැගී සිටින විට කරකැවිල්ල ඇති විය හැකියි. මෙම ක්‍රියා පටිපාටිය මඟින් ඉරියව්වල වෙනස්වීම් වලට ප්‍රතිචාර වශයෙන් සුදුසු පරිදි රුධිර වාහිනී පුළුල් කර නැවත පණ ගැන්වීම සිදු කරයි.

අනුවර්තනය වීමේ පුහුණු පද්ධතිය භාවිතය

ගගනගාමීන්ට නව ගුරුත්වාකර්ෂණ පරිසරයකට ඉක්මණින් අනුවර්තනය වීමට සහ සමබරතා බාධාවන් මඟහරවා ගැනීමට මෙම ක්‍රමවේදය උපකාර කරයි. මෙම පද්ධතිය සමන්විත වන්නේ සමතුලිතතාවය උත්තේජනය කිරීම සඳහා විවිධ දිශාවලට ක්‍රියාකාරීව ගෙන යා හැකි පාදමක් සහිත Treadmill යන්ත්‍රයකිනි.

ප්‍රගතිශීලී ව්‍යායාම පුහුණුව

  • පියවර 1

සංසරණය වැඩි දියුණු කිරීම සහ ක්ෂය වූ මාංශ පේශිවල මාංශ පේශි ශක්තිය වැඩි කිරීම සඳහා වූ ව්‍යායාම මෙම පියවරේ දී ආරම්භ කරයි.

  • පියවර 2

බාහිර ප්‍රතිරෝධය භාවිතා නොකරන චලන පරාසය වැඩි දියුණු කරන ව්‍යායාම සිදු කරයි

  • පියවර 3

ක්ෂය වූ මාංශ පේශි නැවත ගොඩනැගීම ආරම්භ කිරීම සඳහා කුඩා ස්කන්ධ වැනි මෘදු ප්‍රතිරෝධයක් භාවිත කරමින් ව්‍යායාම සිදු කරයි.


  • පියවර 4

ක්‍රමයෙන් වැඩි ප්‍රතිරෝධයක් සහිත ස්කන්ධ හෝ ව්‍යායාම උපකරණ භාවිතා කරයි. ව්‍යායාම වැඩසටහනට වඩාත් ක්‍රියාකාරී චලනයන් ඇතුළත් කිරීම සිදු කරයි.

මාංශ පේශි ශක්තිමත් කිරීම, සමබරතාවය හා සම්බන්ධීකරණය ඇති කිරීම සහ හෘද ශ්වසන තත්ත්වයන් වැනි ඇතැම් තත්ත්වයන් පුහුණු කිරීම සඳහා විශේෂිත භෞත චිකිත්සක පුනරුත්ථාපන කණ්ඩායමක් අවශ්‍ය වේ.


යමාලි සඳුනි

References


https://www.practo.com/healthfeed/amp/physiotherapy-for-astronauts-in-zero-micro-

gravitational-environments-39184/post


bottom of page