top of page

Text Neck Syndrome යනු කුමක්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

Text neck යනු දිගු කාලයක්, අතේ ඇති උපාංග දෙස අධික ලෙස බැලීම හෝ කෙටි පණිවිඩ යැවීම නිසා දිගින් දිගටම බෙල්ලේ ඇති වන ආතතිය හා වේදනාව විස්තර කිරීමට නූතන යුගයේ භාවිතා කරන යෙදුමකි. එය Turtle neck ලෙසද හැඳින්වේ. Text neck බෙල්ලේ චලන පරාසය සීමා කිරීමට හේතු වේ. Text neck තත්වයෙන් පෙළෙන පුද්ගලයින්ගේ උරපතු අස්ථි වල පිහිටීමද වෙනස් වේ.


Text neck syndrome තුළ කුමක් සිදුවේද?

දුර්වල ඉරියව් නිසා ඇතිවන බෙල්ලේ වේදනාව පහත පරිදි විස්තර කළ හැකිය.සිට ගෙන සිටින ඉරියව්වේ දී කශේරුකා මගින් හිසෙහි බර දරා සිටියි. හිස ඉදිරියට නැමුණු පසු කශේරුකා හිසෙහි බර දරා ගැනීමට එතරම් සහාය නොදක්වයි. මාංශ පේශි, කණ්ඩරාවන් සහ බන්ධනි හිසෙහි බර දරා සිටීමට අධික ලෙස ක්‍රියා කරයි. කාලයක් ගතවන විට හිස නියමිත පිහිටීමෙහි රඳවා තැබීමට අධික ලෙස ක්‍රියා කිරීම නිසා මාංශ පේශී හා අනෙකුත් මෘදු පටක තද ස්වභාවයකට පත් වේ. බෙල්ලේ ඉදිරිපස මාංශ පේශීන් කෙටි වීම නිසා දුර්වල වෙයි . මෙම බොහෝ කල් පවතින බර දරා ගැනීම සහ මෘදු පටක තද වීම නිසා මෘදු පටක වලට රුධිර ප්‍රවාහය හා ඔක්සිජන් අඩුවී වේදනාව ඇති කරයි .



බෙල්ල මත යෙදෙන බලය බෙල්ල නැමීමේ කෝණය සමඟ වෙනස් වන ආකාරය

සාමාන්‍ය පිහිටීමෙහි ඇති හිස (0°) බෙල්ලේ මාංශ පේශි හරහා රාත්තල් 12 ක් හෝ කිලෝග්‍රෑම් 5 ක බලයක් ඇති කරයි.හිස 15° ක් ඉදිරිපසට නැමීමෙන් බෙල්ලේ මාංශ පේශි හරහා රාත්තල් 27 ක් හෝ කිලෝග්‍රෑම් 12 ක බලයක් ඇති කරයි . මෙම බලය බෙල්ල 30° ක් ඉදිරිපස ට නැමීමේ දී රාත්තල් 40 ක් හෝ කිලෝග්‍රෑම් 18 ක්, බෙල්ල 45° ක් ඉදිරිපසට නැමීමේ දී රාත්තල් 49 ක් හෝ කිලෝග්‍රෑම් 22 ක් සහ බෙල්ල 60° ක් ඉදිරිපසට නැමීමේ දී රාත්තල් 60 ක් හෝ කිලෝග්‍රෑම් 27 ක් දක්වා වැඩිවේ.


රෝග ලක්ෂණ

  • හිසරදය

  • බෙල්ලේ වේදනාව

  • උරහිස් සහ අත් වේදනාව

  • ශ්වසන අපහසුතාවය


වලක්වා ගැනීමට

  • අධික ලෙස භාවිතයෙන් වැළකී සිටීම හා නිතර විවේක ගැනීම

  • දිගු ස්ථාවර ඉරියව්වලින් වැළකී සිටීම

  • උපාංගය හිස / බෙල්ල සහ ශරීරයේ ඉහළ කෙළවරේ ආතතිය අඩු කරන පරිදි ස්ථානගත කිරිම

  • දිගු වෙලාවක් ටයිප් කිරීම වැනි නැවත නැවත සිදු කරන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටීම

  • විශාල හෝ බර උපාංගයක් එක් අතකින් දිගු කාලයක් තබා ගැනීමෙන් වැළකී සිටීම


ප්‍රතිකාර

Text neck තත්ත්වයේදී ඇතිවන ආතතියට ප්‍රතිකාර කිරීම සඳහා භෞතචිකිත්සාව ඉතා ඵලදායී බව සොයා ගෙන ඇත. තීව්‍ර අවස්ථාවන්හිදී, වේදනා සමනය ප්‍රධාන ඉලක්කය වේ. දිගු කාලයක් පවතින අවස්ථාවන්හිදී වේදනා නාශක ඖෂධ අන්තර් කශේරුක සන්ධි හෝ ස්පර්ශ කිරීමේ දී හෝ පීඩනයක් යෙදීමේදී මාංශ පේශි වල වේදනාවක් ඇති වන ස්ථානයට එන්නත් කිරීම හෝ භෞතචිකිත්සාව සිදු කළ හැකිය.



උපනි ඔමල්කා



References


  • Alisha l.Prevelance of neck disability due to text neck in the population of GOA and its assessment using goniometer.Indian journal of physiotherapy.2019 March;8(3):57-59

  • Sonel A,Rahemun A,Nikita P,Asir J.Prevelance of text neck syndrome and SMS thumb among smartphone users in college-going students.Journal of public health.2019 June

  • Jyoti K.Internatinal journal of yogic,human movement and sports sciences 2019;4(1):732-735

Comments


bottom of page