top of page

අස්ථි බිඳීමක් යනු කුමක්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

අස්ථි බිඳීමක් යනු අස්ථියක අඛණ්ඩතාවය බිඳවැටීමයි. එනම් අස්ථියක සිදුවන බිඳීමක් හෝ ඉරිතැලීමක් ලෙස සරලව හැඳින්විය හැකිය.


අස්ථි බිඳීමක් සිදුවන්නේ අස්ථියකට එරෙහිව යොදන බාහිර බලය අස්ථියට දරාගත නොහැකි තරම් ප්‍රබල වන විට ය. මෙය අස්ථියේ ව්‍යූහයට හා ශක්තියට බාධාවක් වන අතර එම ප්‍රදේශය වටා වේදනාව, ක්‍රියාකාරිත්වය නැතිවීම සහ සමහර විට ලේ ගැලීම හා තුවාල ඇතිවීමටද හේතු වේ.


අස්ථි බිඳීමට හේතු


  • වැටීම්

  • කම්පන සහගත සිදුවීම් (ක්‍රීඩා අනතුරු, වාහන අනතුරු සහ වෙඩි වැදීම්)

  • ශරීරයට සෘජුවම ඇතිවන ප්‍රහාර

  • අස්ථි වඩාත් පහසුවෙන් බිඳීමට හේතු වන ඔස්ටියෝපොරෝසිස් සහ සමහර පිළිකා වැනි තත්ත්වයන්

අස්ථි බිඳීමේ අවදානම් සාධක


ඕනෑම පුද්ගලයෙකුට අස්ථි බිඳීම් සිදුවිය හැක. නමුත් යමෙකුගේ අස්ථි ඝනත්වය අඩු නම් අස්ථි බිඳීම් සිදුවීමේ අවකාශය වැඩිය. අස්ථි ඝනත්වය අඩු වීමට හේතු ලෙස,

  • වැඩිහිටි බව

  • ඔස්ටියෝපොරෝසිස්

  • අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත රෝග හෝ ආන්ත්‍රික රෝග

  • ක්‍රියාශීලී නොවීම

  • මධ්‍යසාර භාවිතය

  • දුම්පානය

දැක්විය හැකිය.


අස්ථි බිඳීමේ රෝග ලක්ෂණ

  • අස්ථි බිඳීම සිදුවන අවස්ථාවේ දී ඇතිවන තීව්‍ර වේදනාව.

  • අස්ථි බිඳෙන විට, අදාල ප්‍රදේශය ආශ්‍රිතව ඇඹරුම් ශබ්දයක් ඇසීම.

  • තුවාල වූ ප්‍රදේශය ඉදිමීම හා රතුවීම.

  • සමහර අවස්ථාවලදී අදාළ ප්‍රදේශය විරූපණයට ලක්වීම.

  • බර දරාගැනීම අපහසුවීම.

අස්ථි බිඳීමේ රෝග ලක්ෂණ අදාල අස්ථිය හා තුවාලයේ බරපතලකම මත රඳා පවතී.



අස්ථි බිඳීම් වර්ගීකරණය


අසථි බිඳීම් වර්ග බොහොමයක් පවතී.


Closed fracture /සංවෘත අස්ථි බිඳීම -

කැඩුණු අස්ථිය සම සිදුරු කර නැත.


Open fracture /විවෘත අස්ථි බිඳීම -

කැඩුණු අස්ථිය සම හරහා පිටතට නිරාවරණය වීමක්, හෝ තුවාලයක් ඇතිවේ. ආසාදනය හා බාහිර රුධිර වහනය වැඩි වේ.


Greenstick fracture -

අස්ථියේ කුඩා සිහින් ඉරිතැලීමකි. මෙය අසම්පූර්ණ අස්ථි බිඳීම් වර්ගයකි. වැඩිහිටියන්ගේ අස්ථි වලට වඩා දරුවන්ගේ අස්ථි නම්‍යශීලී වන නිසා මෙය දරුවන් තුළ සුලභව සිදුවිය හැකිය.


Hairline fracture -

වඩාත් සුලභම ක්‍රමය වන්නේ ආතති අස්ථි බිඳීමක් වන අතර එය පැනීම හෝ ධාවනය වැනි ක්‍රියාකාරකම් වලදී නැවත නැවත ඇතිවන ආතතිය හේතුවෙන් බොහෝ විට පහළ ගාත්‍රයේ සිදුවෙයි.


Complicated fracture /සංකීර්ණ අස්ථි බිඳීම -

අවට ව්‍යූහයන්ටද තුවාල සිදු වේ. ධමනි හෝ ස්නායු වලට හානි සිදුවිය හැකි අතර, අස්ථියාවරණයට (පෙරියෝස්ටියම) හානි සිදුවිය හැකිය.


Comminuted fracture -

අස්ථිය කුඩා කැබලි 3 කට හෝ ඊට වැඩි ගණනකට කැඩී යයි. අස්ථි කොටස් අස්ථි බිඳීම සිදුවන ස්ථානයේ පවතී. මෙම ආකාරයේ සංකීර්ණ අස්ථි බිඳීම් වඩාත් සෙමින් සුව වීමට නැඹුරු වේ.


Avulsion fracture -

ප්‍රබල මාංශ පේශි හැකිලීම මගින් කණ්ඩරාව නිදහස් කර අස්ථි කැබලි පිටතට ඇද ගත හැකිය. මෙම ආකාරයේ අස්ථි බිඳීම් දණහිස සහ උරහිස් සන්ධිවල බහුලව දක්නට ලැබේ.


Compression fracture /සම්පීඩන අස්ථි බිඳීම -

අස්ථි දෙකක් එකිනෙකට එරෙහිව බල යෙදෙන විට සිදු වේ. කශේරුකා වල සිදුවන අස්ථි බිඳීමක් විය හැකිය. වැඩිහිටි පුද්ගලයින්, විශේෂයෙන් ඔස්ටියෝපොරෝසිස් සහිත පුද්ගලයන් හට වැඩි අවදානමක් ඇත.


ඉහළ ගාත්‍රයේ අස්ථි බිඳීම්


Clavicular fracture / අක්ෂකාස්ථිය බිදීම -

දිගු කළ අත මත වැටීමෙන් අස්ථි බිඳීම සිදූවේ. පාර්ශ්වීය කැබැල්ල පහළට විස්ථාපනය වේ.


Scapula fracture / උරහිස් අස්ථිය බිඳීම


Humeral fracture / අතේ ඉහළ අස්ථියේ බිඳීම (ප්‍රගන්ඩාස්ථිය බිඳීම) -

අස්ථි බිඳීමේ ස්ථාන වන්නේ අස්ථියේ ඉහල කෙලවර (Surgical neck), අස්ථි දණ්ඩ සහ Supracondylar කලාපයයි. Supracondylar කලාපයේ අස්ථි බිඳීම මධ්‍ය ස්නායුවට (median nerve) තුවාල වීමට හේතු විය හැක. එය Brachial artery (බාහු ධමනිය) අවහිර වීම නිසා ඇති වන Volkmann's ischaemic contracture තත්ත්වයට හේතු වේ. අස්ථි දණ්ඩෙහි බිඳීම රේඩියල් ස්නායුවට (Radial nerve) හානි පමුණුවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ මැණික් කටුවෙන් පහළ ප්‍රදේශය අත්ල දෙසට නැමීම (Wrist drop )


අතේ යටි බාහුවේ අරාස්ථියෙහි බිඳීම (Radial fractures) -


  1. අරාස්ථි හිසෙහි බිඳීම.

  2. පහළ කෙළවරේ අස්ථි බිඳීම.

මෙම අස්ථි බිඳීම සිදුවන්නේ දිගු කළ අත මත වැටීමෙනි. දුරස්ථ කැබැල්ල ඉහළට හා පසුපසට විස්ථාපනය වේ. එය Colles' fracture නමින් හැඳින්වෙන අතර එය ඉදිරිපස දෙසට විස්ථාපනය Smith's fracture ලෙස හැදින්වේ .


Olecranon fracture / කූර්පර ප්‍රසරය බිඳීම


ස්කැෆොයිඩ් අස්ථි බිඳීම


Bennett fracture -

පළමු අතුල් ඇටයේ පාදයේ බිඳීම


පහළ ගාත්‍රයේ අස්ථි බිඳීම්


Femoral fracture / කලව අස්ථිය බිඳීම -

අස්ථි බිඳීමේ ස්ථාන වන්නේ අස්ථියේ ඉහල කෙලවර (Neck of femur), අස්ථි දණ්ඩ සහ Supracondylar කලාප වේ. වයෝවෘද්ධ පුද්ගලයින් තුළ කලව අස්ථියේ ගෙල බිඳීම (Fracture of surgical neck of femur) බහුලව දක්නට ලැබේ.


Tibial fracture / කකුලේ ජංඝාස්ථි බිඳීම


Fibula fracture / කකුලේ අනුජංඝාස්ථි බිඳීම


Patella fracture (දණිස් කටුව)


වළලුකර අස්ථි බිඳීම -

වළලුකර සන්ධිය වටා ඇති අස්ථි වලට හානි සිදුවේ.


Calcaneal fracture / විලුඹ අස්ථිය බිඳීම


වැඩිහිටියන් අතර බහුලව දක්නට ලැබෙන අස්ථි බිඳීම්


ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය හේතුවෙන් අස්ථි සැකැස්ම අස්ථාවර වීම නිසා වැඩිහිටි පාර්ශ්වය අතර ඔවුන්ට ආවේණික වූ අස්ථි බිඳීම් ආකාරයක් පවතී. අස්ථි බිඳීම් සිදුවන්නේ අස්ථියේ දුර්වල ස්ථානයෙනි.

  • උකුල් සන්ධිය

  • කශේරුකා

  • මැණික්කටුව

  • අතේ ඉහළ බාහුව


උකුල් සන්ධිය ආශ්‍රිත අස්ථි බිඳීම් ඉතා දරුණු වන අතර ඒවාට නිසි ප්‍රතිකාර නොකළහොත් ජිවිතයටද හානි සිදුවිය හැක.


ළමුන් අතර බහුලව දක්නටන ලැබෙන අස්ථි බිඳීම්


ළමයෙකු ගේ යම් අස්ථියක ඇතිවන අස්ථි බිඳීම වැඩිහිටි පුද්ගලයෙකුගේ එම ස්ථානයේම ඇතිවන අස්ථි බිඳීමෙන් වෙනස්ය. ඊට හේතුව වන්නේ ළමයින් යනු තවම වර්ධනය වෙමින් පවතින කොට්ටාශයක් වීමයි.


ළමුන් තුළ බහුලව අස්ථි බිඳීම් ඇතිවන්නේ ක්‍රීඩා අතරතුරු,වැටීම්, ඇඹරම් හ සෘජු ප්‍රහාර නිසාය.

බහුලව අස්ථි බිදීම් දැකිය හැක්කේ,

  • මැණික්කටුව සන්ධිය

  • වැලමිට සන්ධිය

  • අතේ යටි බාහුව


අස්ථි බිඳීම හේතුවෙන් ඇතිවන සංකූලතා


රුධිර වහනය -

අස්ථිවලට හොඳ රුධිර සැපයුමක් ඇත. අස්ථි බිඳීමක් මඟින් ඔබට විශාල රුධිර ප්‍රමාණයක් අහිමි විය හැකිය.


අවයව, පටක හෝ අවට ව්‍යූහයන්ට හානි සිදුවීම -

උදාහරණයක් ලෙස හිස් කබල බිඳීමෙන් මොළයට හානි සිදුවිය හැකිය.


අස්ථියේ වර්ධනය අඩපණ වීම.


අස්ථි බිඳීම හඳුනා ගැනීම


  • X - කිරණ

  • CT ස්කෑන්

  • MRI ස්කෑන් මඟින් අස්ථි බිඳීම් හඳුනා ගැනීමට හැකිය.


අස්ථි බිඳීම් වලින් වැළැකී සිටීමට


සියලුම අස්ථි බිඳීම් වැළැක්විය නොහැක. නමුත් අස්ථි ශක්තිමත් කිරීම මඟින් බිඳීමේ අවධානම අඩු කරයි. ඒ සඳහා,


  • අවශ්‍ය පරිදි කැල්සියම් හා විටමින් ඩී ශරීරයට ලබා ගන්න , පෝෂණය බහුල ආහාර වේලක් ලබා ගන්න.

  • දිනපතා ව්‍යායාමවල නිරත වන්න. විශේෂයෙන්ම බර ඉසිලීමේ ව්‍යායාමවල නිරත වන්න.

  • අස්ථි සෞඛ්‍යයට හිතකර එලවළු, පළතුරු ආදී පෝෂ්‍යදායී ආහාර ලබාගන්න.

  • දුම්පානයෙන් වලකින්න, මධ්‍යසාර භාවිතය සීමා කරන්න.

යශෝධා මධුරංගි


References

https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/bone-fractures

https://www.healthline.com/health/fracture

https://orthoinfo.aaos.org/en/diseases--conditions/fractures-broken-bones/

Comments


bottom of page