top of page
Vimukthi Chandula

කිරීටක ධමනි රෝගයක් යනු කුමක්ද?

කිරීටක ධමනි ආශ්‍රිත රෝග, ලොව පුරා සිදුවන මරණ සඳහා දැනට පවතින ප්‍රධානතම හේතුවලින් එකකි. ඇස්තමේන්තු කර ඇති පරිදි සෑම වසරකම කිරීටක ධමනි රෝග වලින් පිරිමින් මිලියන 3.8 ක් සහ කාන්තාවන් මිලියන 3.4 ක් මිය යයි. කිරීටක ධමනි / හෘද රෝගයක් යනු හෘදයට රුධිරය සපයන ප්‍රධාන රුධිර වාහිනී පටු වී, තද බවට පත්වී හෘද ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිරය සැපයීමට අපොහොසත් වීමයි. (කිරීටක ධමනි වලින් හදවතට අවශ්‍ය රුධිර සැපයුම ලැබේ.) එය හෘදයාබාධ හා Angina තත්ත්වය සඳහා හේතු විය හැක. කිරීටක ධමනි රෝග යනු රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත එක් වර්ගයක රෝගී තත්ත්වයක් පමණි.




🔵 කිරීටක ධමනි රෝග සඳහා හේතු


කිරීටක ධමනි යනු හෘද ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය ඔක්සිජන් සහිත රුධිරය හෘද මාංශ පේශි වෙත ගෙන යන රුධිර නාල වේ. මෙම ධමනි තුළ සෑදෙන මේද ද්‍රව්‍ය (ඵලක) කිරීටක ධමනි රෝග සඳහා හේතු වේ. තැන්පත් වන මේදය හේතුවෙන් ධමනි පටු හා තද බවට පත් වේ. මෙය සායනිකව Atherosclerosis ලෙස හැඳින්වේ.


ධමනි පටු වන විට රුධිරය හෘද පේශි කරා ළඟා වීම අපහසු වන අතර, හෘද ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩාල වේ. මෙය angina තත්වයක් (පපු පෙදෙසේ අධික වේදනාවක්) ලෙස හැඳින්වේ. ධමනි තුළ තැන්පත් වී ඇති මේද ඵලක කැබැල්ලක් බිඳී ගියහොත් එය රුධිර කැටියක් සෑදීමට හේතු වේ. එම රුධිර කැටි කිරීටක ධමනියක තැන්පත් වීමෙන් එම ධමනියෙන් රුධිරය සැපයෙන හෘද පේශී කොටස්වලට රුධිර සැපයුම නතර වේ. මෙම තත්ත්වය හෘදයාබාධයක් ලෙස හැඳින්වේ.


🔵 රෝග ලක්ෂණ


ඔබට කිරීටක ධමනි රෝගයක් තිබේද යන්න පිළිබඳව ඔබ නොදන්නවා විය හැකිය. මන්දයත්, එය සැමවිටම රෝග ලක්ෂණ ඇති නොකරයි. කිරීටක ධමනි පටු වූ විට එය වේදනාව හා අපහසුතාවයක් ඇති කරයි. බොහෝ විට මෙය සිදු වන්නේ ඔබ වැඩි ශක්තියක් වැය වන කාර්යයක් සිදු කරන විට ය. රෝග ලක්ෂණ,


🔸 හුස්ම ගැනීමේ අපහසුතාව/ අසාමාන්‍යතාව උදා: විවේකයෙන් සිටින විට හෝ ඉතා සැහැල්ලු ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන විට

🔸 කොන්ද ප්‍රදේශය, උරහිස්වලට, බෙල්ලට හෝ හකු දක්වා පැතිර යා හැකි පපුවේ අපහසුතාව/වේදනාව, බර හෝ තද ගතිය.

🔸 පපුවේ අපහසුතාවයක්/ වේදනාවක් නොමැති, නමුත් අත, බෙල්ල හෝ හකු තුළ ඇති වන අපහසුතාව/වේදනාව.


අපහසුතාව/වේදනාව සියුම් ප්‍රමාණයේ සිට තීව්‍ර/අධික වේදනාවක් දක්වා විය හැකිය. ඇතැම් විට යමෙක් තමාට කිරීටක ධමනි රෝග ඇති බව සොයා ගනුයේ හෘදයාබාධයක් ඇති වූ පසුවය.


🔵 හේතු සහ අවදානම් සාධක


සමහර අවදානම් සාධක ඔබට පාලනය කළ නොහැකි (පාලනය කළ නොහැකි අවදානම් සාධක), නමුත් ඇතැම් අවදානම් සාධක ජීවන රටාවේ වෙනස්කම් සිදුකිරීමෙන් සහ ඖෂධ මඟින් (පාලනය කළ හැකි අවදානම් සාධක) පාලනය කළ හැකිය.


🔺 පාලනය කළ හැකි අවදානම් සාධක


▪️ දුම් පානය - දුම්පානය ධමනි වල පටලයට හානි කරයි, ධමනි පටු වීම සඳහා හේතු වන මේද ද්‍රව්‍ය සෑදීම වැඩි කරයි. එමඟින් රුධිරය කැටි ගැසීමට ඇති හැකියාව වැඩිවේ.


▪️ කොලෙස්ටරෝල් - අධික කොලෙස්ටරෝල් මට්ටම ධමනි තුළ මේද ද්‍රව්‍ය/ඵළක සෑදීමේ වේගය වැඩි කරයි.


▪️ අධි රුධිර පීඩනය - දීර්ඝ කාලයත් තිස්සේ පවතින අධි රුධිර පීඩනය ධමනි වලට හානි ඇති කරයි.


▪️ දියවැඩියාව - දියවැඩියාව කිරීටක ධමනි රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන අතර හෘදයාබාධයක් හෝ ආඝාත තත්වයක් ඇතිවීමේ අවදානමද වැඩි කරයි.


▪️ ආතතිය / කාංසාව - දිර්ඝ කාලීන ආතතිය හෘදයාබාධ හා ආඝාතය ඇතිවීමේ අවදානම වැඩි කරයි.


▪️ මත්ද්‍රව්‍ය භාවිතය - අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි.


🔺 පාලනය කළ නොහැකි අවදානම් සාධක


▪️ වයස - වයස සමඟ කිරීටක ධමනි රෝග ඇතිවීමේ අවදානම වැඩිවේ


▪️ ස්ත්‍රී/පුරුෂ භාවය - පිරිමි පුද්ගලයන්ට කාන්තාවන්ට වඩා මුල් වයස් සීමාවලදී කිරීටක ධමනි රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩිය. නමුත්, කාන්තාවන්ගේ ආර්ථවහරණයෙන් පසු කිරීටක ධමනි රෝග ඇතිවීමේ අවදානම වැඩිවේ.


▪️ ජනවාර්ගිකත්වය - මාඕරි, පැසිෆිකා සහ දකුණු ආසියානු රටවල අය වැනි ඇතැම් ජනවර්ගවලට අයත් පුද්ගලයින්ට හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇත


▪️ මානසික සෞඛ්‍ය ඉතිහාසය - දැඩි මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයින්ට සාමාන්‍ය ජනගහනයට වඩා හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩිය


▪️ පවුල් ඉතිහාසය - තමාට ආසන්නතම ඥාතියකුට වයස අවුරුදු 50 ට පෙර හෘද රෝග ඇති බව හඳුනාගත හොත් ඔබට හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් ඇත.


🔵 සංකූලතා


කිරීටක ධමනි රෝගය තවත් හෘදය ආශ්‍රිත රෝග ගණනාවකට හේතු විය හැක.


🔘 Angina (පපුව පෙදෙසේ අධික වේදනාව)

🔘 හෘදයාබාධ

🔘 හෘදයේ රිද්මය හා සම්බන්ධ ගැටළු

🔘 හෘදය අකර්මණ්‍ය වීම


🔵 හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරන්නේ කෙසේද?


අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කිරීමට ඔබට බොහෝ දේ කළ හැකිය. හෘදයාබාධයක් හෝ වෙනත් ආකාරයක හෘදය ආශ්‍රිත රෝගයක් ඇතිවීමේ අවදානම අවම කර ගැනීම සඳහා ඔබට කළ හැකි වැදගත් කරුණු දෙකක් වන්නේ ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම සහ නියමිත පරිදි ඖෂධ ගැනීමයි.


ජීවන රටාවේ සිදු කල හැකි වෙනස්කම්


⭕ දුම්පානය නතර කිරීම

⭕ සචලතාව වැඩි කිරීම

⭕ ව්‍යායාම - දිනකට මිනිත්තු 30 ක් පමණ මධ්‍යස්ථ ප්‍රමාණයේ ව්‍යායාම කිරීමෙන් ඔබේ කිරීටක ධමනි රෝග අවදානම අඩු කර ගත හැකිය.

⭕ හෘද ක්‍රියාකාරීත්වයට හිතකර ආහාර ගැනීම සහ බීම තෝරා ගැනීම- අධික ලෙස මත්ද්‍රව්‍ය (උදා: මත්පැන්) භාවිතා කිරීමෙන් ඔබේ හෘද රෝග අවදානම වැඩි විය හැකි අතර සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ඔබේ ශරීරයට හැකි උපරිම පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන අතරම නිරෝගී බර පවත්වා ගැනීමටද ඔබට උපකාරී වේ.

⭕ බර අඩු කර ගැනීම - සෞඛ්‍ය සම්පන්න බරක් තිබීම කිරීටක ධමනි රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වේ.

⭕ ආතති මට්ටම අඩු කර ගැනීම


හෘද පුනරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී වීමෙන් හෘද රෝග සහිත පුද්ගලයන්ගේ හෘද රෝග සඳහා ඇති අවධානම අඩු කර ගත හැකිය. පුනරුත්ථාපන වැඩසටහන් වල අරමුණ වන්නේ කිරීටක ධමනි රෝග සහිත පුද්ගලයන්ගේ මානසික හා කායික ආතතිය අවම කිරීම, කිරීටක ධමනි රෝග නිසා ඇති විය හැකි ද්විතියික මරණ අවදානම අඩු කිරීම සහ රෝගීන්ට ඔවුන්ගේ ඉහළම ජීවන තත්ත්වය ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා හෘද ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමයි.


Reference:-

https://www.heartfoundation.org.nz/your-heart/heart-conditions/coronary-artery-disease


දිලිනි අනුරාධා

5 views0 comments

Comments


bottom of page