top of page

මොකක්ද මේ Saturday night palsy ?

Writer's picture: Wephysio MFCWephysio MFC

යම් පෘෂ්ඨයක් හෝ වස්තුවක් නිසා අතේ උඩු බාහුවේ මැද කොටස හෝ කිහිලි ප්‍රදේශය වැඩි වේලාවක් ඍජුව පීඩනයට ලක්වීම හේතුවෙන් Radial ස්නායුව තෙරපීම නිසා Saturday Night Palsy තත්ත්වය ඇතිවේ. Radial nerve plasy ලෙස හැඳින්වෙන්නේ ද මෙයමයි.

නම පටබැඳීමේ ආරම්භය


මෙය බොහෝ විට මත්පැන් පානයෙන් අනතුරුව තම අත මත ඍජු පීඩනයක් එල්ල වන සේ තද නින්දකට යෑමෙන් ඇතිවිය හැකිය. මේ අනුව සති අන්තයේ සෙනසුරාදා රාත්‍රියේ බීමතින් විනෝද වීමෙන් අනතුරුව ඇති වන්නක් ලෙස සලකා මෙම නම යෙදී ඇත.


Radial ස්නායුව පිළිබඳ යමක්


Radial ස්නායුව C5 සිට T1 දක්වා ස්නායු මූලයන් ගෙන් සමන්විත වන Brachial Plexus හි පිටුපස කොටසින් පැනනගින ස්නායුවකි. එය Teres minor මාංශ පේශියට පහළින් ගමන් කිරීමට පෙර Axillary ධමනියට ගැඹුරින් දිවෙන අතර පසුව ප්‍රගණ්ඩ අස්ථියේ (Humerus) මධ්‍ය කොටස වටා සර්පිලාකාරව එතී ගමන් කරයි.


Saturday night palsy තත්ත්වය සදහා හේතු


  • Saturday Night Palsy ඇතැම් අවස්ථාවලදී Honeymoon Palsy ලෙසද හැඳින්වේ. මෙම නම් දෙකෙන්ම හැඟවෙන පරිදි මෙහිදී වැරදි ඉරියව්වක් භාවිතා කරමින් බොහෝ වේලාවක් නොසෙල්වී සිටීම නිසා Radial ස්නායුව සම්පීඩනයට ලක්වේ.

  • මත්පැන් පානය කළ පුද්ගලයින්ට නිදා සිටියදී තම ඉරියව්ව නිවැරදි කර ගැනීමේ ඉච්චානුග හැකියාවක් නොපවතියි. එම නිසා බීමත් පුද්ගලයෙකු පුටුවක් හෝ වෙනත් පෘෂ්ඨයක් මත අත තබා ගෙන දිගු කලක් නිදා වැටීම නිසා කිහිල්ල ප්‍රදේශය සම්පීඩනයට ලක්වේ.

  • Honeymoon Palsy හී දී එක් පුද්ගලයෙකුගේ අත මත තවත් පුද්ගලයෙකු නිදා සිටීම නිසා එම පුද්ගලයාගේ Radial ස්නායුව සම්පීඩනයට ලක්වේ.

  • තවද පෙර කී ආකාරයටම ස්නායුව තෙරපීමට ලක්වන වෙනත් වැරදි ඉරියව් භාවිතය.

  • ඉතා තද කිහිලි ප්‍රදේශය තෙරපෙන ඇඳුම් ඇදීම.

  • වැරදි ආකාරයට කිහිලිකරු භාවිතය.

  • රුධිර පීඩනය මනින උපකරණයේ අත වටා යන පටිය (cuff) දිගු වේලාවක් භාවිතය.


රෝග ලක්ෂණ


රෝගීන් විසින් බොහෝ විට මත්පැන් විශාල ප්‍රමාණයක් පානය කිරීමෙන් අනතුරුව වැරදි ඉරියව්වෙන් නිදා ගැනීමෙන් පසු රෝග ලක්ෂණ හටගන්නා බව වාර්තා කරනු ලැබේ.

ආරම්භක අවස්ථාවෙන් දින කිහිපයකට පසු රෝග ලක්ෂණ පෙන්වීම ආරම්භ වීමද රෝග ලක්ෂණ පිළිබිඹු වීම ප්‍රමාද වීම ද සිදුවිය හැකිය.


  • ට්‍රයිසෙප්ස් මාංශ පේශියේ (Triceps muscle) සිට ඇගිලි දක්වා ඇතිවන හිරිවැටීම.

  • තියුණු වේදනාව.

  • අත්ල මැණික්කටුව සන්ධියෙන් ඇතුලට නැමීම (Wrist Drop).

  • මහපට ඇඟිල්ලේ දුර්වලතාවය නිසා අත දිග හැරීම හා වස්තූන් ග්‍රහණය කර ගැනීමට අපහසු වීම.

  • අතේ ඉහළ බාහුවේ පිටුපස ප්‍රදේශයේ හා පැති ප්‍රදේශයේ (lateral side) සංවේදනය අඩුවීම (sensory deficit).

  • හිරිවැටීම, මාංශපේෂි දුර්වල වීම, වේදනාව හෝ මේවායේ ඕනෑම සංයෝජනයක් රෝග ලක්ෂණ ලෙස රෝගීන් විසින් වාර්තා කළ හැක.


ඇතිවිය හැකි සංකූලතා


පුළුල් රෝග විනිශ්චයක් සිදු කිරීමට අපොහොසත් වීමෙන් සංකූලතා ඇතිවිය හැක. Saturday Night Palsy හි ප්‍රධාන සංකූලතාවය වන්නේ යථා තත්ත්වයට පත්වීමට අසමත්වීම වන අතර එය ශල්‍යකර්මයක් සඳහා ඇඟවීමක් ද විය හැක. මෙහිදීද බොහෝ ශල්‍යකර්ම වල දී මෙන් පශ්චාත් ශල්‍ය ආසාදන සම්බන්ධ අමතර සංකූලතා රාශියක් ඇති විය හැකිය. බොහෝ අවස්ථාවලදී යම්තාක් දුරකට හෝ සුව වීම සිදුවන අතර දිගුකාලීන ආබාධිත භාවය වුවද ඇති විය හැක. .


වළක්වා ගැනීමට කල හැකි දේ


  • ඔබේ අතේ කිහිලි ප්‍රදේශය දිගු වේලාවක් තෙරපීම ඇතිකිරීමෙන් වළකින්න.

  • වාඩි වී සිටින විට හෝ නිදා සිටින විට ස්නායු හානිවලට හේතු විය හැකි ඉරියව් භාවිතයෙන් වළකින්න.

  • තද, කිහිලි ප්‍රදේශය තෙරපෙන ඇඳුම් ඇඳීමෙන් හැකිතරම් වළකින්න.

  • නිරන්තරයෙන් එකම චලන ඉරියව් අවශ්‍ය‍ය වන රැකියාවක නිරත වන්නේ නම්, විවේක ගැනීම සහ විවිධ චලනයන් අවශ්‍ය වන කාර්යයන් අතර මාරු වීම.


ප්‍රතිකාර


  • Night Palsy හීදී බොහෝ විට භෞත චිකිත්සක ප්‍රතිකාර භාවිත අතර භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මෙම තත්ත්වයෙන් සුවවීමට මහත් රුකුලක් දෙයි.

  • තවද ඖෂධමය ප්‍රතිකාර ක්‍රම ද භාවිතා කරයි.


වඩාත් වැදගත්ම දේ නම්, මෙම තත්ත්වට ගොදුරු වූ විගස, රෝහල් වෙත යායුතු වීමයි. එයට හේතුව නම් ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ නොකළහොත් සන්ධි තදවීම ආදී ද්වීතියික ආබාධවලට ගොදුරු විය හැකි වීම වේ.


W. තිලිණි ඕෂධී


References


Spinner, R.J., Poliakoff, M.B. and Tiel, R.L. (2002).The Origin of “Saturday Night Palsy”?. Neurosurgery, 51(3), 737-741.

Ansari, F.H.and Juergens, A.L. (2020). Saturday night palsy. StatPearls.

https://www.healthline.com/health/radial-nerve-dysfunction

9 views0 comments

Comments


bottom of page