top of page

ඔබත් කොන්දේ වේදනාව නිසා පීඩා විඳිනවාද?

Vimukthi Chandula

 සාමාන්‍ය කොන්දේ වේදනාව යනු කුමක්ද?


සාමාන්‍ය ජනතාව අතර කොන්දේ වේදනාව බහුලව දක්නට ලැබේ. දළ වශයෙන් පුද්ගලයන්ගෙන් 80% ක්ම තම ජීවිතයේ යම් අවස්ථාවක දී කොන්දේ වේදනාව අත්විඳිති.


නුසුදුසු එසවීම, දුර්වල ඉරියව් හෝ ව්‍යායාම නොමැතිකම හේතුවෙන් ඇතිවන මාංශ පේශි වික්‍රියා සහ උලුක්කු වීම් කොන්දේ වේදනාව ඇතිවීමට හේතු වේ. මේ ආකාරයේ කොන්දේ වේදනාව බොහෝ විට අයිස් මඟින් සහ විවේකයකින් සුව කළ හැකි අතර පැය 72 කට පසු පහව යයි. 


කෙසේ වෙතත්, කොන්දේ වේදනාව වඩාත් බරපතල තුවාල, අසනීප තත්ත්ව හෝ ආසාදන හේතුවෙන්ද ඇති විය හැක. කොන්දේ වේදනාව ඉතා සුලභ බැවින්, අපට ඇති කොන්දේ වේදනාව අසාමාන්‍ය සහ බැරෑරුම්දැයි අපි තීරණය කරන්නේ කෙසේද?





ඔබේ කොන්දේ වේදනාව නොසලකා හැරිය යුතු නොවන බව පෙන්වන ලක්ෂණ 8 කි.


  • කොන්ද ප්‍රදේශයෙන් ඔබ්බට දිවෙන දැඩි වේදනාව

  • පාදවල හිරිවැටීම හෝ ක්ෂණික දුර්වල වීම.

  • අනතුරකින් පසු ඇතිවන කොන්දේ වේදනාව

  • කොන්දේ වේදනාව පැහැදිලි කළ නොහැකි බර අඩු වීම හෝ ආහාර අරුචිය සමඟ සම්බන්ධ වීම

  • උණ හෝ රාත්‍රී දහඩිය සමඟ ඇතිවන කොන්දේ වේදනාව

  • රාත්‍රියේදී හෝ විවේක ගැනීමේදී කොන්දේ වේදනාව උත්සන්න වීම.

  • අනෙකුත් සන්ධි වේදනාවන් සමඟ පැමිණීම.

  • සති 6 කට වඩා දිගු කාලයක් පැවතීම.


කොන්දේ වේදනාව දරුණු නම් සහ කොන්ද ප්‍රදේශයෙන් ඔබ්බට දිවේ නම්,


විශේෂයෙන් කකුලේ පතුල දක්වාම වේදනාවක් ඔබ අත්විඳින්නේ නම්, මෙය ඔබේ අන්තර් කශේරුක මඩලට හානි වූ බව පෙන්වන ලක්ෂණයක් විය හැකිය.


අනතුරකින් පසු කොන්දේ වේදනාව ඇති වුවහොත්,


වැටීමකින් හෝ තුවාලයකින් පසු ඔබේ කොන්දේ වේදනාව ආරම්භ වූයේ නම්, භෞතචිකිත්සකවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. කොන්ද ප්‍රදේශය ඉදිමී හෝ රතු පැහැ වී තිබේදැයි පරීක්‍ෂා කරන්න.


කොන්ද ප්‍රදේශයේ වේදනාව පාද වල හිරිවැටීම හෝ ක්‍ෂණික දුර්වලතාවය සමඟ පැමිණේ නම්,


කොන්දේ වේදනාව මෙම රෝග ලක්‍ෂණ සමඟ සම්බන්ධ වන්නේ නම්, එය සාමාන්‍යයෙන් ස්නායු සම්පීඩනයක් පෙන්නුම් කරයි. මෙය නිසියාකාරව තක්සේරු කර ප්‍රතිකාර කළ යුත්තේ දිගුකාලීන සම්පීඩනය හේතුවෙන් ස්ථිර හානි හා ආපසු හැරවිය නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බැවිනි.

 

උණ හෝ රාත්‍රීයේ දහඩිය දැමීම සමඟ කොන්දේ වේදනාව පැමිණේ නම්,


කොන්දේ වේදනාව උණ හෝ රාත්‍රී දහඩිය දැමීම සමඟ ඇත්නම් මෙය ආසාදිත තත්ත්වයක් පෙන්නුම් කළ හැකිය. ආසාදිත තත්ත්ව සාමාන්‍යයෙන් බැක්ටීරියා ආසාදනයකින් හෝ ක්ෂය රෝගයෙන් ඇති වන අතර එයට ප්‍රතිකාර නොකළහොත් කොඳු ඇට පෙළ බිඳ වැටීමට හා අංශභාගය හෝ ස්නායු ආබාධ ඇතිවීමට හේතු වේ. Ankylosis spondylitis, Rheumatoid arthritis යන ආසාදිත තත්වවලදීද කොන්දේ වේදනාව සමඟ උණ ඇතිවේ.


රාත්‍රීයේදී හෝ විවේක ගැනීමේදී කොන්දේ වේදනාව උත්සන්න වේ නම්,


රාත්‍රීයේදී හෝ විවේකයේදී කොන්දේ වේදනාව සාමාන්‍යයෙන් ඇතිවන්නේ කොඳු ඇට පෙළේ ඛාදනීය ක්‍රියාවලියක ප්‍රතිඵලක් නිසාවෙනි. සාමාන්‍යයෙන් එය පිළිකාවක් හෝ ගෙඩියක් (Tumor) හෝ කොඳු ඇට පෙළේ ව්‍යුහය ඛාදනය වන ආසාදනයක් නිසා ඇතිවිය හැකිය.


වෙනත් සන්ධි වේදනාවන් සමඟ කොන්දේ වේදනාව ඇතිවේ නම්,


සාමාන්‍යයෙන් කොන්දේ වේදනාව ඇතිවන්නේ මාංශ පේශි හේතුවක් නිසා නම් එය කොන්දේ එක් ස්ථානයකට සීමා වේ. කොන්දේ වේදනාව වෙනත් සන්ධි වේදනාව සමඟ ඇතිවේ නම්, මුළු ශරීරයේම පවතින මෙම ඒකාබද්ධ වේදනාවන් මඟින් විශාල හේතුවක් ඇඟවිය හැකිය. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ ශරීරයේ සන්ධි කිහිපයකට බලපාන ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් හේතුවෙනි.


කොන්දේ වේදනාව සති 6 කට වඩා වැඩි කාලයක් එකදිගට පවතී නම්,


සති 6 කට වඩා වැඩි කාලයක් එකදිගට පවතින කොන්දේ වේදනාව සඳහා සාමාන්‍යයෙන් වැඩිදුර තක්සේරුවක් අවශ්‍ය වේ. මෙය අස්ථි බිඳීම්, පිළිකාවන්, ආසාදන හෝ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වල ලක්‍ෂණක් විය හැකිය. මෙම තත්ත්වය වෛද්‍යවරයෙකු හෝ ශල්‍ය වෛද්‍යවරයකු විසින් ඇගයීමට ලක් කල යුතුය .


ඔබට ඉහත රෝග ලක්‍ෂණ එකක් හෝ කිහිපයක් තිබේ නම් ඔබ කුමක් කළ යුතුද?


ඔබ මෙම රෝග ලක්‍ෂණ අත්විඳින්නේ නම් හෝ ඔබේ කොන්දේ වේදනාව සති 6 කට වඩා වැඩි කාලයක් පවතී නම්, බිය නොවී මෙය ඔබ ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කල යුතු තත්ත්වයක් බව හඳුනාගෙන වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න .


පොදුවේ ගත් කල, කොන්දේ වේදනාව නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ. රෝග මූලයට ප්‍රතිකාර නොකළහොත්, සන්ධි පරිහානිය හෝ නිදන්ගත මාංශ පේශි වේදනාව ලෙස එය වඩාත් උත්සන්න විය හැක. ටැම්ලින් පවසන්නේ, “දිගු කාලයක සිට වේදනාව අත්විඳින විට ශරීරයට ‘නව සාමාන්‍ය’ තත්ත්වයකට අනුවර්තනය වී වේදනා සංවේදනය අඩු කළ හැකි බව ය. නමුත් එයින් අදහස් කරන්නේ වේදනාව 'නැති වී' හෝ 'එය සුව වී' යන්න නොවේ. ශරීරය දැන් නව, පහළ ක්‍රියාකාරී මට්ටමකට අනුවර්තනය වී ඇති බවය. තවද, වේදනාව දැනෙන්නට පටන් ගන්නා ශරීරයේ වෙනත් ප්‍රදේශයක් බොහෝ විට තිබිය හැකි බවය. ”

 

References:-

https://www.parkwayeast.com.sg/healthplus/article/take-back-pain-seriously

https://utswmed.org/medblog/5-signs-your-back-pain-might-be-emergency/

https://www.everydayhealth.com/back-pain/back-pain-treatment-doctor.aspx

 


සචිනි ගුණසේකර

5 views0 comments

Comments


bottom of page