top of page

ජල චිකිත්සාව (Hydrotherapy) යනු කුමක්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

ජල චිකිත්සාව නොහොත් ජලජ භෞත චිකිත්සාව යනු ජලයේ අද්විතීය ගුණාංග වන උත්ප්ලාවකතාව සහ ද්‍රවස්ථිතික පීඩනය උපයෝගී කර ගනිමින්, පුද්ගලයෙකුගේ ක්‍රියාකාරීත්වය උපරිම කිරීම සඳහා, භෞතික, කායික හෝ මානසික වශයෙන්, ජලයේ සිදුකරනු ලබන සුවිශේෂී භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයකි.

මෙම චිකිත්සාව වසර දහස් ගණනක් තිස්සේ භාවිත වන ප්‍රතිකාර ක්‍රමක් වන අතර ස්නායු හා මාංශ පේශි සම්බන්ධ රෝග සහිත රෝගීන් සඳහා බහුලව භාවිත කරයි.



ජල චිකිත්සාවේ ප්‍රයෝජන


මාංශ පේශි ලිහිල් කිරීම සහ මාංශ පේශි වල ඇතිවන ගැස්ම අඩු කිරීම.

උණුසුම් දිනයක තටාකයක දිය නෑමෙන් ලැබෙන සැහැල්ලු බව සියලු දෙනා දන්නා කරුණකි. එසේ සිදුවන්නේ, ජලය මඟින් අපට ඇති කරන පහසුව සහ අපගේ වෙහෙසට පත් මාංශ පේෂි ලිහිල් කිරීම නිසාවෙනි. තවද උණුසුම් ජලය මාංශ පේශි කැක්කුම අඩු කිරීමටද උපකාරී වේ.


උණුසුම් බව සහ ආධාරක හැකියාව නිසා වේදනාව අඩු කිරීම.

ජලය මඟින් ඇතිකරන ප්‍රතිරෝධය නිසා ජලය තුළ සිදුකරන චලන වල වේගය අඩු වන අතර එමඟින් සැලසෙන ස්වාරක්ෂක ගුණය නිසා වේදනා කාරී තත්ත්ව ඇති වීම අවම කරයි. තවද මාංශ පේශිවලට රුධිර සැපයුම වැඩි කිරීමෙන් සහ දුර්වල ශරීර කොටස් වලින් දැනෙන බර අඩුකිරීමෙන් පුද්ගල සුවපහසුවය වැඩි කරයි. මේ හේතු නිසාවෙන් වේදනාව අවම වේ.


ගුරුත්වාකර්ෂණය, උත්ප්ලාවකතාවය මඟින් පාලනය කිරීම.

ජලයේ උත්ප්ලාවකතාව මඟින් ඔබේ සන්ධි හා කොඳු ඇට පෙළ මත ඇති කෙරෙන පීඩනය හෝ සම්පීඩන බලයේ ප්‍රමාණය අඩු කරයි. ඔබ ඔබගේ බෙල්ල ප්‍රදේශය දක්වා ජලයේ ගිලී සිටින විට, ඔබේ ශරීරය මතට දැනෙන බර (පීඩනය) 90% කින්ද, ඔබ ඔබගේ ඉණ දක්වා ජලයේ ගිලී සිටින විට, ඔබේ ශරීරයට දැනෙන බර (පීඩනය) 50% කින් අඩු වේ. ශල්‍යකර්මයනක් සිදු කිරීමෙන් පසු සුව වන අවධියේදී අදාළ ශරීර කොටස් තුළ කොපමණ පීඩයක් ලබාදිය යුතුදැයි අප සැල්ස්කිලිමත් විය යුතු අතර එහිදී මෙය විශේෂයෙන්ම උපකාරී වේ.


සන්ධිවල චලන පරාස පවත්වා ගැනීම සහ වැඩි දියුණු කිරීම.

ජලය යනු, චලන පහසු කරවන සහ ඒ සඳහා සහාය වන මාධ්‍යයකි. ඒ අනුව ජලය මඟින් චලන පරාස වැඩි කිරීමෙහිලා ආරක්ෂිත, වේදනා රහිත පසුබිමක් සකසා දෙයි.


ජලයේ වැඩි ප්‍රතිරෝධයක් තිබීම හේතුවෙන් මාංශ පේශි වල ශක්තිය හා විඳ දරාගැනීමේ හැකියාව වැඩි කිරීම.

ජලයේ ඇති ප්‍රතිරෝධක බලය හේතුවෙන් එය විටෙක ආධාරකයක් ලෙසද, විටෙක ප්‍රතිරෝධකයක් ලෙසද අවස්ථානුකූලව යොදාගනිමින් කාය වර්ධක ස්ථානයක ආකරයෙන් ස්වායු ව්‍යායාම් කටයුතු පහසුවෙන් සිදු කළ හැකිය.


ද්‍රවස්ථිතික පීඩනය හේතුවෙන් ඉදිමීම් තත්ත්ව සමනය කිරීම.

ජලයේ පීඩනය තුවාල වූ ප්‍රදේශයෙන් තරලය නැවත ශරීරයට ගෙන යාමට උපකාරී වේ. මෙමඟින් ඉදිමීම් සමනය වේ. තවද, ශක්තිය හා චලන ප්‍රාසය නැවත ලබා ගනිමින් ප්‍රකෘතිමත් තත්ත්වයට පතවීම සඳහා ඉදිමීම අඩුවීම අත්‍යවශ්‍ය වේ.


සමබරතාවය සහ ස්ථාවරබව වැඩි දියුණු කිරීම.

ජලයේ ස්ථාවරව සිටීම, ජලය රහිතව එය සිදුකිරීමට වඩා, වඩාත් ඵලදායී වේ. එම නිසා ශරීරීක සමබරතා දියුණු කරන ක්‍රියාකරකම් සහ ක්‍රීඩා වලට විශේෂිත ක්‍රියාකාරකම් වඩා පහසුවෙන් සිදු කළ හැකිය.


ක්‍රියා ශක්තිය නැති වූ මාංශ පේෂි වල සංවේදන නැවත ඇති කිරීම

ජලය මගින් ලබා දෙන ප්‍රතිරෝධී බලය නිසා රෝගියා චලන දැක්වීමේදී වේගය සීමා කරයි. මෙසේ වැඩි කාලයක් ගැනීම නිසා මෙය, මාංශ පේශි වලින් මොළයට ලැබෙන සන්නිවේදන වඩාත් හොඳින් සැකසීමට ඉඩ සලසයි. මේ අනුව රෝගියාට උග්‍ර පේශි දුර්වලතාව සහ කොඳු ඇට පෙළේ මාංශ පේශි ක්ෂය වීම වැනි ස්නායු ආබාධයක් තිබේ නම්, විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්‍රවස්ථිතික ව්‍යායාම මඟින් මාංශ පේශි වල සන්නිවේදන නැවත ඇති කිරීම පහසු කරයි.


රුධිර සංසරණය වැඩි දියුණු කිරීම (සමේ ඇති පෝෂී තත්ත්ව).

ජල ධාරා මෘදු ලෙස ගලා යාම සාමාන්‍ය සම්බාහනයකි. මෙය රුධිර සංසරණය ප්රවර්ධනය කිරීමට උපකාරී වේ.


චලනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීම.

ජලය යනු නිරන්තරයෙන් වෙනස් වන පරිසරයක් වන අතර එමඟින් ඔබට අභියෝගාත්මක පරිසරයක් ඇති කර ප්‍රතිකාර ලැබීම මඟින් ඉක්මන් සුවය ලබා ගැනීමට පොළඹවයි.



ජලය සතු භෞතික ගුණ සහ ජල චිකිත්සාවට එහි ඇති බලපෑම.


ජලය සතු සුවිශේෂී භෞතික ගුණාංග වනුයේ, උත්ප්ලාවකතාවය, ද්‍රවස්තථිතික පීඩනය, පෘෂ්ඨික ආතතිය, සාපේක්ෂ ඝනත්වය, දුශ්ශ්‍රාවීතාවය, සංසක්ති - ආසක්ති බල, ආකූලතාවය, විශිෂ්ට තාපය, තාප සන්නායකතාවය, වර්තනය සහ පරාවර්තනයයි. ජල චිකිත්සාව සිදුකිරීමේදී, භෞත චිකිත්සකයින් විසින් මෙම ගුණ සතු ප්‍රතිලාභ උපයෝගී කරගනු ලබයි.


උත්ප්ලාවකතාව සහ එහි බලපෑම


උත්ප්ලාවකතාව යනු ගුරුත්වාකර්ෂණ බලයට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලයයි. එමඟින් බර දරණ සන්ධි, මාංශ පේශි සහ සම්බන්ධක පටක මත ඇතිවන ආතතිය හා සම්පීඩනය අඩු කරන අතර දුර්වල වූ ශරීර කොටස්, ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව ඔසවා තබා ගනියි. තවද, එය ආධාරක හෝ ප්‍රතිරෝධක බලයක් ලෙසද ජල චිකිත්සාවේදී භාවිත කළ හැකිය.


ද්‍රවස්ථිතික පීඩනය (ජල පීඩනය) සහ එහි බලපෑම


ජලය තුළ ගිලුනු වස්තුවක එක් එක් පෘෂ්ඨය මත ජල අණු මඟින් ඇති කරණු ලබන තෙරපුම් බලයක් පවතී. වස්තුව නිශ්චලව පවතින විට නිශ්චිත ගැඹුරක් තුළ පීඩනය සමාන වන අතර ගැඹුර වැඩි වත්ම පීඩනය වැඩිවේ. මෙයින් අදහස් කරන්නේ ශිරා හෝ වසා ප්‍රවාහය අඩුවීම හේතුවෙන් ඇතිවන ඉදිමීම් (ශෝථය), ජල පෘෂ්ඨයට පහළින් සිටින සේ තබමින් ද්‍රවස්ථිතික පීඩනය වැඩි කරමින් සිදුකරන ව්‍යායාම් මඟින් වඩාත් පහසුවෙන් අඩු කළ හැකි බවයි. තවද එය සංසරණය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වන අතර රුධිරය වඩාත් කාර්යක්ෂමව හෘදයට ගලා ඒම වැඩි කරයි (පාද වල සිට හෘදය දක්වා). උත්ප්ලාවකතාව සහ ද්‍රවස්ථිතික පීඩනය එක්ව යොදා ගනිමින් සමතුලිතා වර්ධක ව්‍යායාමද සිදු කොට එමගින් සමබරතාවය සහ ස්ථාවරබව වැඩි දියුණු කරයි.



ජල චිකිත්සක උපකරණ


ජල පාදක රෝග සුව කිරීමේ සහ නැවත ප්‍රකෘතිමත් තත්වයට පත් කිරීමෙහිලා ජල චිකිත්සක උපකරණ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වඩාත්ම ජනප්‍රිය ජල චිකිත්ස්ක උපකරණ වනුයේ, floats (noodles, vests/collars, belts), kickboards, webbed gloves, flippers/fins, hydro barbells, aquatic paddles, aqua/hydro dumbbells, jets, trays සහ resistance boots වේ.



ජල චිකිත්සාව භාවිත වන අවස්ථා.


  • කොන්දේ වේදනාව / sciatica තත්ත්වය / තුනටිය අස්ථාවරත්වය

එය උග්ර හා නිදන්ගත කොන්දේ වේදනාව සඳහා වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රමයකි. චලන පරාස සහ ශක්තිය නැවත ලබාගැනීමේදී වේදනාව සහ මාංශ පේශි කැක්කුම අඩු කිරීම සඳහා මෙය භාවිතා කරයි.


  • ක්‍රීඩා නිසා සිදු වූ තුවාල

කොඳු ඇට පෙළේ සිදුවන අනතුරු වල සිට තැලීම් සහ ඉදිමීම් දක්වා වන පරාසය තුළ සිදු විය හැකි ක්‍රීඩා අනතුරු සහ තුවාල සඳහා, නැවත පෙර තත්ත්වයට පත්කිරීමේ හා ප්‍රකෘතිමත් වීමේ අවධියේදී ජල චිකිත්සාව උපකාරි වේ.


  • ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස්

වේදනාව සමනය කිරීමට සඳහා ඇන්කිලෝසින් ස්පොන්ඩිලයිටිස් රෝගීන් අතර භාවිත කරන වඩාත් ඵලදායී ප්‍රතිකාර ක්‍රමයකි.


  • පාකින්සන් රෝගය

පාකින්සන් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා ඖෂධ හා ජලය රහිතව සිදුකරන ව්‍යායාම වලට සාපේක්ෂව ජල චිකිත්සාව, සමබරතාව සහ චලන පරාස සම්බන්ධයෙන් වඩාත් සැලකිය යුතු ලෙස ප්‍රතිලාභ ගෙන දෙයි.


ආඝාතය සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජලජ චිකිත්සාව විශේෂයෙන් උපකාරී වේ. රෝගියාගේ චලන පරාස මට්ටමෙහි සමබන්ධයකින් තොරව ක්‍රියා ශක්තිය සහ පේෂි වල සංවේදන නැවත ඇතිකිරීමෙහිලා ජලය ආරක්ෂිත පරිසරයක් සපයයි.


  • මස්තිෂ්ක ආඝාතය

  • ගර්භණී සමයේදී ඇතිවන කොන්දේ වේදනාව සහ ශ්‍රෝණි වේදනාව

  • හදිසි අනතුරු සම්බන්ධ තුවාල

  • අස්ථි බිඳීමෙන් පසු නැවත ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කිරීම, සන්ධි ප්‍රතිස්ථාපනය හෝ කණ්ඩරා අළුත්වැඩියා කිරීම.

  • කණ්ඩරා වේදනාව

  • සමබරතා සහ සමායෝයන ගැටළු

  • බෙල්ල, උරහිස සහ අතෙහි වේදනාව

  • ඔස්ටියෝ ආතරයිටිස්

  • රක්තවේදය සහ ෆයිබ්‍රොමියල්ජියා


ජල චිකිත්සාව සිදු නොකළ යුතු තත්ත්ව.


  • හෘත් සහ වාහිනී සම්බන්ධ රෝග

  • හෘත් සහ පුපුෂීය සම්බන්ධ රෝග

  • දියවැඩියා

  • සමබරතා ගැටලු

  • සෙම්ප්‍රතිශ්‍යාව

  • ඉන්ෆ්ලුවෙන්සා

  • උණ

  • සමේ රෝග

  • නොදැනුවත්ව මුත්‍රා පහ වීම

  • බාහිර (විවෘත) තුවාල

  • මෑතකදී ශල්‍යකර්මයක් සිදු කර තිබීම

  • ජලයට ඇති බිය


චාමර ලක්ෂාන්



References


https://rehabcorp.com.au/other-services/hydrotherapy/

https://www.hss.edu/playbook/fitness-friday-benefits-of-aquatic-therapy-in-rehabilitation/



Further readings


https://cheshirefitnesszone.com/what-are-the-common-types-of-equipment-used-in-aquatic-therapy/

Comments


bottom of page