top of page

Whiplash අනතුරු යනු කුමක්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

Whiplash අනතුරු යනු බෙල්ලේ මාංශ පේශි, කණ්ඩරාවන් සහ අනෙකුත් මෘදු පටක වලට හානි වීමකි. හිසෙහි, ඉදිරියට පසුපසට හෝ පැත්තට ක්ෂණිකව සිදුවන ප්‍රභල චලන වල ප්‍රතිඵලයක් ලෙස මෙම තත්ත්වය ඇතිවේ.


Whiplash අනතුරු වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වන්නේ Cervical Acceleration-Deceleration (CAD) සින්ඩ්‍රෝමය ලෙසය.

ඔබේ බෙල්ලේ මෘදු පටක (මාංශ පේශි සහ අස්ථි කොටස්) ඒවායේ සාමාන්‍ය චලින පරාසයෙන් ඔබ්බට චලනය වීමෙහි ප්‍රතිඵලයක් ලෙස එම පටක වල සිදුවන අධික ඇදීම whiplash Injury වලට හේතු වේ.


Whiplash Injury ඇතිවීමට හේතුව කුමක්ද?


බොහෝ විට Whiplash Injury ඇතිවන්නේ මෝටර් රථයක පසුපස ගැටීමෙන් සිදුවන අනතුරු වලිනි. එසේම හිසට පහර දීම, රෝලර්කෝස්ටර්, පාපන්දු ක්‍රීඩාව, හිම මත ලිස්සා යාම හෝ අශ්වාරෝහක ඉසව් අතරතුර සිදුවන වැටීම් නිසා ග්‍රෛවී කශේරුකාව මත ඇතිවන අධික ත්වරණ-මන්දන බලයන් ද Whiplash Injury සඳහා හේතු වේ.


Whiplash අනතුරු යාන්ත්‍රණය

  • පළමු පියවරේදී, ගෙල ඉදිරියට නැමීම හේතුවෙන් ග්‍රෛවී වක්‍රය නැති වී යයි.

  • දෙවන පියවරේදී, පහළ කශේරුකා වලින් පිටුපසට නැමීම ඇරඹී ක්‍රමයෙන් ඉහළ කශේරුකා පිටුපසට නැමීම හේතුවෙන් ග්‍රෛවී කශේරුකා "S" හැඩැති වක්‍රයක් ගනී.

  • අවසන් පියවරේදී, ග්‍රෛවී ප්‍රදේශයේ ඉහළ සහ පහළ අන්තයන් දෙකම පිටුපසට නැමීම හේතුවෙන් සමස්ත ගෙල ප්‍රදේශයම පිටුපසට නැවේ.


රෝග ලක්ෂණ


  • බෙල්ලේ වේදනාව

  • බෙල්ලේ තද ගතිය

  • උරහිස් වේදනාව

  • කරකැවිල්ල

  • පිට කොන්දේ වේදනාව

  • අතේ හා බාහුවේ වේදනාව

  • අතේ හා බාහුවේ හිරිවැටීම

  • කන්වල අගුලු වැටීම

  • අවධානය සහ මතක තබා ගැනීමේ ගැටළු

  • නින්ද නොයාම



රෝග නිර්ණය


ඔබ භෞත චිකිත්සකවරයෙකු හෝ වෛද්‍යවරයෙකු වෙත ගිය පසු, ඔවුන් පියවර තුනක් අනුගමනය කරමින් ඔබගේ රෝග නිර්ණය සිදුකරනු ඇත.


  • පළමුවෙන්ම ඔවුන් ඔබේ අනතුර පිලිබඳව, එය සිදු වූ ආකාරය, ඔබට වේදනාව දැනෙන්නේ කොතැනද, සහ වේදනාව දැනෙන්නේ කෙසේද යන්න වැනි ප්‍රශ්න ඔබෙන් අසනු ඇත.

  • දෙවනුව ගෙල ප්‍රදේශය හා කශේරුව ප්‍රදේශය පරික්ෂා කරනු ලබයි. එසේම ඔබේ ඉරියව්, චලන පරාසයන් විමර්ශනය කරනු ලැබේ.

  • අවසාන වශයෙන් ආතරයිටිස් වැනි රෝග නිසා ඇතිවන තත්ත්ව සහ Whiplash Injury නිසා ඇතිවූ හානි පැහැදිලිව හා වෙන්ව නිර්ණය කිරීමට X-Ray, MRI or CT ස්කැන් වැනි පරික්ෂණ සිදු කරනු ලැබේ.


මෙම පියවර වලින් පසු භෞත චිකිත්සකවරයාට Whiplash Injury තත්ත්වයක් ද බව නිගමනය කළ හැකිය.


ප්‍රතිකාරය


Whiplash Injury අනතුරු සඳහා සිදුකරන පිළියම් වලදී, රෝගියා විසින් පිළිපැදිය යුතු පිළිවෙත් සහ වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙවර්ගයකි. මෙහිදී පහත සඳහන් කරුණු ඔබ විසින් පිළිපැදිය යුතුය.


1️. අයිස් තැබීම

අබාධය සිදුවූ පසු හැකි ඉක්මනින් වේදනාව හා ඉදිමීම අඩු කිරීමට අයිස් තබන්න. සමට තුවාල වීම වැළැක්වීම සඳහා අයිස් තුනී තුවායක් හෝ රෙදි කඩකින් ඔතා භාවිත කරන්න.


2️. විවේකය

ක්‍රියාශීලීව සිටීම සුදුසු වුවද, පළමු දින කිහිපය තුළ දී අධික ලෙස වෙහෙස වීමෙන් හෝ බෙල්ලේ වේදනාව ත්‍රිව කරන ක්‍රියාකාරකම් සීමා කිරීම සුදුසුය.


3️. නිවැරදි ඉරියව්ව

Whiplash Injury අනතුරකින් පසුව නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතා වැදගත්ය. ඔබ වාඩි වී සිටින විට, සිටගෙන සිටින විට හෝ ඇවිදින විට ඔබේ කොඳුඇටපෙළ කෙළින් තබා ගන්න. ඔබ මේසයක වාඩි වී බොහෝ වේලාවක් ගත කරන්නේ නම්, නිතර විවේකයක් ලබාගැනීම සුදුසුය.


4️. වෙහෙසකාරී ක්‍රියාකාරකම් වලින් වැළකීම

දැඩි ලෙස ශරීරයට වෙහෙසකාරී ක්‍රියාකාරකම් වලින් වැලකී සිටිය යුතුය. (බර ඉසිලීම, රග්බි සහ බොක්සිං වැනි ක්‍රීඩා)


Whiplash Injury නිසා ඇතිවිය හැකි සංකූලතා


  • බරපතල whiplash තත්ත්ව වලදී


ස්නායු වලට හානි වීම හෝ බෙල්ලේ අස්ථි බිඳීම වැනි තත්ත්ව ඇති විය හැකිය. බොහෝ විට මෙම තත්ත්වයන් සති කිහිපයක් සිට මාස කිහිපයක් වන විට සුවය ලැබිය හැකි නමුත් සමහරුන්ට මාස කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් ද අඛණ්ඩව වේදනාවක් ඇති වේ.


  • සංකුලතා සදහා අවදානම් සාධක


මීට පෙර whiplash Injury තත්ත්ව ඇතිවී තිබීම

වයස්ගත වීම


Whiplash අනතුරු වලක්වා ගැනීම


හදිසි අනතුරක් නිසා ඇති වන Whiplash Injury වැළැක්වීම සඳහා ඔබට කළ හැකි දේ සීමා සහිතය.


රිය පැදවීමේදී,


  • ඔබේ මෝටර් රථයේ ඔබ සඳහා ඇති Headrest නිවැරදිව සවි කර ඇති බවට සහතික වන්න.


Whiplash Injury වලක්වා ගැනීමට නම් අනතුරකදී හිස හා ශරීරය එකට ගමන් කල යුතුය. Head Restraint සැලසුම් කර ඇත්තේ ශරීරයට සාපේක්ෂව හිස විස්ථාපනය වීම සීමා කිරීම සඳහා ය. එබැවින් වාඩි වී වාහනය පදවන විට එය නිසි පරිදි ස්ථානගත වී ඇති බවට වග බලා ගන්න. Headrest හි ඉහල කොටස ඔබේ කනේ ඉහල කොටස හා සමපාත විය යුතු අතර එය ඔබේ හිසේ ඉහල කොටස හා සමාපාත වන්නේ නම් වඩාත් සුදුසුය. එය ස්ථානගත කිරීමේදී ඔබගේ හිසට වඩා ඉහළින්, පහළින් හෝ දුරස්ථව නොතැබීමට වග බලා ගන්න.


  • ආසන පටියක් පළඳින්න.


ඔබේ ආසනය ඍජුව තබාගැනීමට හා ආසන පටි පැළඳීමට වග බලා ගන්න. මන්දයත් අනතුරකදී පවා වඩාත් සුරක්ෂිත ලෙස සිටීමට එය ඉවහල් වේ.

ආරක්ෂිත රිය පැදවීමේ පුරුදු භාවිත කරන්න.අසන පටි පැලදීමේදී එය පපුව හරහා පැළදිය යුතු අතර අතට යටින් පැළදීමෙන් වලකින්න.


  • සුක්කානම් ඔබේ මුහුණට නොව ඔබේ පපුවට සමපාත ලෙස තබාගන්න.


ක්‍රීඩා කිරීමේදී


  • ආරක්ෂක උපකරණ පළඳින්න.


විශේෂයෙන්ම බොක්සිං, පාපන්දු වැනි ක්‍රීඩා අතරතුරු මඟහරවා ගැනීමේදී ඔබේ හිස සහ බෙල්ල ආරක්ෂිත බව තහවුරු කර ගැනීම සඳහා අදාල ආරක්ෂක උපකරණ පැළඳිය යුතුය


  • බෙල්ලේ මාංශපේශි ශක්තිමත් කරන ව්‍යායාම වල නිරත වන්න. මීට පෙර බෙල්ලේ අනතුරු ඇතිවී ඇත්නම් මෙය ඉතා වැදගත්ය.


ධරණී ගුණවර්ධන


References


https://www.healthdirect.gov.au/whiplash


https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/whiplash-injury


https://www.healthline.com/health/whiplash

4 views0 comments

Comentarios


bottom of page