top of page
Writer's pictureWephysio MFC

ආඝාතය තත්වයකින් පසු භෞතචිකිත්සක ප්‍රතිකාර වල වැදගත්කම

ආඝාතය යනු රුධිර වාහිනී පිපිරී යාම හෝ අවහිර වීම නිසා මොළයේ ඔක්සිජන් ඌනතාවයක් ඇති වූ විට හදිසියේම සිහිය නැති වීමයි. ආඝාතයකින් පසු එය කෙනෙකුගේ ජීවිතයට ශාරීරිකව, මානසිකව මෙන්ම ජීවිතයේ ගුණාත්මක භාවයට ද අහිතකර ලෙස බලපායි. මෙම අයහපත් බලපෑම් වලින් මිදීමට භෞතචිකිත්සාව ඉතා වැදගත් වේ.



සංකූලතා වැලැක්වීම සඳහා රෝගියා ස්ථානගත කිරීම

මූලික අවධියේදී රෝගියා ස්ථානගත කිරීම ඉතා වැදගත් වේ. මෙහි පරමාර්ථය වන්නේ මාංශ පේශි තානය වෙනස් කිරීම, සුදුසු සංවේදී සැපයීම, අවකාශීය දැනුවත්භාවය වැඩි කිරීම සහ පීඩනය නිසා ඇතිවන තුවාල, සංකෝචනය, වේදනාව, ශ්වසන ආබාධ වැනි සංකූලතා වළක්වා ගැනීම සහ ආරක්ෂිතව ආහාර අනුභව කිරීමට සහය වීමයි.


නිවැරදි ස්ථානගත කිරීම පහත අවදානම් අඩු කිරීමට උපකාරී වේ,


  • තෙරපුම මගින් ඇතිවන තුවාල

  • ශ්වසන අවහිරතා

  • මාංශ පේශි සංකූලතා

  • ශරීරයේ අන්තවල ඉදිමීම


පහත කරුණු වැඩිදියුණු කරයි,


  • පේශි තානය සාමාන්‍යකරණය කිරීම හෝ ශරීරයට අසාමාන්‍ය බලපෑමක් අඩු කිරීම.

  • අස්ථි පෙලගැස්ම පවත්වා ගැනීම.

  • බලපෑමට ලක් වූ පැත්තට උත්තේජනය වැඩි කිරීම.

  • රෝගියාගේ සුවපහසුව ප්‍රවර්ධනය කිරීම.

  • සාමාන්‍ය චලන රටාවන්ට පහසුකම් සැපයීම.

  • අසාමාන්‍ය චලන රටා පාලනය කිරීම.

  • විඩාවට පත්වීම අඩු කිරීම.

  • ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.


අතිරික්ත ශ්‍රාවයන් ඉවත් කිරීම මගින් පෙනහළු පිරිසිඳුව තබා ගැනීම

ආඝාතය තත්ත්වයකට පසු, නිශ්චලතාවයෙන් සිටීම නිසා පෙනහළු පරිමාව අඩු වීමටත්, ශ්වසන ශක්තිය වැඩිවීමත්, පෙනහළු හැකිළීම අවදානම වැඩි කිරීමටත් හේතු වේ. මෙම තත්වයන් පශ්චාත්-ආඝාත නියුමෝනියාවට හේතු විය හැක. එම නිසා පෙනහළු වල එකතු වන ස්‍රාවයන් ඉවත් කිරීමට උරස් භෞත චිකිත්සාව වඩාත් වැදගත් වේ. පෙනහළු වලින් ස්‍රාවයන් ඉවත් කිරීම සඳහා භෞතචිකිත්සක නිළධාරින් විසින් නිසි ක්‍රමවේද සිදු කරනු ලැබේ. ඒ අතරින් සමහරක් සාමාන්‍ය කැස්ස උත්තේඡනය සහ යාන්ත්‍රික ක්‍රම ද භාවිතා කරයි.


ආශ්වාස ප්‍රශ්වාසය හොදින් පවත්වා ගැනීම

ආඝාතයකින් පසු, නිශ්චලතාවයෙන් සිටීම නිසා පෙනහළු පරිමාව අඩු වීමටත්, පෙනහළු වල ස්‍රාවයන් එකතු වීම සිදුවේ. එම නිසා රෝගීන්ට නිසි ශ්වසනය පවත්වා ගත නොහැක. හුස්ම ගැනීමේ රටා හඳුනා ගනිමින්, හුස්ම ගැනීමේ ව්‍යායාම, හුස්ම ගැනීමේ නිසි ක්‍රමවේද සහ ස්පිරෝමීටර භාවිතයෙන් එම තත්ත්වය නිවැරදි කිරීමට උපකාරී වේ.


මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම

ආඝාතයෙන් පසු ශරීරයේ අර්ධයක් අකර්මණ්‍ය වීම හෝ දුර්වල වීම සිදුවේ. මාංශ පේශි දුර්වලතාවය සහ ඇවිදීමේ ක්‍රියාකාරිත්වය අඩුවීම දිගුකාලීන ආබාධිතභාවයට ප්‍රධාන හේතුවකි. පාදයේ මාංශ පේශි ශක්තිය සහ සංචලතාව වැඩි දියුණු කිරීම සඳහා ඵලදායී පුහුණුවක් අවශ්‍ය වේ. භෞතචිකිත්සක නිළධාරින් විසින් බලපෑමට ලක් වූ මාංශ පේශීන්ගේ ශක්තිය, පැවැත්ම, චලනයේ පරාසය නිසි ලෙස තක්සේරු කරන අතර මාංශ පේශි ශක්තිය ක්‍රමයෙන් වැඩි කිරීම සඳහා ව්‍යායාම වැඩසටහන් නිර්මාණය කරයි.


රෝගියා නිශ්චල තත්වයේ සිට ඇවිදීම දක්වා ක්‍රමක්‍රමයෙන් රැගෙන ඒම

ඔබ වෛද්‍ය විද්‍යාත්මකව ස්ථාවර වූ පසු, ඉලක්කය වනුයේ හැකි ඉක්මනින් ඔබව ගමන් කරවීරීමයි. ඔබේ ඇඳ වටා ගමන් කිරීම, පසුව ඇඳේ සිට පුටුවට ගමන් කිරීම, සිටගෙන සිටීම, ආධාරයෙන් හා නැතිව ඇවිදීම සහ අවසානයේ පඩි පෙළ නැගීම මෙයට ඇතුළත් වේ. මෙය ක්‍රමයෙන් සිදුවන ක්‍රියාවලියක් විය හැකි අතර, සෑම පියවරක්ම නිවැරදිව ලබා ගැනීම වැදගත් වන අතර එමඟින් ඔබට සමබරව චලනයෙහි යෙදීමට හැකි වනු ඇත.


පුටුවක වාඩි වී සිටිනවාට වඩා ඇඳේ ආරක්ෂිතව වාඩි වී සිටීම වඩා දුෂ්කර ය, එබැවින් ඔබට කොට්ට ආධාරයෙන්, බලපෑමට ලක් වූ පැත්තෙන් සුදුසු ලෙස ඇඳ අසල පුටුවක වාඩි වී සිටිනු ඔබට ඉක්මනින් හැකි වනු ඇත. මෙය ඔබගේ සමබරතාවය නැවත ස්ථාපිත කිරීමට උපකාරී වේ. නිසි කාලයේදී, භෞත චිකිත්සකවරයා විසින් අමතර සහායකයන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු භාවිතා කර ඔබේ පාද පොළොව මතට ගෙන එනු ඇත. මෙය ඔබේම බරට සහය වීමට සහ ඔබේ කඳ, ඉණ සහ කකුල් වල මාංශ පේශි භාවිතා කිරීමට දිරිගන්වනු ඇත. ඔබේ භෞතචිකිත්සක නිළධාරිවරයා ඔබේ ශක්තිය හා නම්‍යතාවය නැවත ලබා ගැනීමට කාලය අවශ්‍ය නම් ගමන් කිරීමට ඔබව දිරිමත් නොකරනු ඇත.


පියවරෙන් පියවර සඳහන් කළ පරිදි භෞතචිකිත්සක නිළධාරිවරයා ඔබව ඇවිදීමට වැඩි දියුණු කරයි.


නිසි ඇවිදීමේ පුහුණුව තුළින් ඇවිදීම වැඩි දියුණු කිරීම

ආඝාතයකින් පසුව පුනරුත්ථාපනය සඳහා නිවැරදිව ඇවිදීමේ පුහුණුව ඉතා වැදගත් කොටසකි. මාංශ පේශි දුර්වලතාවය හෝ අකර්මණ්‍ය බව, දුර්වල චලන පාලනය සහ මෘදු පටක හැකිලීම ආඝාතයකින් පසු ඇවිදීමේ දුර්වලතාවයට ප්‍රධාන ලෙස දායක වේ.


ඇවිදීම ප්‍රශස්ත කිරීම සඳහා බලපාන කරුණු,


  • පාදයේ මෘදු පටක වල අනුවර්තී වෙනස්කම් වලක්වා ගැනීම

  • පාදවල ප්‍රධාන මාංශ පේශි ඉච්චානුගව සක්‍රීය වීම

  • මාංශ පේශි ශක්තිය හා සමායෝජනය වැඩි කිරීම

  • ඇවිදීමේ වේගය සහ පැවැත්ම වැඩි කිරීම

  • හෘද වාහිනී යෝග්‍යතාවය වැඩි කිරීම.


ඇවිදීමේ පුහුණුවෙහි වැඩි අවධානයක් යොමු කරනුයේ,


  • පාදවලට සම්බන්ධ ශරීර ස්කන්ධය

  • ශරීර ස්කන්ධය දරා ගැනීම

  • ශරීර ස්කන්ධයෙහි සමතුලිත බව සහ එය එක් පාදයකට වැඩියෙන් නැඹුරු වන්නේද යන බව

  • රිද්මය හා සමායෝජනය ප්‍රශස්ත කිරීම.


චලනයන් නැවත ඉගෙනීම

ආඝාතයකට පසු, අපගේ මොළයේ හානියට පත් සෛල ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නව සෛල වර්ධනය කළ නොහැක, එබැවින් ඔබේ ප්‍රකෘතිය රඳා පවතින්නේ හානියට පත් නොවන සෛල ප්‍රතිසංවිධානය කිරීමට සහ නැතිවූ දේ සපුරාලීමට ඔබේ මොළයට ඇති හැකියාව මත ය. මෙය Neuroplasticity ලෙස හැඳින්වේ. භෞතචිකිත්සාවට උපකාර කිරීම සඳහා විශේෂ ප්‍රායෝගික මග පෙන්වීමක් ලබා දිය හැකිය. නිශ්චිත ස්නායු මාර්ග හා උපාගමයන් උත්තේජනය කිරීමේ මෙම හැකියාව සදහා භෞතචිකිත්සක මැදිහත්වීම් මගින් සෞඛ්‍යය වැඩි දියුණු කළ හැක. විශේෂිත ව්‍යායාම පුහුණුව, සංජානන පුහුණුව සහ ස්නායු භෞතවේදය වැනි ප්‍රතිකාර සියල්ලම පදනම් වී ඇත්තේ Brain plasticity මත බව අපගේ වර්තමාන අවබෝධයයි. මොළයේ හානිය හෝ ස්නායු තුවාල වීමෙන් පසු ස්නායු ආචරණය පාලනය කරන යාන්ත්‍රණයන් පිළිබඳ වඩා හොඳ අවබෝධයක් තිබීම මගින් රෝගියාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වේ.


සමබරතාවය සහ සමායෝජනය වැඩි දියුණු කිරීම

භෞතචිකිත්සක නිළධාරිවරයාට ඔබේ සමබරතාවය පියවරෙන් පියවර වැඩි දියුණු කළ හැකිය. ප්‍රතිකාර සඳහා ස්ථිතික හා ගතික සමබර ව්‍යායාම ඇතුළත් වේ. වාඩි වී සිටීම, ස්ථාවර සමබරතාවය සහ අවසාන වශයෙන් ඇවිදීමේදී වැටීමේ අවදානම මෙම පුහුණුව මගින් අවම වේ.


සමායෝජනය වැඩි දියුණු කිරීම සඳහා යොදා ගත හැකි වෙනත් ක්‍රම


  • Tai Chi

  • Pilates

  • Yoga

  • Otago Exercise Program and use of Balance Boards

  • Neuromuscular coordination exercises

  • Proprioceptive Neuromuscular Facilitation

  • Frenkel’s Exercises


එක් එක් පුද්ගලයාගේ ක්‍රියාකාරී හැකියාවන් සහ ස්වාධීනත්වයේ මට්ටම උපරිම කිරීම

මෙය පදනම් වී ඇත්තේ අපගේ කාර්යයන් ඉටු කිරීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීම සඳහා අප විසින් අකුරු ලිවීමට මුලින් ඉගෙන ගත් කාලයේ දී මෙන් බොහෝ වාරයක් එම කාර්යය කිරීමට පුරුදු විය යුතු ය යන සරල අදහස මත ය. පුනරාවර්තන කාර්ය පුහුණුව ලබා ගන්නා රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් පසු අත් සහ පාදවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීමට ඉඩ ඇත. එසේම මෙය රෝගීන්ට ඔවුන්ගේ වැඩ කටයුතු ස්වාධීනව කිරීමට උපකාරී වේ.


පුද්ගලයාගේ ජීවන තත්ත්වය නැවත ගොඩනැගීම

භෞතචිකිත්සාව මගින් ආඝාතයෙන් දිවි ගලවා ගත් අයට නිර්දේශිත ශාරීරික ක්‍රියාකාරකම් ඔවුන්ගේ දෛනික චර්යාවට ඇතුළත් කර ගැනීම මගින් තවත් ආඝාතයක අවදානම 35% දක්වා අඩු කර ගත හැකිය.


එදිනෙදා ක්‍රියාකාරකම් තීව්‍ර ලෙස පුනරාවර්තනය කිරීම, දිගින් දිගටම සිදු කරන ව්‍යායාම මගින් මිනිසුන්ට තව දුරටත්, වේගයෙන්, ස්වාධීනව සහ වැඩි විශ්වාසයකින් යුතුව ගමන් කිරීමට උපකාරී වේ.


භෞතචිකිත්සාවෙන් ලබා ගන්නා සමස්ත ප්‍රතිලාභය පුද්ගලයාගේ ජීවන තත්ත්වය නැවත ගොඩනැංවීමයි. ආඝාතයකින් පසු පුද්ගලයා පෙර පැවති ජීවිතය එලෙසම බොහෝවිට අත් කර නොගනී. නමුත් භෞතචිකිත්සක නිළධාරීවරයකුට, අවම සංකූලතා සහිත යහපත් ජීවිතයක් ගත කිරීමට ඔහුට උපකාර කළ හැකිය.



දිමුතු කුමාරසිංහ



References


  • https://www.stroke.org.uk/life-after-stroke/physiotherapy-after-stroke.

  • Veerbeek JM, van Wegen E, van Peppen R, van der Wees PJ, Hendriks E, Rietberg M, Kwakkel G. What is the evidence for physical therapy poststroke? A systematic review and meta-analysis. PloS one. 2014 Feb 4;9(2):e87987.

  • https://www.northboulderpt.com/blog/gait-training-can-help-stroke-recovery.

  • Lexell J, Flansbjer UB. Muscle strength training, gait performance and physiotherapy after stroke. Minerva Med. 2008;99(4):353-368.

  • https://blog.rehabselect.net/benefits-of-physio-for-stroke-patients

7 views0 comments

Comments


bottom of page