ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ආඝාතය ලෙස අර්ථ දක්වන්නේ පැය 24 කට වඩා පවතින සායනික ලක්ෂණ සහිතව මස්තිෂ්ක ක්‍රියාකාරීත්වයට ස්ථානීයව හෝ සම්පූර්ණයෙන්ම බාධාපමුණුවන රුධිරවාහිනී වල අවහිරවීමක් හෝ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා ඇතිවන තත්ත්වයකි.
සාමාන්‍යයෙන් Ischemic ආකාරයේ ආඝාතය, ඒ අතරින් බහුල ලෙස පවතින ආකාරයකි. සියලුම ආකාරයේ තීව්‍ර ආඝාත අතරින් 85% ක් පමණ මේ ආකාරයේ ආඝාත වේ.
ආඝාතයේ ව්‍යාධිවිද්‍යාත්මක පසුබිම
මස්තිෂ්කයේ කිසියම් ප්‍රදේශයකට ඇතිවන රුධිර සැපයුම අවහිර වීම නිසා ආඝාතය ඇතිවේ. පසුව මොළයේ සෛල වල හානිසිදුවී සෛල මියයාම පවා සිදුවිය හැක.
ආඝාතය ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.
Ischemic strokes
Haemorrhagic strokes
Ischaemic ආකාරයේ ආඝාතය
රුධිර සැපයුම හා ඔක්සිජන් සැපයුම අවහිර වීම නිසා ඇති වන ආඝාතය වඩාත් බහුල ලෙස දක්නට ලැබෙන ආකාරය වන අතර එහිදී රුධිර වාහිනියක් අවහිර වීම නිසා මස්තිෂ්කයට ලැබෙන රුධිර සැපයුම අඩුවීම සිදුවේ.
රුධිර සැපයුම හා ඔක්සිජන් සැපයුම අඩුවීම නිසා සිදුවන ආඝාත පහත ආකාරයට බෙදා දැක්විය හැක.
ත්‍රොම්බෝසීය ආකාරය(Thrombosis) - මස්තිෂ්කයට රුධිරය සපයන ප්‍රධාන රුධිර වාහිනියක හෝ කුඩ රුධිර වාහිනියක රුධිර කැටියක් සිරවීම නිසා සිදුවේ. සාමාන්‍යයෙන් මෙම රුධිර කැටිය ඇතිවන්නේ වාහිනී වල බිත්තියේ ඇතිවන ලිපිඩ තැන්පතු ආශ්‍රිතවය.
එම්බොලස් ආකාරය/නික්ඛිත්තිය (Embolism) - මස්තිෂ්කයට රුධිරය ගෙන යන රුධිර වාහිනියක් තුළ, වෙනත් ස්ථානයක හටගෙන පරිවහනය වූ රුධිර කැටියක්, වායු බුබුළක් හෝ මේද බිදිති සිරවීම නිසා මොළයට සැපයෙන රුධිර ප්‍රවාහය අවහිර වීම නිසා මෙය ඇතිවේ.
සමස්ත රුධිර සැපයුම අවම වීම (Systematic hypoperfusion) - Shock වැනි අවස්ථාවක රුධිර සැපයුම සමස්තයක් ලෙස අඩුවීම මගින් සිදුවිය හැක.
ශිරා වල ඇතිවන ත්‍රොම්බෝසීය තත්ත්ව.(Venoys thrombosis )
අභ්‍යන්තර රුධිර වහන නිසා ඇතිවන ආඝාතය (Haemorrhagic strokes)
රුධිර වහන නිසා ඇතිවන ආඝාතය, මස්තිෂ්කයට රුධිරය සපයන රුධිර වාහිනියක් පුපුරා යාම නිසා සිදුවේ.මෙහිද වෙනස් ආකාර පවතී.
අභ්‍යන්තර මස්තිෂ්ක රුධිර වහන ආඝාතය- මස්තිෂ්ක අභ්‍යන්තරයේ රුධිර වාහිනී වල රුධිර වහන වීම නිසා ඇතිවන සංකූලතා හේතුවෙන් ඇතිවේ.මෙවැනි ආකාරයේ රුධිර වහනයක් වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ අධිරුධිර පීඩනයයි.
ජාලාකාර අවකාශයේ ඇතිවන රුධිර වහනයක් නිසා ඇතිවන ආඝාතය- මස්තිෂ්කයේ මතුපිට පෘෂ්ඨය සහ ජාලාකාර පටක අතර අවකාශ වල ඇතිවන රුධිර වහනයක් නිසා මේ ආකාරයේ ආඝත ඇතිවේ.
ආඝාතය සදහා අවධානම් සාධක
ආඝාතයට බලපාන හේතු ගණනාවක් පැවතිය හැක. ඒ අතරින් වඩාත් අවධානම් ගණයේ සාධක ලෙස පහත සාධක දැක්විය හැක.
අධිරුධිර පීඩනය
දියවැඩියාව
රුධිරගත කොලෙස්ටෙරෝල් සාන්ද්‍රණය වැඩිවීම
කායික අක්‍රීයශිලීබව
ස්ථුලතාවය
ජානමය සාධක
දුම්පානය
ආඝාතයක් පැමිණි බව හදුනා ගන්නේ කිරීම කෙසේද?
විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක මුහුණ, අත හෝ කකුලේ හදිසියේ ඇති වන හිරිවැටීම හෝ දුර්වලතාවය.
හදිසියේ ඇති වූ ව්‍යාකූලත්වය(confusion)
කතා කිරීමේ අපහසුතාව හෝ කථනය තේරුම් ගැනීමට අපහසු වීම හෝ සම්බන්ධීකරණ නොමැතිකම.(Difficulty in Co ordination)
එක් ඇසක හෝ ඇස් දෙකෙහිම පෙනීමේ දුර්වලතාව
ඇවිදීමට අපහසුවීම, කරකැවිල්ල සහ ශරීරයේ සමතුලිතබව අඩුවීම
මේ ආකාරයේ ආඝාතය ඇතිවූ රෝගියකු මොහොතක හෝ ප්‍රමාදයකින් තොරව රෝහලක් වෙත රැගෙනයාමෙන් එම රෝගියාට ඇතිවන සංකුලතා බොහොමයක් මගහරවා ගතහැක. ඊට හේතුව වන්නේ පමාවන සෑම මිනිත්තු 30 ක් ම එම රෝගියාගේ ආබාධිත තත්ත්වය 10%කින් පමණ ඉහල නංවන බැව් පරීක්ෂණ මගින් සනාථ කොට ඇති බැවිනි.
එමෙන්ම ආඝාතය ට ලක්වූ මොළයක ස්නායු සෛල විනාශ වීම තත්පරයට මිලියන දෙකක පමණ වේගයෙන් සිදුවන බැවිනි.
M.D. රණතුංග
References
Tadi P, Lui F. Acute Stroke (Cerebrovascular Accident) [Updated 2020 Jul 6]. In: StatPearls [Internet]. Treasure Island (FL): StatPearls Publishing; 2020 Jan-.
Global Burden of Stroke. The Atlas of Heart Disease and Stroke. MacKay J, Mensah GA. World Health Organization.
Townsend N, Wickramasinghe K, Bhatnagar P, Smolina K, Nichols M, Leal J, Luengo-Fernandez R, Rayner M (2012). Coronary heart disease statistics 2012 edition. British Heart Foundation: London. P21
Zafar F, Tariq W, Shoaib RF, Shah A, Siddique M, Zaki A, Assad S. Frequency of ischemic stroke subtypes based on toast classification at a tertiary care center in Pakistan. Asian journal of neurosurgery. 2018 Oct;13(4):984.
Comments