top of page

කාපල් ටනල් සින්ඩ්රෝමය (CTS) යනු කුමක්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

කාපල් ටනල් සින්ඩ්‍රෝමය (CTS) යනු වඩාත් සුලභ පර්යන්ත ස්නායු රෝගයකි. එය ප්‍රධාන වශයෙන් මැදිවියේ කාන්තාවන්ට බලපායි. රෝගීන්ගෙන් බහුතරයකට සීටීඑස් ඇතිවීමට නිශ්චිත ව්‍යාධිජනක හේතුව අපැහැදිලි ය. එය සිදු වන්නේ ඔබේ මැණික් කටුව තුළ ඇති කාපල් ඇලිය ඉදිමී ඔබේ ස්නායුවක් (මධ්‍ය ස්නායුව) පීඩනයට ලක් වන විටය .



මේ හේතුවෙන්

▪️වැලමිට හෝ උරහිස දක්වා විහිදෙන වේදනාව.

▪ඔබේ ඇඟිලිවල, අතෙහි හෝ අත්ලෙහි වේදනාවක් හෝ හිරිවැටීමක් ඇතිවීම, ▪තියුණු ඇනෙනසුලු වේදනාවක් දැනීම, ▪බලපෑමට ලක් වූ අතෙහි සමායෝජන ගැටලු (මාපටැඟිල්ලෙහි දුබලතා හෝ අත්ලෙහි ග්‍රහණය කර ගැනීමේ අපහසුතා) ඇතිවිය හැකි ය.

මෙම රෝග ලක්ෂණ බොහෝ විට සෙමින් ආරම්භ වන අතර විටින් විට ඇතිවේ. ඒවා සාමාන්‍යයෙන් රාත්‍රියේදී උග්‍ර වේ.


කාපල් ටනල් සින්ඩ්‍රෝමය බොහෝ හේතු නිසා සිදුවිය හැක.මැණික් කටු සන්ධියෙහි අධිභාවිතය හා ඇදීමට ලක්වීම, මෙවලම් දිගු කාලීනව ග්‍රහණය කරගෙන සිටීම සහ අසාමාන්‍ය ඉරියව් වල වැඩ කිරීම ද මෙම තත්වයට හේතු වේ. එසේම පිළිස්සුම්, රුධිර කැටි ගැසීම්, ආසාදන හා එන්නත් නිසා ද ඇති විය හැකිය.


අධි බර පුද්ගලයන්ට හා ගැබිනි කාන්තාවන් මෙම තත්ත්වය වර්ධනය වීමේ අවදානම ඉහලය.ගර්භනීභාවයේ තුන්වන ත්‍රෛමාසිකය තුළ ගර්භනී කාන්තාවන් මෙම රෝගයෙන් පෙළෙන බවබොහෝ විට හඳුනාගෙන ඇති අතර එය බොහෝ විට ද්විපාර්ශ්විකව ඇති වේ. මැණික් කටුවෙහි ආවර්තීව සිදු වන චලන,ඒ මත යෙදෙන අධි පීඩනය, කම්පන මෙවලම් වලට නිරාවරණය වීම ආදිය සම්බන්ධ වෘත්තීන්හි නිරතවන්නන්ට මේ සඳහා අවදානම ඉහළ ය. එබැවින් වැඩ වලදී ඉහළ බලයක් / පීඩනයක් සහ කම්පන මෙවලම් නැවත නැවත භාවිතා කිරීම සිදුවන කර්මාන්ත වල බහුලව දක්නට ලැබේ.ස්ත්‍රී පුරුෂ භාවය CTS සඳහා පුරෝකථනය කළ හැකි අවදානම් සාධකයකි. එය පුරුෂයන්ට වඩා බොහෝ විට කාන්තාවන්ට බලපායි. එසේම ආතරයිටිස් හෝ දියවැඩියාව තිබීම අවදානම් සාධක වේ. CTS ඇතිවූ පවුලේ සාමාජිකයන් සිටීම සහ මැණික් කටුව ආශ්‍රිතව පෙර සිදුවූ හානි ද මෙම තත්වය වර්ධනය වීමේ අවදානම වැඩි කරයි. CTS රෝග විනිශ්චය සඳහා උපකාරී වන ශාරීරික පරීක්ෂණ පරීක්ෂණ කිහිපයක් ඇති නමුත් මෙම පරීක්ෂණ කිසිවක් තනිවම රෝග විනිශ්චය නොකෙරේ. සුළු රෝග ලක්ෂණ සහිත අවස්ථාවේ තත්ත්වයන් භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් යථා තත්වයට පත් කළහැකිය.


විශේෂයෙන් ස්ටෙරොයිඩ් එන්නත් කිරීම සිදු කරනු ලැබේ. කෙසේ වෙතත්, මධ්යස්ථ හා දරුණු අවස්ථාවල දී, ශල්‍යකර්ම සිදු කළ යුතුය. ශල්‍යකර්මයේ මූලික මූලධර්මය නම් මධ්‍ය ස්නායුව මත වන පීඩනය මුදා හැරීම සඳහා හස්තකූර්චෝපරි අස්ථි අතර වන තීර්යක් බන්ධනිය කැපීමෙන් එහි පරිමාව වැඩි කිරීමයි. ඉක්මනින් සුවය ලැබීම හැරුණු විට ආරම්භක හෝ පසුකාලීන සංකූලතා, දිගු කාලීන වේදනා සමනය සම්බන්ධයෙන් සැලකිය යුතු වෙනසක් එන්ඩොස්කොපික් හා විවෘත සැත්කම් අතර නොමැත. භෞත චිකිත්සක ප්‍රතිකාර මෙන්ම විසංයෝජන සැත්කම් මගින් CTS රෝග ලක්ෂණ අඩු කර ගත හැකිය. ශල්‍යකර්මයට පසුවද භෞත චිකිත්සක ප්‍රතිකාර දිගටම කල යුතුය



නයනි සුලක්ඛනා



References


  • https://www.nhs.uk/conditions/carpal-tunnel-syndrome/

  • https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC2397020/


112 views0 comments

Comments


bottom of page