top of page

කවසකි රෝගය පිළිබද ඔබ දැනුවත් ද

Writer's picture: Wephysio MFCWephysio MFC

කවසකි රෝගය, කවසකි සින්ඩ්‍රෝමය ලෙස හඳුන්වන මෙම රෝගය වයස අවුරුදු 5 හෝ ඊට වඩා අඩු දරුවන් ට වැළදෙන රෝග නිධානය නොදන්නා, කෙටිකාලීන තීව්‍ර උණ සහිත රෝගී තත්ත්වයකි. කවසකි රෝගය ප‍්‍රධාන වශයෙන්ම වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ට වැළඳෙන රෝගයකි එමගින් රුධිරවාහිනී ප‍්‍රදාහය (ඉදිමීම හා රතුවීම ඇති කරයි)



කවසකි රෝගය ඇති වීමට හේතු

කවසකි රෝගය ඇති වීමට නිශ්චිත හේතුවක් සොයාගෙන නොමැති නමුත් දරුවාට ජානමය බලපෑම් මත රෝගය වැළඳිය හැකිය. ලෝකයේ අනිකුත් ප‍්‍රදේශ වලට සාපේක්ෂව කවසකි රෝගය ජපානය කොරියාව වැනි ඊසානදිග ආසියානු රටවල බහුලය.


කවසකි රෝගයේ රෝග ලක්ෂණ, බැක්ටීරියා හෝ වෛරස නිසා සෑදෙන රෝගයක රෝග ලක්ෂණ වලට සමාන නමුත් කවසකි රෝගය සඳහා බැක්ටීරියා හෝ වෛරස වල බලපෑමක් හඳුනාගෙන නොමැත. කවසකි රෝගය බෝ නොවන රෝගයකි. එය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ හැකියාවක් නොමැත.


රෝග ලක්ෂණ

කවසකි රෝගය අවධි 3 ක් පෙන්නුම් කරයි.


▪️ පළමු අවධිය (සති 1-2 දක්වා)

▪️ දෙවන අවධිය (2 වන සතියේ සිට 4 වන සතිය දක්වා)

▪️ තෙවන අවධිය (4 වන සතියේ සිට 6 වන සතිය දක්වා)


පළමු අවධිය (සති 1-2 දක්වා)


මෙම රෝග ලක්ෂණ ඉක්මනින් ඇතිවන අතර බරපතල විය හැක.


උණ

  • සෙල්සියස් අංශක 38 ට වඩා පවතින උෂ්ණත්වය කවසකි රෝගයේ ප‍්‍රධාන රෝග ලක්ෂණයයි. අවම වශයෙන් දවස් 5ක් වත් උණ පවතී.


සමේ ඇතිවන බිබිලි

  • මෙය පෙනුමින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෙනස් වේ.


ඉදිමුණ අත් සහ පාද

  • දරුවාගේ අතේ සහ පාදවල ඇඟිලි වල සම රතුපැහැ සහ තද ස්වභාවයක් ගනී. දරුවාගේ අත් සහ පාද ඉදිමුණ ස්වභාවයක් ගනී. අත් සහ පාද අල්ලනවවිට වේදනාවක් දැනේ.


රතු පැහැති ඇස්

  • ඇස් රතු පැහැ ස්වභාවයක් ගන්නා අතර ඇස් දෙකටම බලපායි. නමුත් වේදනාවක් නොදැනේ.


රතුවූ, වියළි, ඉරිතැලූණ තොල්


රතුවූ සහ ඉදිමුණ දිව


බෙල්ලේ වසා ගැටිති ඉදිමීම


දෙවන අවධිය (2 වන සතියේ සිට 4 වන සතිය දක්වා)


මෙම අවධියේදී දරුවාගේ රෝග ලක්ෂණවල බරපතලබව අඩුවන අතර වැඩි කාලයක් රඳා පවතී.

මෙම රෝග ලන්ෂණ වන්නේ,


  • බඩේ කැක්කුම

  • වමනය

  • පාචනය

  • නිදිබර ස්වභාවය සහ අලසබව

  • හිසේ කැක්කුම

  • සන්ධි වේදනාව සහ සන්ධි ඉදිමීම

  • අතේ සහ පාදයේ ඇඟිලි වල සම ගැලවීයාම (සමහර අවස්ථාවලදී අත්ලේ සහ විලූඹේ සම ගැලවීයාම)

  • සම දුර්වර්ණ වීම


තෙවන අවධිය (4 වන සතියේ සිට 6 වන සතිය දක්වා)


මෙම අවධියේදී දරුවාගේ තත්වය සුව අතට හැරීමට පටන් ගනී. රෝග ලක්ෂණ ක‍්‍රමයෙන් යහපත් තත්වයට පත්වේ. නමුත් දරුවා අලසබව හෝ නිදිබර ස්වභාවය පෙන්නුම් කරයි. නිසි වෛද්‍ය ප‍්‍රතිකාර යටතේ කවසකි රෝගය සම්පූර්ණයෙන්ම සුව කල හැක. නමුත් වෙනත් සංකුලතා ඇතිවිය හැක. බොහෝ විට මේවා හෘදය ආශ්‍රීත සංකුලතා වේ.


සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට උණ රෝගය වැළඳීමේදි ඇතිවන රෝග ලක්‍ෂණ කවසකි රෝගයේ ඇතැම් රෝග ලක්‍ෂණ වලට බෙහෙවින් සමානවේ,


කවසකි රෝගයේ ලාක්‍ෂණික රෝග ලක්‍ෂණ වන්නේ,

  • දින 5කට වඩා වැඩි දිගු කලක් පවතින උණ

  • සමේ ඇතිවන බිබිලි

  • ගෙලෙහි ග‍්‍රන්ථි ඉදිමුම් ඇතිවීම

  • තොල් වියළීමට හා ඉරිතැලීමට ලක්වීම

  • අතැඟිළි හා පාඇඟිළි රත් පැහැ ගැන්වීම

  • ඇස් රත් පැහැ වීම


කවසකි රෝගය විනිශ්චය කිරීමට හඳුනාගත් විශේෂ පරීක්‍ෂාවක් නොමැති නමුත් පහත සඳහන් ලක්‍ෂණ පවතින්නේ නම් දරුවාට කවසකි රෝගය වැළඳී තිබිය හැක.


- දේහ උෂ්ණත්වය 38°C කට වඩා වැඩි, දින 5කට වඩා වැඩි දිගු කලක් පවතින උණ

- මූලික රෝග ලක්‍ෂණ 4ක්වත් පැවතීම.


මෙම මූලික රෝග ලක්‍ෂණ නම්,


දරුවාගේ ඇස් වල සුදු පැහැති කොටස රත් පැහැ ගැන්වීම හා ඉදිමීම


  • මුඛයේ හා උගූරේ ඇති වන වෙනස්කම්

- වියළීම

- තොල් ඉරිතැලීම

- දිව ඉදිමීමට හා රත් පැහැ ගැන්වීමට ලක්වීම


  • අත් සහ පාද වල ඇතිවන වෙනස්කම්

- අත් සහ පාද වේදනාව සහිතව ඉදිමීම

- අත්ල හා පතුල් රත් පැහැ ගැන්වී ඉරිතැලීම


  • ශරීරයේ රත් පැහැති කුඩා බිබිලි ඇතිවීම


  • ගෙලෙහි වසාගැටිති ඉදිමීමට ලක්වීම


කවසකි රෝගයෙන් පෙළෙන බොහො ළමුන් සම්පූර්ණයෙන්ම සුවය ලබයි. නමුත් සමහර දරුවන් හෘදය ආශ්‍රිත සංකුලතාවලට ගොදුරු වියහැක. කවසකි රෝගය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමේ හැකියාවක් නොමැති බව මේ වන විට සොයාගෙන ඇත.


ප‍්‍රතිකාර

කවසකි රෝගය මගින් බරපතළ සංකුලතා ඇතිවිය හැකි බැවින් මේ සඳහා රෝහල් වල ප‍්‍රතිකාර සිදුකරනු ලැබේ. රෝග ලක්‍ෂණ ඇති වූ වහාම ප‍්‍රතිකාර ලබා ගැනීම මගින් සංකුලතා අවමකර ඉක්මන් සුවය ලබා ගත හැකි වේ.



ප්‍රවින්ද්‍යා අබේගුණවර්ධන

ශ්‍යාමා ආරියරත්න



References


  • https://www.nhs.uk/conditions/kawasaki-disease/

  • https://www.healthychildren.org/English/health-issues/conditions/heart/Pages/Kawasaki-Disease.aspx

  • https://www.heart.org/en/health-topics/kawasaki-disease/kawasaki-disease-signs-symptoms--diagnosis

  • https://www.cdc.gov/kawasaki/about.html

3 views0 comments

Comments


bottom of page