top of page

දියවැඩියාව පිළිබද දැන ගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

දියවැඩියාව යනු ඔබේ ශරීරයට ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන ආකාරය කෙරෙහි බලපාන දිගු කාලීන රෝග තත්වයකි. ලොව පුරා මිලියන 422 ක ජනතාවක් දියවැඩියාවෙන් පෙළෙන අතර, අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන බහුතරයක් මරණ, එනම් සංඛ්‍යාත්මකව මිලියන 1.6 ක් පමණ සෘජුවම දියවැඩියාව නිසා සෑම වසරකම සිදු වේ.


දියවැඩියා රෝගය යනු කුමක්ද?

දියවැඩියා රෝගය යනු ඉන්සියුලින් ස්‍රාවය, ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය හෝ දෙකෙහිම අඩුපාඩු හේතුවෙන් ඇති වන හයිපර්ග්ලයිසිමියාව (රුධිර ප්‍රවාහයේ වැඩිමනත් ග්ලූකෝස් පැවතීම) මගින් සංලක්ෂිත පරිවෘත්තීය රෝග සමූහයකි. දියවැඩියාවේ නිදන්ගත හයිපර්ග්ලයිසිමියාව විවිධ අවයවවල, විශේෂයෙන් ඇස්, වකුගඩු, ස්නායු, හෘදය සහ රුධිර නාල වල දිගුකාලීන හානිය, අක්‍රිය වීම සහ අසමත් වීම සමඟ සම්බන්ධ වේ.


අග්න්‍යාශයෙන් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමක් සිදු නොවන විට හෝ ශරීරයට නිපදවන ඉන්සියුලින් ඵලදායී ලෙස භාවිතා කිරීමට නොහැකි වූ විට දියවැඩියාව ඇතිවේ. ඉන්සියුලින් යනු රුධිරයේ සීනි මට්ටම යාමනය කරන හෝමෝනයකි.


ඔබ අනුභව කරන ආහාර වලින් බොහොමයක් සීනි (ග්ලූකෝස්) වලට කැඩී ඔබේ රුධිර ප්‍රවාහයට මුදා හරිනු ලැබේ. ඔබේ රුධිරයේ සීනි මට්ටම ඉහළ ගිය විට, ඉන්සියුලින් මුදා හැරීමට ඔබේ අග්න්‍යාශය උතේජනය කරයි. රුධිරයේ ඇති සීනි ශරීර සෛල තුළදී ශක්තිය ලෙස භාවිතා කිරීමට ඉන්සියුලින් ක්‍රියා කරයි.


ඔබට දියවැඩියාව තිබේ නම්, ඔබේ ශරීරය ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවන්නේ නැත, නැතහොත් ඉන්සියුලින් නිපදවිය නොහැක. ඉන්සියුලින් ප්රමාණවත් නොවන විට හෝ සෛල ඉන්සියුලින් වලට ප්‍රතිචාර දැක්වීම නැවැත්වූ විට, රුධිරයේ සීනි ප්‍රමාණය ඔබේ රුධිර ප්‍රවාහයේ රැඳේ. එය දිගුකාලීන හෘද රෝග, පෙනීම නැතිවීම සහ වකුගඩු රෝග වැනි බරපතල සෞඛ්‍ය ගැටලු ඇති වීමට හේතු විය හැකිය.



දියවැඩියා රෝගයේ ආකාර

දියවැඩියාව type 1


පළමු වර්ගයේ දියවැඩියාව ඇති වන්නේ ඔබේ ශරීරය ඉන්සියුලින් සෑදීම වළක්වන ස්වයං ප්‍රතිශක්තිකරණ ප්‍රතික්‍රියාවක් හේතුවෙනි. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් ආසන්න වශයෙන් 5-10% කට 1 වන වර්ගය ඇත. පළමු වර්ගයේ දියවැඩියාවේ රෝග ලක්ෂණ බොහෝ විට ඉක්මනින් වර්ධනය වේ. එය සාමාන්‍යයෙන් ළමයින්, යෞවනයන් සහ තරුණ වැඩිහිටියන් තුළ හඳුනාගත හැකිය. ඔබට පළමු වර්ගයේ දියවැඩියාව තිබේ නම් ඔබ දිනපතා ඉන්සියුලින් ගත යුතුය. පළමු වර්ගයේ දියවැඩියාව වළක්වා ගන්නේ කෙසේදැයි දැනට සොයාගෙන නොමැත.


දියවැඩියාව type 2


දෙවන වර්ගයේ දියවැඩියාව ඇත්නම් ඔබේ ශරීරය ඉන්සියුලින් භාවිතය හොඳින් සිදු නොකරන අතර රුධිරයේ සීනි සාමාන්‍ය මට්ටමින් තබා ගැනීමටද නොහැක. දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින්ගෙන් 90-95% ක් පමණ දෙවන වර්ගයේ අය වේ. එය ඕනෑම වයසක දී වර්ධනය වන අතර සාමාන්‍යයෙන් වැඩිහිටියන් තුළ රෝග විනිශ්චය කරනු ලැබේ. ඔබට කිසිදු රෝග ලක්ෂණයක් නොපෙනෙන්නට පුළුවන, එබැවින් ඔබ අවදානමට ලක්වුවහොත් ඔබේ රුධිරයේ සීනි පරීක්‍ෂා කිරීම වැදගත් වේ. දෙවන වර්ගයේ දියවැඩියාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරිම මඟින් වළක්වා ගත හැකිය.


ගර්භණී දියවැඩියාව(Gestational Diabetes)


දියවැඩියාව නොමැති ගර්භනී කාන්තාවන් තුළ ගර්භණී සමයේ දියවැඩියාව වර්ධනය විය හැකිය.මෙය ගර්භණී සමයේ ඇතිවන දියවැඩියාව(Gestational Diabetes) වේ. ඔබට ගර්භණී දියවැඩියාව තිබේ නම් ඔබේ දරුවාට සෞඛ්‍ය ගැටලු ඇති වීම සඳහා වැඩි අවදානමක් ඇත. දරුවා ඉපදුණු පසු මෙය සාමාන්‍යයෙන් ඉවත්ව යන නමුත් පසුකාලීනව දෙවන වර්ගයේ දියවැඩියාව සඳහා ඇති අවදානම වැඩි කරයි. ඔබේ දරුවාද ළමා හෝ තරුණ අවධියේදී තරබාරු වීමට ඇති ඉඩකඩ වැඩිය.


පූර්ව දියවැඩියාව


පූර්ව දියවැඩියාවේදී රුධිරයේ සීනි මට්ටම සාමාන්‍යයට වඩා ඉහළ මට්ටමක පවතින නමුත් දෙවන වර්ගයේ දියවැඩියාව ලෙස හඳුනා ගැනීමට තරම් ඉහළ මට්ටමක නොමැත. මෙය දෙවන වර්ගයේ දියවැඩියාව, හෘද රෝග සහ ආඝාතය සඳහා ඇති අවදානම වැඩි කරයි.


දියවැඩියා රෝගයට අවදානම් සාධක

දියවැඩියාව Type 1 සඳහා අවදානම් සාධක


  • පවුල් ඉතිහාසය- පළමු වර්ගයේ දියවැඩියාව ඇති දෙමාපියෙකු, සහෝදරයෙකු හෝ සහෝදරියක් සිටීම.

  • වයස - ඕනෑම වයසක දී ඇති විය හැකිය. ඔබ කුඩා කාලයේ, යෞවනයෙකු හෝ තරුණ වැඩිහිටියෙකු වූ විට වර්ධනය වීමට ඇති ඉඩකඩ වැඩිය.


දියවැඩියාව type 2 සඳහා අවදානම් සාධක.


  • පූර්ව දියවැඩියාව(Prediabetes)

  • අධික බර

  • අවුරුදු 45 හෝ ඊට වැඩි නම්

  • දියවැඩියාව type 2 ඇති දෙමාපියෙකු, සහෝදරයෙකු හෝ සහෝදරියක් සිටීම

  • සතියකට 3 වතාවකට වඩා අඩුවෙන් ශරීරය වෙහෙසවා වැඩකිරීම

  • ගර්භනී දියවැඩියාව වැළඳී තිබීම

  • සෞඛ්‍යට අහිතකර ආහාර පුරුදු

  • මධ්‍යසාර භාවිතය සහ දුම්පානය

  • මානසික ආතතිය හා අවපීඩනය


දියවැඩියා රෝගයේ රෝග ලක්ෂණ

ඔබට පහත සඳහන් දියවැඩියා රෝග ලක්ෂණ ඇත්නම්, ඔබේ රුධිරයේ සීනි පරීක්ෂාවට ලක් කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න.


  • බොහෝ විට රාත්‍රියේදී වැඩි ලෙස මුත්‍රා කිරීම

  • දැඩි පිපාසය

  • උත්සාහයකින් තොරව බර අඩුවීම

  • දැඩි කුසගින්න

  • අපැහැදිලි පෙනීමක් ඇතිවීම

  • අත් හෝ පාද හිරි වැටීම

  • දැඩි මහන්සිය

  • වියළි සමක් පැවතීම

  • තුවාල සුවවීම ප්‍රමාද වීම

  • පෙරට වඩා ආසාදන ඇති වීම


රුධිර ග්ලුකෝස් මට්ටම පිළිබද නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න.


දියවැඩියාව සදහා රුධිරයේ සීනි මට්ටම ඉලක්ක කරන්න (වයස අවුරුදු 20+)

  • නිරාහාරව - 100 mg/dL ට අඩු

  • කෑමට පෙර - 70-130 mg/dL

  • ආහාර ගැනීමෙන් පසු (පැය 1-2 ) - 180 mg/dL ට අඩු

  • ව්‍යායාම කිරීමට පෙර- ඉන්සියුලින් ගන්නවා නම් අවම වශයෙන් 100 mg/dL

  • නිදාගන්නා කාලය - 100-140 mg/dL



යමාලි සඳුනි



References


  • https://www.who.int/health-topics/diabetes#tab=tab_1

  • https://www.cdc.gov/diabetes/basics/diabetes.html

  • https://www.webmd.com/diabetes/guide/types-of-diabetes-mellitus

6 views0 comments

Comments


bottom of page